පොදු අපේක්ෂක මැතිවරණ ව්‍යාපාරයට අදාළ පක්ෂ නායක කමිටු රැස්වීම සෑම දින 2 කටම වරක් විපක්ෂනායක කාර්යාලයේ දී රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අප එම කමිටු රැස්වීම තුළ පොදු අපේක්ෂක මෛත්‍රී ඇමතිතුමා නියෝජනය කළේ මා විසිනි. ඒ අනුව විපක්ෂ නායක කාර්යාලය තුළ පැවැත්වෙන මෙම දේශපාලන පක්ෂ නායකයින්ගේ රැස්වීම දිනෙන් දින විවිධ මාතෘකා ඔස්සේ උණුසුම් වන්නට විය. විශේෂයෙන්ම මට මතක ආකාරයට දෙසැම්බර් 6 වැනිදා පැවති එම රැස්වීම සඳහාද එ.ජා.ප. මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පැමිණියේය. ඔහු එහිදී ප්‍රකාශ කළ අවසන් වචනය වූයේ “හරින්ව බදුල්ලෙම තියන්න. එයාව ලංකාව වටේ රැස්වීම්වල කථිකයකු බවට පත් කර ගත්හොත් බදුල්ල වැටෙන්න පුළුවන්”. මෙම වචන කිහිපය තිස්ස අත්තනායක මහතා කුමන අදහසකින් ප්‍රකාශ කළේද යන්න මම නොදනිමි. එහෙත් ඊට පැය 48කට පසු ඔහු සිටියේ අරලියගහ මැදුරේය. 

මේ අතර මෙම කමිටු රැස්වීම් අතරතුරදී රනිල් වික්‍රමසිංහ මහතා ඉතා ආයාසයකින් යුතුව තිස්ස අත්තනායක මහතාට වගකීම පවරන ආකාරයත් ඔහුට වැඩි වටිනාකමක් ජනාධිපතිවරණ ක්‍රියාවලිය තුළ ලබාදීමට දරන උත්සාහයත් මම නිරීක්‍ෂණය කළෙමි. අද සිට බලනවිට රනිල් වික්‍රමසිංහ මහතා වෙරදරන ලද්දේ තිස්ස අත්තනායක මහතාගේ අඩමාන සහගත දේශපාලන අඩව්ව මඟින් ඇතිවිය හැකි අවාසිදායක තත්ත්වය වළකාගනුවස් ඔහුව කෙසේ හෝ පක්‍ෂය තුළ රඳවා ගැනීමට යැයි සිතිය හැක. ඒ අනුව දෙසැම්බර් 6 තෙක් පැවති එම රැස්වීම් සඳහා ඔහු සහභාගී වුවත් බොහෝවිට රැස්වීම් ආරම්භ වන මොහොතේ තිස්ස එහි පැමිණ සිටින්නේ නැත. ඒ සෑම විටකදීම වික්‍රමසිංහ මහතා “ඉක්මනට තිස්සට එන්න කියන්න” යනුවෙන් පණිවුඩයක් තබයි. ඒ අනුව ඊට විනාඩි 10කට 15කට පසුව ඔහු එහි පැමිණ වාඩිවෙන අතර වික්‍රමසිංහ මහතා අසන ප්‍රශ්නවලට පිළිතුරුදීමත් යළිත් වික්‍රමසිංහ මහතා නව වගකීමක් පැවරූ කල හිස වනා ප්‍රතිචාර දැක්වීමත් පමණක් ඔහු විසින් සිදුකරන ලදී. දේශපාලන වශයෙන් දොඩමලුවීමක්, මුව කොනක සිනහවක් ඔහු තුළින් ප්‍රකාශ වූයේම නැති තරම් ය. 


දෙසැම්බර 8 වැනිදා ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා බාරදීම අවසන්වීමත් සමඟ එ.ජා.ප. මහලේකම් තිස්ස අත්තනායක මහතා මහින්ද ජනාධිපතිතුමාට සහයෝගය දැක්වීම පිළිබඳ සිද්ධිය පිටුපස ගැඹුරු කථාවක් ද ඇත. මෑත ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ඉතා වැරදිසහගතම දේශපාලන තක්සේරුව හා දේශපාලන තීරණය තිස්ස අත්තනායක මහතා ගත් බව සැබෑය. එහෙත් ඔහු එවන් දේශපාලන තක්සේරුවකට එළැඹියේ මන්ද යන කරුණ යම් වෙනත් දාෂ්ටිකෝණයකින් මැන බැලීමට මෙය සුදුසුම අවස්ථාවයි. 


විසි වසරක් විපක්‍ෂයේ සිටි එ.ජා.ප. යේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව පක්‍ෂ නායකත්වයේත් විපක්‍ෂනායක ධුරයේත් සුරැකිව තබාගැනීමට තිස්ස අත්තනායක මහතා කළ කාර්යභාරය සමහරවිට දන්නේ එ.ජා.ප. යේ ඉහළ පිරිස පමණක් විය හැක. පක්‍ෂ නායකත්වය රැකගැනීම සඳහා එ.ජා.ප. කෘත්‍යාධිකාරි මණ්ඩලය තුළ හා වෙනත් අහුමුලුවල සිදුවූ රැඩිකල් ක්‍රියාන්විත හමුවේ තිස්ස අත්තනායක මහතා නිමේෂයකට හෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයම නොගත්තේ නම් බොහෝවිට වික්‍රමසිංහ මහතාට පක්‍ෂ නායකත්වය අහිමිවීමට ඉඩ තිබුණි. වෙනත් වචනවලින් පවසතොත් තමාගේ පක්‍ෂ නායකත්වය රැකදීමට උරදුන් පුරෝගාමියා තිස්ස අත්තනායක බව හොඳින්ම දන්නේ රනිල් වික්‍රමසිංහ  මහතාම පමණි. සමහරවිට පෙර විස්තර කළ අපගේ උදෑසන 10.00 රැස්වීම තුළදී වික්‍රමසිංහ මහතා තිස්ස අත්තනායක මහතා වෙත ඉතා ආයාසයකින් මෙන් වටිනාකමක් දෙන්නට උත්සාහ කරන්නේ ද වගකීම් පවරන්නට උත්සාහ ගන්නේ ද මෙවැනි මනෝභාවයක්ද එතුමා තුළ වූ නිසාම වන්නට ඇත.


එහෙත් අනෙක් අතින් තිස්ස අත්තනායක මහතා, අවස්ථා ගණනාවක දී ම තමා සතු නිල බලය ඉතා රළු ලෙස යොදවා රනිල් වික්‍රමසිංහ මහතාගේ පක්‍ෂ නායකත්වය රැකගැනීමට ක්‍රියා කළ ආකාරය සිතමින් වික්‍රමසිංහ මහතා ඉදිරියෙහි ඉතා අභිමානයෙන් සිටිනවා ද විය හැකිය. මේ සම්බන්ධයෙන් මා දුටු තවත් නිරීක්‍ෂණයක් වූයේ එ.ජා.ප. යේ සියලු දෙවැනි පෙළ නායකයන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියෙහ් ඉතා සුවච, විනීත කීකරු ගෝලයන් සේ හැසිරුණ ද තිස්ස එසේ නොකොට රනිල් වික්‍රමසිංහ මහතාව ද .ෘදබ.එ ක්‍්රු. ප්‍රතිපත්තියකින් ම සිටියේ ය. 


පක්‍ෂයේ අභ්‍යන්තර අර්බුද උත්සන්න වෙත්ම සමහර අවස්ථාවල දී වික්‍රමසිංහ මහතාගේ තනියට සිටි ප්‍රධානතම පුද්ගලයෙකි තිස්ස අත්තනායක මහතා. විශේෂයෙන් ම සජිත් ප්‍රේමදාස, රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරළ, ලක්ෂ්මන් සෙනෙවිරත්න, අශෝක් අබේසිංහ වැනි පිරිස් ඍජුවම වික්‍රමසිංහ මහතාට අභියෝග කොට පක්‍ෂ නායකත්වයෙන් ඉවත්ව යන ලෙස මහ හඬින් බලපෑම් කළ විට දී පවා ඒවා අසා විඳදරාගෙන සිටීමට පුදුම සහගත ආත්ම ශක්තියක් රනිල් වික්‍රමසිංහ මහතාට තිබුණ අතර, ඒ සෑමවිටකම පක්‍ෂයේ මහ ලේකම්වරයා වශයෙන් තිස්ස අත්තනායක මහතා වික්‍රමසිංහ මහතා පිටුපස සෙවණැල්ලක් මෙන් සිටියේය. 


කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය තරග නොකිරීමත්, පොදු අපේක්‍ෂක ව්‍යාපාරය සාර්ථකවීමත් හමුවේ පක්‍ෂය තුළ තිස්ස අත්තනායක මහතා දුර්වලවෙමින් සිටියේය. ඊට සමගාමීව රවි කරුණානායක හා මංගල සමරවීර මහත්වරු ප්‍රබල වන්නට වූහ. විශේෂයෙන්ම රනිල් - සජිත් සමඟි කිරීමට තිස්ස ගත් උත්සාහයේ සිට තිස්සට එරෙහිව යම් පිරිසක් ගොඩනැඟුණි. මේ අතර නොවැම්බර් 26 වැනිදා ජීවිතයේ පළමුවරට සිරිකොත එ.ජා.ප. පක්‍ෂ කාර්යාලයට පැමිණි පොදු අපේක්‍ෂක මෛත්‍රී ඇමතිතුමා පිළිගැනීම වෙනුවෙන් පැවැත්වූ රැස්වීමේ දී පක්‍ෂයේ ලේකම්වරයා ලෙස තිස්ස අත්තනායක මහතා කළ කථාව තරමක් ගැටලු සහගත විය. එහි දී තිස්ස කියා සිටියේ වෙනත් පාටවලට එජාපයේ කොළපාට යටකළ නොහැකි බවකි. 


මේ අතර නොවැම්බර 30 වැනිදා මෛත්‍රී ඇමතිතුමා පිළිගැනීම වෙනුවෙන් පොළොන්නරුවේ ප්‍රධාන රැස්වීමක් සංවිධානය වූ අතර ඊට පොදු අපේක්‍ෂක ව්‍යාපාරයට සහයෝගය දෙන පක්ෂ නායකයෝ සියලු දෙනාම සහභාගීවීමට නියමිතව සිටියහ. ඒ අනුව එම රැස්වීම සඳහා තිස්ස අත්තනායක මහතාව ද සහභාගී කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතාට දැඩි අවශ්‍යතාවක් තිබුණි. අනෙක් අතට තිස්ස පොදු අපේක්‍ෂක ව්‍යාපාරයෙන් කට්ටි පැනීමට සූදානම් බව වික්‍රමසිංහ මහතා අන් සියලු දෙනාටම වඩා හොඳින් දැන සිටියේය. 


මෙම තත්ත්වය තුළ ඊට පෙර දින එනම් 29 දින රාත්‍රියේ තමා නවාතැන් ගන්නා කණ්ඩලම හෝටලයට පැමිණ එහි රාත්‍රිය ගතකර පසුදින පොළොන්නරුවට යාමට හැකි බව පවසමින් වික්‍රමසිංහ මහතා තිස්ස අත්තනායක මහතාට දුරකථනයෙන් දැනුම් දුන්නේය. එයද මඟහැර සිටින බව තේරුම්ගත් වික්‍රමසිංහ මහතා එතුමාගේ හිතවතකු තිස්සගේ නිවසට පිටත්කර එවූ අතර අවසානයේ අකමැත්තෙන් මෙන් තිස්ස කණ්ඩලමට පැමිණියේ ය. ඒ ආකාරයෙන්ම පසුදින පොළොන්නරුව රැස්වීම සඳහා වික්‍රමසිංහ මහතා සමඟ තිස්ස ද සහභාගී විය. මේ වනවිට තිස්ස පොදු අපේක්‍ෂකයා පිළිබඳ යම් පරස්පර විරෝධී හා පොදු අපේක්‍ෂකයාගේ ගෞරවය බිඳ වැටෙන ආකාරයේ ප්‍රකාශ ගණනාවක් ම සිදුකර හමාර ය.

 

 

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්