සියලුදෙනා එකම මතයක නොසිටින බව පසුගිය අඟහරුවාදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට රැස්ව සිටි සිය ගණනක දෙනා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තේමා ගීතය වන ශ්‍රී ලංකා ස්වර්ණභූමියේ... ගායනා කිරීමට නැගී සිටි අවස්ථාවේ පැහැදිලි විය. ගීය අවසානයේ, වෙනදා මෙන් නොව අත්පොළසන් දුන්නේ කොටසක් පමණකි. එයින්ම කඩතුරාව බිමට ඇද හැලිණ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සංවිධාන කර තිබූ එම ජනහමුවට එක්ව සිටි සියල්ලෝම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් නොවූහ. එසේවුවත්, ගෘහස්ථ ක්‍රීඩාංගණය පැවැතුණේ අතුරුසිදුරු නැතිව පිරී ගොස්ය. ඔවුන් අමතමින් දේශනයක් සිදුකළ හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇය යටතේ හිටපු අමාත්‍යවරයකු වූ සහ වර්තමාන ජනපති ධුරය හොබවන මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ප්‍රබල දේශපාලන පණිවිඩයක් ලබා දුන්නාය. පුළුවන්කමක් ඇතොත් මා ඉවත් කර පෙන්වන්න, ඉන් කියැවුණු බවක් පෙනිණ.

ඇය වෙනුවෙන් සහාය දැක්වීමට පැමිණ සිටි අය අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෝ නොවන්නෝ ද වූහ. අමාත්‍ය මංගල සමරවීර, අමාත්‍ය අර්ජුන රණතුංග සහ ඔහුගේ සොයුරු රුවන් රණතුංග, අමාත්‍ය රාජිත සේනාරත්න, ආතාවුද සෙනෙවිරත්න, මිල්රෝයි ප්‍රනාන්දු, අමාත්‍ය රිෂාද් බදුර්දීන්, වික්‍රමබාහු කරුණාරත්න, කුමාර වෙල්ගම සහ අමාත්‍ය මනෝ ගනේෂන් ඔවුන් අතරින් ප්‍රධාන විය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග අවබෝධතා ගිවිසුකට එළැඹ සිටින අපි ශ්‍රී ලංකා කණ්ඩායමේ වාර්ෂික සම්මේලනය මෙම අවස්ථාව හඳුන්වා දී තිබූ අතර, එහි ප්‍රධාන චරිතය වූයේ හිටපු ජනපතිනියයි. අමාත්‍යවරුන් පස්දෙනා සහ අනෙක් අය එහි පැමිණ සිටියේ අපි ශ්‍රී ලංකා සංවිධානයට ඔවුන්ගේ සහාය දැක්වීමටය. අපි ශ්‍රී ලංකා - එහි නමින්ම කියැවෙන ආකාරයට, එදින පැවැති සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් ද ඇතුළු ඕනෑම ශ්‍රී ලංකා පුරවැසියකු සහභාගීව සිටින්නට තිබිණ.

අපි ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙම සම්මේලනයට දින කිහිපයකට පෙරාතුව, තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොනිල නායක තැන වන ජනපති සිරිසේන සිටියේ අතිශය කෝපයට පත්වය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සමග ඉහත සඳහන් කළ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව කුමාරතුංග සහ ඇයගේ ආධාකරුවන් නව මුහුණුවරකින් ඔහුට එරෙහිව නැගී සිටීම එයට හේතුව විය. ශ්‍රී ලංකාවේ ජනපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන පත්කිරීමෙහි ලා සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කළ කුමාරතුංග, 2014 වසරේ දී ඒ අරබයා තිරය පසුපස පැවැත්වුණු සාකච්ඡාවල ප්‍රධාන චරිතයක් ද වූවාය. එසේ තමා සහාය ලබාදුන් පුද්ගලයා අද, සිය පියා ගොඩනැගූ පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට යටවන්නට ඉඩහැර බලා සිටින්නේ යැයි මුල් කරගෙන ඇය පසුවන්නේ කෝපයෙනි. නමුත් 1984 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය ඇය, ඇයගේ සැමියා, විජය කුමාරතුංග මහතා තැනූ ශ්‍රී ලංකා මහජන පක්ෂය සමග එක්විය. චන්ද්‍රිකා කුමාරතුංග නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත පැමිණියේ 1991 වසරේදීය. ඇය දේශපාලනයෙන් විශ්‍රාම ගොස් ඇතැයි අයෙක් සිතන්නේ නම් එය සම්පූර්ණයෙන් වැරැදිය. එදා මෙන්ම අදත් සුපුරුදු ස්වභාවයෙන්ම කටයුතු කරමින් සිටින ඇය, එක් ස්ථාවරයක් අනුගමනය කරමින් සිට, එය අත්හැර දමා ඊට සම්පූර්ණයෙන්ම වෙනස් ස්ථාවරයක් අනුගමනය කරන සිය පැරැණි පිළිවෙතම අනුගමනය කරමින් සිටින්නීය. රාජපක්ෂවරුන් බලයෙන් පහ කිරීමට ඇයව පෙළඹවූයේ ඔවුන් කෙරේ ඇයට වූ කෝපය වේ නම්, එය අදටත් පවතින්නේ එලෙසමය.

අනෙක් අතට කුමාරතුංගේ අලුත්ම ස්ථාවරය අරබයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නොනිල නායක ජනපති සිරිසේන කෝපයට පත්ව සිටියේය. නොවැම්බර් මස 16 වැනිදා පැවැත්වීමට නියමිත ජනපතිවරණය හමුවේ නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කිරීමට තීරණය කර තිබුණ ද ඔහු සිය ළඟම හිතවතුන් සමග පවසා තිබුණේ ඇය පක්ෂයෙන් නෙරපා හැරිය යුතුව තිබෙන බවය. පසුගිය සතියේ මහගමසේකර මාවතේ ඔහුගේ නිල නිවසට පැමිණ සිටි කිහිපදෙනෙක් ඉදිරියේ ද ජනපතිවරයා පවසන්නට යෙදුණේ එයමය. ඔහු දැනට වාසය කරමින් සිටින මෙම නිවස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය යටතේ ඔහු වෙතම වෙන්කරවා ගැනීමට ජනපති සිරිසේන සමත් විය. එදින එම පිරිස ජනපති නිල නිවසට පැමිණ සිටියේ ඔහු වෙනුවෙන් සමුගැනීමේ උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමටය. ජනපතිවරයා සිතුවේ චන්ද්‍රිකා පක්ෂයෙන් නෙරපා හැරීම සඳහා පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබාගැනීම පමණක් සෑහෙනු ඇති බවය. ඒ අනුව ගෙවුණු අඟහරුවාදා රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ හදිසි රැස්වීමක් කැඳවිණ.

සිරිසේනගේ පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය
රැස්වීම පැයකටත් වඩා අඩු කාලයකට සීමා විය. එය අවසානයේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයෙන් පිටතට පැමිණි දෙදෙනෙක් වෙත එතැන රැස්ව සිටි මාධ්‍යවේදීන් සියලුදෙනාගේ කැමරා යොමු විය. ජනපති සිරිසේනගේ හඬ මාධ්‍ය වෙත නිකුත් කිරීමෙහි ලා පෙරමුණ ගන්නා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහත්වරු ඔවුන් දෙදෙන වූහ. කිසිදු පැකිළීමකින් තොරව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔවුහු, චන්ද්‍රිකා කුමාරතුංග පක්ෂයෙන් නෙරපා හැරීම සම්බන්ධයෙන් කිසිවක් මධ්‍යම කාරක සභා හමුවේ දී සාකච්ඡාවකට නොගැනුණු බව පැවැසූහ. ඊට පෙර දිනයේ පැවැති රැස්වීමට සහභාගී වුණු පුද්ගලයින් වෙනුවට වෙනත් පුද්ගලයින් පත්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවුණු බව ජයසේකර වැඩිදුරටත් පැවැසුවේ ය.

ජනපති සිරිසේන ආරක්ෂා කිරීමෙහි ලා පෙරමුණ ගන්නා බවට නමක් දිනාගෙන සිටින අමරවීර, ‘චන්ද්‍රිකා මැතිනිය ගැන කිසිම සාකච්ඡාවක් වුණේ නැහැ’ යැයි කීවේ ය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නොනිල නායක තැන වන ජනපති සිරිසේන ආරක්ෂා කරගැනීම සඳහා ඔවුන් ඕනෑම දෙයක් කියනු ඇත. ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ ද වන්නෝ ය. ජනපති සිරිසේන, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ ශ්‍රී ලංකා ජනතා සන්ධානයේ සම නායකයා ද වන හෙයින්, දැනට තම තමන් දරමින් සිටින ස්ථාවරයන් ආරක්ෂා කරගැනීමට තිබෙන හොඳම ආකාරය වන්නේ, මහා ජල ගැලීම් සිදුවෙමින් තිබෙන අවස්ථාවක නියඟයක් පවතින බව පැවැසීම සහ ඉතා අඳුරු, මුස්පේන්තු දිනයක, හාස්පස පරිසරය හිරු එළිය වැටී බැබලෙමින් තිබෙන බව යනාකාරයෙන් පවතින තත්ත්වය වසා වෙනම කතාවක් ගෙතීම බව ඔවුන් විශ්වාස කරන සෙයකි. ජනතාවගේ අදහස හෝ දේශපාලනය සුරක්ෂිතභාවයට අදාළ කාරණා සම්බන්ධයෙන් ඔවුන්ගේ අවධානය හීනය.

මධ්‍යම කාරක සභා රැස්වීම මෙහෙයවන බව පෙනුනේ මධ්‍යයේ අසුන්ගෙන සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාය. ඔහු විටින් විට අදහස් දැක්වූයේ ය. කෙසේ වුවත්, ජනපති සිරිසේන ද නොපැකිළව අදහස් දැක්වූයේ ය. ඔබ විශ්වාස කළ ද නැත ද හිටපු ජනපතිනියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම ඊළඟ මධ්‍යම කාරක සභා රැස්වීමේ දී සාකච්ඡා කළ යුතු යැයි පැවැසුවේ ඔහුමය. එයින්ම එම කාරණා සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡාවලට නැවතීමේ තිත වැටිණ. ජනපති සිරිසේන, වරක් ඔහුම පවසන්නට යෙදුණු වචන, ගිලගන්නට කටයුතු කළේ එලෙසය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සාමාජිකයන් අතර වැදගත් ස්ථානයක් කුමාරතුංගට හිමිකර දීමට ඔහු උපකාර කළේ ය. ඊළඟ පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණයක් මේ දක්වාම ගෙන නොමැති අතර, එවන් රැස්වීමක් ජනපතිවරණයට පෙර පැවැත්වෙතැයි සිතීම උගහටය. වසර 5ක් තිස්සේ ඔහු අනුගමනය කරන්නට යෙදුණු පිළිවෙතම අනුව, අවසාන මොහොතේ දී ජනපතිවරයා සිය අදහස වෙනස් කරගත්තේ එලෙසය. තීරණ වෙනස් කිරීම ඔහුගේ චරිත ලක්ෂණයක් ලෙස සැලකෙන තරමට ගෙවුණු සමයේ වරක් ගත් තීරණ නැවත නැවතත් වෙනස් කිරීමට ජනපති සිරිසේන කටයුතු කළ අතර, ඒවා මෙපමණ යැයි ගෙනහැර දැක්වීමට නොහැකි තරමට ලයිස්තුව දිගුය.

පාර්ලිමේන්තුවේ සාමාජිකයන් 225 දෙනාම ඉල්ලා සිටිය ද තමා කිසිදු අවස්ථාවක නැවත රනිල් වික්‍රමසිංහ මහතාව අගමැතිවරයා ලෙස පත්නොකරන බව ඔහු වරක් පැවැසුවේ ය. ජනපතිවරයා මෙසේ පවසන්නට යෙදුණේ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිදුවූ දේශපාලන අර්බුදය අතරවාරයේය. නමුත් අවසානයේ ඔහු අගමැතිවරයා ලෙස පත්කළේ වික්‍රමසිංහවමය. සති කිහිපයකට පෙර ගෝඨාභය රාජපක්ෂගේ ජනපති අපේක්ෂකත්වයට සහාය දැක්වීමට මධ්‍යම කාරක සභාව තීරණය කළේ ය. කෙසේ වුවත්, දින දෙකකට පසු ජනපති සිරිසේන කියා සිටියේ තමා නිර්පාක්ෂික පිළිවෙතක් අනුගමනය කිරීමට යන බවය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඔහු වෙත පීඩනයක් එල්ල කර තිබිණ.

මෙවර ද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඔහුට පීඩනය එල්ල විය. ගෙවුණු මාස කිහිපයේ ජනපතිවරයා සිය කටයුතුවල දී විශ්වාසය තැබූ එක්තරා උපදේශකවරයෙක්, මෙම අවස්ථාවේ දී චන්ද්‍රිකා කුමාරතුංග පක්ෂයෙන් නෙරපා හැරීමෙන් සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඡන්දදායකයින් දුරස්වීමේ අවදානමක් ඇතිවන බව පෙන්වා දුන්නේ ය. මූලෝපාය සකස් කරන්නකු ලෙස තමන්වම පත්කරගෙන සිටින මෙම උපදේශකවරයා වැඩිදුරටත් ජනපති සිරිසේනට උපදෙස් දෙමින්, කුමරතුංගව ඉවත් කරන්නේ නම් ඒ හා සමානවම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ද සැලකිය යුතුව තිබෙන බව පෙන්වා දුන්නේ ය. ඔහු ද පක්ෂයේ විනය කඩකර තිබිණ. නමුත් රාජපක්ෂට එරෙහිව එවැනි පියවරක් ගැනීමේ ආදීනව බරපතළ විය. එනිසාවෙන්ම ජනපතිවරයා සිය අදහස වෙනස් කරගත්තේ ය.

මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් පියවර ගැනීම සංවේදී කාරණයක් වීමට තවත් හේතුවක් වූයේ ඉතා මෑතක දී, ජනපති සිරිසේන සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර පැය 2කට ආසන්න කාලයක් පැවැති හමුවකි. සිරිසේනගේ දේශපාලන අනාගතය ඇතුළු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ඔවුහු සාකච්ඡා කළහ. පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා, ජනපති සිරිසේනගේ වුවමනා එපාකම් සටහන් කරගන්නට යෙදුණ ද ඒවා ඒ අයුරින්ම සැපිරෙනු ඇති බවට සහතිකයක් නුදුන්නේ ය. එම කාරණා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගනු ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ නායකයින්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජනපතිවරයා කෙරේ නොපහන් සිතකින් පසුවන බව නොරහසකි. නමුත් දෙදෙන අතර සාකච්ඡාවට පසුව, ජනපති සිරිසේන අමාත්‍යවරයෙක් ලෙස පත් නොවූවහොත්, ඔහු කතානායකවරයා ලෙස පත්වනු ඇති බවට මත පළවන්නට විය.

එය එසේ වුවහොත්, ජනපතිවරයා - අගමැතිවරයාගෙන් පසුව රාජ්‍ය පාලනයේ තෙවැනියා වන කතානායවරයා වන්නේ ඔහුය. නමුත් ජනපති සිරිසේනට කතානායකවරයා ලෙස පත්වීමට නම්, වත්මන් කතානායක කරූ ජයසූරිය මහතා එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතුය. නැතහොත් ඔහුට එරෙහිව ගෙන එන විශ්වාසභංගයක් හරහා කතානායක ධුරයෙන් ජයසූරියව ඉවත් කළ යුතුය. එවන් අවස්ථාවක පාර්ලිමේන්තුවේ පැවැත්වෙන රහස්‍ය ඡන්දයකින් නව කතානායකවරයා තෝරා ගැනේ. ජයසූරිය ඉවත් කිරීමට තරම් සහායක් දිනාගත හැකිවෙතැයි විශ්වාසයක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට තිබේ.

කෙසේ වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී, හිටපු ජනපතිනියගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති සම්මේලනයට එක්ව සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයින් සිව්දෙනා ඔවුන්ගේ තනතුරුවලින් ඉවත් කර ඒ වෙනුවට නව පුද්ගලයින් පත්කිරීමට තීරණය කැරිණ. මධ්‍යම කාරක සභා රැස්වීම ආරම්භ වන තෙක්ම මෙම කාරණය ගැන එහි සාමාජිකයන් දැන සිටියේ නැත. නව සංවිධායකවරුන් පත් කිරීම එළැඹි බදාදා දිනයේම සිදුවිය. ඊට අමතරව, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන රැලිවලට සහභාගී වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට හූ සංග්‍රහයන් ලැබෙන බව ජනපතිවරයාට දැනගන්නට ලැබුණු අතර, එවැනි රැස්වීම්වලට සහභාගී නොවී ගෝඨාභය රාජපක්ෂ මහතගේ ජයග්‍රහණය වෙනුවෙන් වෙනම රැස්වීම් පවත්වන ලෙසට ඔහු උපදෙස් දුන්නේ ය. දයාසිරි ජයසේකර, මහින්ද සමරසිංහ, දුමින්ද දිසානායක, මහින්ද අමරවීර, තිලංග සුමතිපාල සහ ෆයිසර් මුස්තාපා යන මහත්වරු වෙනත් ගැටලු සම්බන්ධයෙන් අදහස් දැක්වූහ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරීමට කැඳවුණු පක්ෂ මධ්‍යම කාරක සභා හමුව අවසන් වූයේ මේ ආකාරයෙන්ය.

ඇයව පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර එසේ තිබිය දී නැවත පියවරක් පසුපසට ගැනීමෙන් පසුව, තම ඉදිරි ගමන සාර්ථක කරගැනීමට අනුගමනය කළ හැකි මාර්ග සොයා ගැනීමෙහි ලා ජනපති සිරිසේන කාර්යබහුල විය. පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාවක් ලබාගැනීම සඳහා ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් දැනට දරමින් සිටින පාර්ලිමේන්තු අසුන තමන් වෙත දිනාගැනීමට ජනපතිවරයා සමත් විය. ඔහු වරක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින ශාන්ත බණ්ඩාර මහතාගේ සහ පසුව තිලංග සුමතිපාලගේ පාර්ලිමේන්තු අසුන් ලබාගැනීමට උත්සාහ කළ ද දෙදෙනාම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ.

සිය පාර්ලිමේන්තු අසුන ජනපතිවරයාට ලබාදීමට එකඟව සිටින ඉහත සඳහන් කළ මන්ත්‍රීවරයා ද එසේ කරනු ඇත්තේ ජනපතිවරණයෙන් පසුවය. දේශපාලනයේ ඉදිරියට කටයුතු කිරීමට තමාට තවමත් හැකියාව පවතින නිසා ඉන් ඉවත්ව නොයන බව පවසා තිබීම, මෙසේ ජනපති සිරිසේන සක්‍රීය දේශපාලනයේ නිරතවීමට තිබෙන අවස්ථා පසුපස තිබෙන කාරණයයි. නමුත් මෙය, ආරම්භයේ දී ඔහු පවසන්නට යෙදුණු, ජනපති ධුරය දැරීමෙන් පසුව තමා විශ්‍රාම යන බව - යන ප්‍රකාශයට ඉඳුරාම වෙනස්ය. ඉදිරියේ දී ජනපති සිරිසේන අනුගමනය කිරීමට යන ක්‍රියාමාර්ගයන් අතර, ජාතිය අමතා ප්‍රකාශයක් සිදුකිරීමේ ඉඩක් ද පවතින බව එක්තරා ආරංචි මාර්ගයක් සඳහන් කළේ ය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග යම් එකඟතාවයක් ඇති කරගැනීමට ජනපති සිරිසේන සමත් වුවහොත් ඇතැම් විට මෙසේ ජාතිය අමතා ප්‍රකාශයක් සිදුකිරීමෙන් ඔහු වැළකී සිටීමට ඉඩ තිබේ. අනෙක් අතට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පිළිබඳව ද ඔහු බලාපොරොත්තු අතහැර නොමැත.

ෆීල්ඞ් මාර්ෂල්ගෙන් බෝම්බයක්
දෛවය පුදුමාකාර ලෙස වෙනත් මාර්ගයකට පිළිපන් නිසා දෝ, ජනපති සිරිසේනට ඔහුගේ පරම දේශපාලන එදිරිවාදියා වන අගමැති රනිල් වික්‍රමසිංහ සමග පවතින ආරෝව දෙවැනි තැනට පත්ව තිබෙන සෙයක් පෙනේ. ජනපතිවරයා ලෙස පත්වුවහොත්, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කරන බවට සජිත් ප්‍රේමදාස පවසා තිබීම ඔහුගේ දැඩි අසතුටට හේතුවී තිබේ. එවැන්නක් වුවහොත් ජනපති සිරිසේනගේ අංක 1 සතුරා බවට පත්වනු ඇත්තේ කොටි ත්‍රස්තයින් පරාජය කිරීමේ මෙහෙයුමට නායකත්වය දෙමින් යුද හමුදාව මෙහෙය වූ පුද්ගලයාය. මේ දක්වාම රහසක්ව පැවැති එයට හේතුව, අද දිනයේ අනාවරණය කිරීමට හැකිය. පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ පාස්කු ඉරිදා සංහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත් කැරුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ෆොන්සේකා ද සාමාජිකයෙක් විය.

තේරීම් කාරක සභාවේ අනෙක් සාමාජිකයන් සමග එකඟ නොවුණු ඔහු, ඔවුන් සම්පාදනය කළ වාර්තාවේ අනාවරණයන්ට පටහැනි කරුණු රැගත් පිටු 35කින් සමන්විත වාර්තාවක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම්ව සිට ඇත. එම වාර්තාවෙන් පාස්කු ඉරිදා සංහාරයේ සම්පූර්ණ වගකීම බැර කොට තිබෙන්නේ ජනපතිවරයාට සහ ජනපතිවරයාගේ අතිශය සමීපතමයෙක් වන රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාගේ ගිණුම්වලටය. ජයවර්ධන, ජනපති සිරිසේන සමග ඉතාම සමීපව කටයුතු කළ බව රහසක් නොවේ. ජනපතිවරයාගේ මැදිහත්වීම මත ඔහුව ජ්‍යෙෂ්ඨ සහකාර පොලිස් අධිකාරීවරයකුගේ තනතුරේ සිට නියෝජ්‍ය පොලිස්පතිවරයකු දක්වාම උසස් කැරිණ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කළ අනෙක් සාමාජිකයන් සැලකීමේ දී, ආරක්ෂාව සම්බන්ධයෙන් වන කාරණා පිළිබඳව දැනීමක් සහ ඉගෙනුමක් ඇති, එම කාරණා සම්බන්ධයෙන් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සිදුකිරීමේ හැකියාවක් තිබූ එකම පුද්ගලයා වූයේ ෆොන්සේකාය. බෙදුම්වාදී යුද සමයේ දී දිවා රෑ නොබලා හමුදා මූලස්ථානයේ සිට මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කළේ ඔහුය. එම සමයේ බොහෝ අවස්ථාවල ඔහුගේ කාමරයේ දොරටුව ඉහළින් රතු පැහැ විදුලි බුබුලක් දැල්වෙමින් තිබුණු අතර, ඇතුල්වීමට කිසිවකුටත් අවසර නොමැති බව එහි අර්ථය විය. යුද කටයුතු මෙහෙයවීම පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ඇති ඔහුට, බුද්ධි අංශවල හැකියාවක් සම්බන්ධයෙන් ද හොඳ අවබෝධයක් තිබේ. කෙසේ වුවත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කළ අනෙක් සාමාජිකයන්ට තිබුණේ වෙනත් න්‍යාය පත්‍රයකි. ප්‍රකාශයට පත්කර තිබෙන වාර්තාවේ බොහෝමයක් අනාවරණයන් අභූත සහ දේශපාලනමය වශයෙන් අවස්ථා සහගත ස්වභාවයක් ගන්නා බව රහසක් නොවේ. මෙම තේරීම් කාරක සභාව සහ මහ බැංකු බැඳුම්කර වංචාව විමර්ශනය කිරීම සඳහා පත් කැරුණු තේරීම් කාරක සභාවේ ක්‍රියාකාරීත්වය එකිනෙක සමානය. මහ බැංකු බැඳුම්කර සිදුවීමේ බොහෝ කරුණු කාරණා අනාවරණය වූයේ ඒ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිසමක් ස්ථාපිත කර විමර්ශන පැවැත්වූවායින් පසුවය.

අගමැති ධුරය අරබයා අර්බුදය
මෙය අගමැති රනිල් වික්‍රමසිංහ අතිශය කලබලයට පත්කළ සිදුවීමක් විය. ඒ මන්ද යත්, පාස්කු ඉරිදා සංහාරයන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම සඳහා පෙරමුණ ගත් අය අතර ඔහු ද අයෙක් වන බැවිනි. අවසානයේ බොහෝ වෙහෙසක් දරා, වෙනම සකස් කර තිබෙන වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමෙන් ෆොන්සේකාව වළක්වා ගැනීමට ඔහු සහ අනෙක් සහ සමත් වූහ. එය දැන් රහසක් ලෙසම පවතිනු ඇත. නමුත්, ෆොන්සේකා කවර හෝ අවස්ථාවක මෙරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්වුවහොත් ඔහු පාස්කු ඉරිදා සංහාරය නැවත විමර්ශනයට ලක් කර, සත්‍ය කරුණු කාරණා සියල්ල ඒ අයුරින්ම අනාවරණය කරගනු නිසැකය. ඒ නිසාම ෆොන්සේකාගේ වාර්තාව ඇතැම් දේශපාලන කවයන්වල බිය අවුලුවා තිබේ. තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා කැඳවිය යුතුවම තිබූ දේශපාලනඥයින්ව සහ සාක්ෂිකරුවන්ව නොසලකා හැරීමෙහි ලා වන භූමිකාවකට මෙම කවයන් පණ පොවා තිබීම එයට හේතුවයි.

ෆීල්ඞ් මාර්ෂල් ෆොන්සේකා හැරෙන්නට සිය කැබිනට් මණ්ඩලයේ අනෙක් තනතුරු සඳහා මේ දක්වාම වෙනත් කිසිදු පුද්ගලයෙක් තෝරාගෙන නොමැති බව සජිත් ප්‍රේමදාස පැහැදිලිවම ප්‍රකාශ කර තිබේ. එහි ලා තවත් පියවරක් තැබූ ඔහු පසුගිය බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ සිරස නාලිකාව ඔස්සේ විශේෂ නිවේදනයක් සිදුකරමින් මෙසේ පැවැසුවේ ය.

මගේ ජනපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් මම පනවාගෙන තිබෙන කොන්දේසි ගැන පැහැදිලි කිරීමක් ඔබ හමුවේ සිදුකිරීමට මට වුවමනායි. ඒ හරහා රටේ දේශපාලනය වෙනස් කිරීමට මට තිබෙන අරමුණ ගැන කිසිම කෙනෙකුට සැකයක් නොතිබෙන බව සහතික කිරීමටයි මගේ මේ උත්සාහය. ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා ලෙස පත්වන්නේ එම තනතුර සඳහා පළමු වතාවට පත්වන සහ එසේ පත්වීමට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගන්නා පුද්ගලයෙක්.

ප්‍රේමදාස තමන් කෙරේ දැඩි විශ්වාසයකින් පසුවන බව මෙම අදහස් දැක්වීමෙන් මොනවට පැහැදිලි විය. රජයේ පුවත්පතක් වන සහ ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයට පැහැදිලි සහායක් දක්වන ඬේලි නිවුස් පුවත්පතට පවා එම ප්‍රකාශය සැර වැඩි වූ අතර, එනිසාවෙන්ම ඔවුන් එය සඟවා පළකර තිබුණේ සමාජ විප්ලවයක් යැයි සිරස්තලයක් යටතේ වූ පුවතක් හරහාය. අවම වශයෙන් ප්‍රේමදාස පවුලේ තිදෙනෙක් මෙම ප්‍රකාශයට සිදුකිරීමට සජිත් ප්‍රේමදාසට බලකර තිබෙන බව සන්ඬේ ටයිම්ස් හට දැනගත හැකිවිය. එය විශේෂයෙන්ම, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්ත මන්ත්‍රී ඒබ්‍රහම් සුමන්තිරන් මහතා හා අගමැති වික්‍රමසිංහ ඔවුනොවුන් අතර දිගින් දිගටම පවත්වාගෙන යමින් තිබෙන සංවාදය හමුවේ ය. කොළඹ සිටින මෙම දේශපාලනඥයා ගෙවුණු සතියේ ප්‍රකාශයක් සිදුකරමින්, දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය දක්වන බව පැවැසුවේ ය.

සුමන්තිරන්ගේ මෙම ප්‍රකාශයට සමගාමීව දෙමළ ජාතික සන්ධානය සජිත් ප්‍රේමදාසට සහාය දක්වන බව සඳහන් පිටු 3කින් යුතු නිවේදනයක් පසුගිය බදාදා නිකුත් කළේ ය. ආර්. සම්බන්ධන් (දෙමළ ජාතික සන්ධානය), සෙල්වම් අඩෙයිකලනාදන් (ඉලංගෙයි තමිල් අරසු කච්චි), ධර්මලිංගම් සිද්ධාර්තන් (දෙමළ ඊළම් විමුක්ති සංවිධානය) එයට අත්සන් තබා තිබිණ.

එම ප්‍රකාශයේ වැදගත්ම කොටස මෙසේය.

ජාතික ප්‍රශ්නය සඳහා පිළිගත හැකි දේශපාලනික විසඳුමක්, එක්සත්, නොබෙදුණු, බෙදිය නොහැකි රටක් තුළ ලබා දීම, අතුරුදහන් වූවන්ගේ ගැටලු, සිරභාරයේ සිටින්නන් පිළිබඳ ගැටලු, ඉඩම් නිදහස් කිරීම, නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපනය කිරීම, දේශීයව සහ අන්තර්ජාතික සමාජයට ශ්‍රී ලංකා රජය විසින් ඉටුකිරීමට කැපවූ පොරොන්දු ඉටු කිරීම සහ ඉහත සඳහන් ගැටලු පත්වන නව ජනාධිපති විසින් නිරාකරණය කළ යුතුව ඇත. මෙම ගැටලු නිරාකරණය හුදෙක් දෙමළ ජනතාවගේ අවශ්‍යතාවය සඳහා පමණක් නොව එය දේශයේ සියලු ජනතාව වෙනුවෙන් කළ යුතුය.

ප්‍රේමදාසගේ හිතවතුන් මෙය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයා, ඔවුන් සමග ඇතිකරගන්නා එකඟතාවයකට බැඳ දැමීමට දෙමළ ජාතික සන්ධානය ගන්නා උත්සාහයක් ලෙස අර්ථ දක්වයි. මෙහිලා විශේෂයෙන්ම, දෙමළ ජාතික සන්ධානය හා උතුරේ දෙමළ පක්ෂ ප්‍රකාශයට පත්කර තිබෙන ඉල්ලීම් 13 සම්බන්ධයෙන් හෝ වේවා වෙනත් කිසිදු කාරණයක් සම්බන්ධයෙන් හෝ වේවා, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ දෙමළ ජාතික සන්ධානය අතර කිසිදු සංවාදයක් හෝ අවබෝධතාවයක් නොමැති බව ද සඳහන් කළ යුතුය.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන්ට අනුව සහ ඔවුන්ගේ පසුගිය කාලයේ ක්‍රියාවන් සලකා බැලීමේ දී, අපේක්ෂකත්වය, වැඩසටහන් සහ ප්‍රතිපත්ති අනුව නිවැරැදි තීරණය වනුයේ නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයේ සජිත් ප්‍රේමදාස මහතාය.

ප්‍රේමදාසට සහාය දක්වන බවට සුමන්තිරන් සිදුකළ ප්‍රකාශයත් සමග එයට එරෙහිව භික්ෂු ප්‍රජාවේ ඇතැම් කොටස් සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය හඬ අවදි කළහ. දෙමළ ජාතික සන්ධානය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණයට සහාය දක්වන්නේ ආන්දෝලනාත්මක ඉල්ලීම් 13 මත පිහිටා බවට ඔවුහු චෝදනා කළහ. අගමැති වික්‍රමසිංහ එම චෝදනා සියල්ල බැහැර කළේ ය. මෙම ඉල්ලීම් 13ට ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය වෙනුවෙන් අත්සන් තැබූ සෙල්වම් අඩෙයිකලනාදන්ම, පසුගිය බදාදා ප්‍රේමදාස වෙනුවෙන් සහාය පළකර නිකුත් කළ නිවේදනයට අත්සන් යොදා තිබෙන තිදෙන අතුරින් එක් අයෙක් බව ද සඳහන් කළ යුතුය.

සියලුම ශ්‍රී ලංකා පුරවැසියන් මත එක් නීතියක් බලපැවැත්වෙන බව සහතික කිරීම සඳහා යෝජිත නීති සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ නායකයින් අතර හමුවක් පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණ. විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා එහිදී අදහස් දක්වමින්, දෙමළ පක්ෂ 5 ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් 13 සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු යැයි යෝජනා කළේ ය. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මෙම හමුවට එක්ව සිටි සුමන්තිරන් එය අසා, ‘අපට එහි කිසිම සම්බන්ධයක් නැහැ’ යැයි පැවැසුවේ ය. ඒ හමුවේ ඔහු හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ අතර විවාදයක් ඇතිවිය.

‘එයට කිසිම සම්බන්ධයක් නැති බව ඔබ පවසනවා. නමුත් ඔබේ පක්ෂය එයට අත්සන් තබා තිබෙනවා.’ සමරසිංහ පැවැසුවේ ය. මෙම ඉල්ලීම් 13 සමග සම්බන්ධයක් නොමැති නම් දෙමළ ජාතික සන්ධානය ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළ යුතු බව ඔහු වැඩිදුරටත් කීවේ ය. නමුත් එම ඉල්ලීම් සමග තම සන්ධානයේ සම්බන්ධයක් නොමැති නිසා එවැනි ප්‍රකාශයක් සිදුකිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව සුමන්තිරන් අවධාරණය කළේය. සමරසිංහගෙන් නැගුණු පැනය හමුවේ ඔහු අපහසුතාවයට පත්වූ බව පැහැදිලිව පෙනිණ.

ඇයි අප එසේ කළ යුත්තේ? ඔහු විමසුවේ ය. මෙම අවස්ථාවේ දී සුමන්තිරන්ගේ සහායට පැමිණි එක්සත් ජාතික පක්ෂ සාමාජික, පාර්ලිමේන්තුවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, ඉල්ලීම් 13 සමග දෙමළ ජාතික සන්ධානයට සම්බන්ධයක් නොමැති බව පිළිගත්තේ ය. නමුත් යථාර්ථය එයින් බොහෝ දුරය. දෙමළ ජාතික සන්ධානය හා ඉල්ලීම් 13 අතර සම්බන්ධයක් නොමැති බවත්, එයට අත්සන් තැබූයේ සන්ධානයේ සාමාජිකයෙක් වන මාවයි සේනාධිරාජා බවත්, පැවැසීම සුමන්තිරන් හමුවේ නිර්මාණය කර තිබෙන්නේ පවත්වාගෙන යාමට අපහසු ස්ථාවරයකි. සේනාධිරාජාගේ අත්සන ගැන ඔහුට කියන්නට තිබෙන්නේ කුමක් ද? එම අත්සන් තැබීම කිසිවෙකුටත් රහසේ සිදුව තිබෙන්නට කිසිදු ඉඩක් නැත. සුමන්තිරන් යාපනයේ එක් ස්ථාවරයකුත්, කොළඹ තවත් ස්ථාවරයකුත් පවත්වාගෙන බව දැන් පැහැදිලිය. ඒ හරහා ඔහු ප්‍රේමදාසට සහාය දැක්වීම සාධාරණීකරණය කිරීමට මාර්ගයක් පාදාගෙන තිබේ. වික්‍රමසිංහ සමග පවත්වාගෙන ගිය සංවාදය - ප්‍රේමදාසට දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන බවට පිටු 3කින් යුක්ත නිවේදනයක් නිකුත් කිරීම දක්වා දුරදිග ගොස් තිබීම ප්‍රේමදාස කණ්ඩායමේ දැඩි කෝපයට හේතු වී තිබේ. එය නිකුත් කැරෙන තුරුම ඒ සම්බන්ධයෙන් ප්‍රේමදාසගේ ආධාරකරුවන් බහුතරයක් නොදැන සිට තිබීම ද විශේෂය.

එක්සත් ජාතික පක්ෂයේ ඉහළම තලයන්හි අගමැතිවරයා සම්බන්ධයෙන් ප්‍රේමදාස පළකර තිබූ අදහස් අරබයා පැහැදිලි බෙදීමක් හඳුනාගත හැකිවිය. ඔහුගේ ආධාරකරුවන් එම අදහස්වලට සහාය දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.

දකුණේ පැතිර තිබූ බොහෝ සාවද්‍ය තොරතුරුවලට ප්‍රතිචාර දැක්වීමට ඔහුට සිදුවුණා. මෙම තොරතුරුවලින් ඡන්දදායකයා නොමග යන්නට ඉඩ තිබුණා.

අනෙක් පසින් වික්‍රමසිංහගේ ආධාකරුවන් ප්‍රේමදාසගේ අදහස් සම්බන්ධයෙන් පළකළේ දැඩි විරෝධයකි. දුරදිග සිතා නොබලා, ඉතාම අසංවේදී ලෙස ඔහු එම අදහස් පළකළ බවට ඔවුහු චෝදනා කළහ. කෙසේ වුවත් ප්‍රේමදාසගේ ප්‍රකාශයෙන් පසුව පැය 48ක් ගත වුව ද අගමැති වික්‍රමසිංහ අනුගමනය කළේ නිහඬ පිළිවෙතකි. එයට හේතුව තේරුම්ගත හැකිය. ප්‍රේමදාසගේ අදහස්වලට ඔහු දක්වන කවර හෝ අදහස් දැක්වීමක් හෝ පැහැදිලි කිරීමක් මෙම අවස්ථාවේ සැලකෙනු ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂකයාගේ මැතිවරණ ව්‍යාපාරය දුර්වල කිරීමට ගන්නා උත්සාහයක් ලෙසය.

සිකුරාදා වික්‍රමසිංහ හමුවූ එක්තරා ආසියාතික රටක දූතයෙක් ප්‍රේමදාසට එරෙහිව වහාම පියවර ගන්නා ලෙස ඔහුගෙන් උදක්ම ඉල්ලා සිටියේ ය. ප්‍රේමදාසට දක්වනු ලැබූ සහාය ඉවත් කරගැනීමට දෙමළ ජාතික සන්ධානයෙන් ඉල්ලා සිටිය යුතු බවත්, එසේ වුවහොත් ප්‍රේමදාස පරාජයට පත්වනු ඇති බවත්, ඔහු පෙන්වා දුන්නේ ය. වික්‍රමසිංහ මෙම දූතයාගේ ඉල්ලීමට සවන් දුන්නා මිස ඒ සම්බන්ධයෙන් කිසිදු අදහසක් නොදැක්වූයේ ය. එම කාරණය එතැනින්ම නිමා විය.

ජනපතිවරණයෙන් ප්‍රේමදාස ජයග්‍රහණය කළහොත්, වික්‍රමසිංහට අගමැතිවරයා ලෙස කටයුතු කිරීමට පවතින ඉඩකඩ ඔහු වළක්වාලනු ඇත්තේ කෙසේදැයි යන්න ගැටලුවකි. ඉදිරි වසර 5ක කාලය දක්වාම පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන්නේ වික්‍රමසිංහ බවට එක්සත් ජාතික පක්ෂ වාර්ෂික සම්මේලනයේ දී අනුමැතිය හිමිවූයේ යන්තම් මීට මාස කිහිපයකට ඉහතය. පක්ෂයේ ව්‍යවස්ථාව අනුව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා වන්නේ ද පක්ෂ නායකයාය. වික්‍රමසිංහව පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීමට නම් මේ සියල්ල ආපසු හැරවීමට ප්‍රේමදාසට සිදුවේ. අනතුරුව වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය වන විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය බහුතර කැමැත්තෙන් සම්මත කරගැනීමට ඔහුට සිදුවේ. එයට පරිබාහිර වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට ප්‍රේමදාස පෙළඹුණහොත් එය පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ ජනපති සිරිසේන අගමැතිවරයා ඉවත් කිරීමට ගොස් ව්‍යවස්ථා පඹගාලක පැටලුණා හා සමාන ඉරණමක් ඔහුට ද අත්කර දෙනු ඇත.

හිතවත්කම නිසාම කැබිනට් අමාත්‍ය ධුර ලබාගත් වික්‍රමසිංහගේ සමීපතමයින් කිහිපදෙනෙක්ට ද ඔවුන්ගේ එම අමාත්‍ය ධුරයන් අහිමිවීමේ ඉඩ ඇත. ඔවුන් ඇතැමෙක් දැනටමත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දක්වන්නේ ද නැත. ප්‍රේමදාස පරාජයට පත්වුවහොත් එය විපක්ෂ නායක ධුරය සතුකර ගැනීම සඳහා වන සටනක ආරම්භය සනිටුහන් කරනු ඇත. මෙහිදී ද, පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ වික්‍රමසිංහමය. ආරම්භයේ දී, ප්‍රේමදාසට පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය ලබාදීම ප්‍රතික්ෂේප කළා හා සමානවම විපක්ෂ නායක ධුරය ද, ප්‍රේමදාසට ලබාදීම ඔහු ප්‍රතික්ෂේප කරනු ඇත. දෙදෙන අතර තනතුරු සඳහා තරගයක් ඇතිවන බව එයින් ගම්‍ය වන අදහසයි. එපමණක් නොව එය එක්සත් ජාතික පක්ෂයේ අනාගතය කෙබඳු වනු ඇති ද? යන පැනය කෙරෙහි ද අවධානය යොමු කරවන්නක් වනු ඇත.

මංගලගේ එම්සීසී ගිවිසුම
නාමයෝජනා භාරදුන් අවස්ථාවේ සිට සජිත් ප්‍රේමදාස කල්නොමරා තීන්දු තීරණ ගන්නා, ක්ෂණිකව අවශ්‍ය පියවර ගන්නා පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බව දැන් මොනවට පැහැදිලිව තිබේ. ඒ අනුවම යමින් ඔහු එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඒ අරබයා පියවරක් පසුපසට ගැනීමට සිදුවන තැනට පත් කළේ ය. කොටින්ම, ශ්‍රී ලංකාවට ඩොලර් ලක්ෂ 4800ක මූල්‍ය ආධාරයක් ලැබෙන මෙම ගිවිසුම මුලින්ම අත්සන් තබා, පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මංගල සමරවීර සහ මෙරට ඇමෙරිකා තානාපති කාර්යාලය එකඟතාවයක් ඇතිකරගෙන පවා තිබිණ. සමරවීර මෙම ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබාගත්තේ ශ්‍රී ලංකා පුරවැසියන් එහි අන්තර්ගතය පිළිබඳ හාන්කවිසියක්වත් නොදැන සිටි වාතාවරණයකය. ඒ නිසාම ගිවිසුමට එරෙහිව දැඩි විරෝධයක් මතු වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම්සීසී ගිවිසුමේ අන්තර්ගතය ප්‍රසිද්ධ කිරීමට ඔවුනට සිදුවිය. එම්සීසී ගිවිසුම යහපත් හෝ අයහපත් යැයි මින් අදහස් නොකෙරේ. ගැටලුව වූයේ ඒ සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුව නොතිබීම සහ ප්‍රසිද්ධ විවාදයකට එය විවෘත කර නොතිබීමය. අවධානය ලබා දී තිබුණේ ඩොලර් ලක්ෂ 4800ක ආධාර මුදලක් ලැබෙනවාය යන්නට පමණකි.

මැතිවරණ වේදිකාවන්වල ඒකාධිපතිත්වයට සහ ආඥාදායකත්වයට එරෙහිව නිතරම අදහස් දක්වන සමරවීර, ගිවිසුමට කැබිනට් අනුමැතිය ලබාගත් පසුව එයට අත්සන් තැබීමට කිසිදු බාධාවක් මතු නොවෙතැයි විශ්වාස කළේ ය. පැහැදිලි එක්සත් ජනපද හිතවාදියකු වුව ද, සමරවීර අදහස් කළේ එම්සීසී ගිවිසුමේ අන්තර්ගතය ප්‍රසිද්ධියට පත් නොකරම එයට අත්සන් තැබීමටය. නමුත් එයට එරෙහිව දැඩි විරෝධයක් මතුවීම ඔහුගේ අසතුටට හේතු වූ අතර, එම නිසාම එම්සීසී ගිවිසුම පරිශීලනය සඳහා නිදහස් කිරීමට මුදල් අමාත්‍යවරයාට සිදුවිය. ‘පුළුවන් නම් මට එක හානිකර කාරණයක් පෙන්වන්න’ ඔහු තර්ක කළේ ය. නමුත් අධ්‍යයනයකින් තොරව එය කළ හැක්කේ කෙසේ ද? සජිත් ප්‍රේමදාස වහා මැදිහත්ව ගිවිසුම අත්සන් තැබීම නතර කළේ ය. මෙරට එක්සත් ජනපද තානාපති කාර්යාලය සමරවීර සහ තවත් කිහිපදෙනකු මත රඳා පැවැතෙමින්, මැතිවරණ සමයක දී එම්සීසී ගිවිසුම අත්සන් තැබීමට ගත් උත්සාහය අතරමග නතර වූයේ මෙලෙසය. අවසන් ප්‍රතිඵලය ජනතාව අතර තව තවත් සැකසංකා ඇතිවීම පමණක් විය.

කොළඹ විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ මහනායක පූජ්‍ය උඩුදුම්බර කාෂ්‍යප හිමි සිදුකරන්නට යෙදුණු උපවාසයක් එම්සීසී ගිවිසුම අරබයා මහජන අවධානය යොමුවීමට හේතු වූ ප්‍රධාන කාරණයක් විය. ගිහි දිවියේ ඉන්ජිනේරුවෙක් ලෙස කටයුතු කළ උන්වහන්සේ සන්ඬේ ටයිම්ස් හා මෙසේ අදහස් දැක්වූහ.

‘නොවැම්බර් මස 16 වැනිදා ජනපතිවරණයට පෙර මෙම ගිවිසුම අත්සන් නොතබන බවට ජනපති අපේක්ෂකයින් දෙදෙනාගෙන්ම - ගෝඨාභය රාජපක්ෂගෙන් සහ සජිත් ප්‍රේමදාසගෙන්, සහතික කිරීමේ ලිපි මට ලැබුණු නිසා උපවාසය අත්හරින්නට මම තීරණය කළා.’

එම්සීසී ගනුදෙනුවේ කිසිදු විනිවිදභාවයක් නොමැති බව අවධාරණය කළ උන්වහන්සේ, එය කඩිනමින් අත්සන් තැබීම සඳහා කිසියම් උත්සාහයක් ගැනෙමින් පවතින බව වැඩිදුරටත් වදාළහ.

සිත්ඇදගන්නා සුලු දීමනා පැකේජයක් ජනපතිවරයාට ලබාදීමට අදාළ පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍යවරයාය. මෙම පැකේජයේ සම්පූර්ණ තොරතුරු තවමත් අනාවරණයව නොමැත. අනෙක් අතට, එම්සීසී ගිවිසුමට අනුමැතිය හිමිවූ කැබිනට් රැස්වීමේ මුලසුන හෙබවූයේ ජනපති සිරිසේනය. එහෙත් ඒ සම්බන්ධයෙන් වෙනත් කිසිවක් ජනපතිවරණයට පෙර සිදුනොකළ යුතු බව ඔහු පැහැදිලිවම කියා සිටියේ ය.

කාෂ්‍යප හිමියන්ට යොමුකළ ලිපියේ ගෝඨාභය රාජපක්ෂ මෙසේ සඳහන් කර තිබිණ.

ඔබවහන්සේගේ සත්‍යක්‍රියාව පිළිබඳව මහත් ගරුත්වයකින් මෙන්ම දැඩි කම්පාවකින් යුතුව මෙසේ සටහන් කිරීමට කැමැත්තෙමි.
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ සිට මැතිවරණ ප්‍රතිඵල නිකුත්වන මොහොත දක්වා මෙම ආණ්ඩුව විසින් අත්සන් තබන ලද සියලු ගිවිසුම් ජාතික ආරක්ෂාව, ස්වෛරීභාවය සහ ජාතික අවශ්‍යතාවයන්ට යටත්ව නැවත සලකා බැලීමටත්, ජාතික වුවමනාවන්වලට පටහැනි නම් ඒවා අහෝසි කිරීමට කටයුතු කිරීමටත් වගබලාගන්නෙමි.

සජිත් ප්‍රේමදාස යවා තිබූ ලිපිය මෙවැනි විය.

ශ්‍රී ලංකා ආණ්ඩුව හා ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ්‍ර අභියෝගතා සමාගම අතර, අත්සන් තැබීමට නියමිත වූ ගිවිසුම එළැඹෙණ ජනපතිවරණ දිනය වූ නොවැම්බර් මස 16 වන දින දක්වා කිසිදු ලෙසකින් අත්සන් නොතැබීමට ආණ්ඩුව තීරණය කර ඇති බව ඔබවහන්සේට ගෞරවයෙන් යුතුව දන්වනු කැමැත්තෙමි. ජනාධිපතිවරණයෙන් පසුව හෝ එකී ගිවිසුම අත්සන් කෙරෙන්නේ නම් එසේ කරනු ලබන්නේ පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත සංවාදයකින් පසුව බව ද ගෞරවයෙන් ප්‍රකාශ කරන්නෙමි.

එමෙන්ම කිසිදු ලෙසකින් හෝ රටට අහිතකර ගිවිසුමකට මා විසින් කිසි දිනෙක නොඑළැඹෙන බව ඔබවහන්සේට වගකීමෙන් යුතුව දැනුම් දෙන අතර, මා කෙරෙහි ඒ සඳහා විශ්වාසය තබන ලෙස ද ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

මෙම ගිවිසුම පිළිබඳව ඉදිරි කටයුතු සිදුකෙරෙනුයේ ඔබවහන්සේ සමගත්, ගෞරවනීය මහා සංඝරත්නය සමගත් සාකච්ඡා කර අවවාද අනුශාසනා ලබාගැනීමෙන් පසුව බව ද වැඩිදුරටත් ගෞරවපූර්වකව දන්වා සිටිමි.

මෙම පරිච්ඡේදය සියලුම දේශපාලනඥයින්ට, විශේෂයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීරට පාඩමක් උගන්වයි. ජනතා මතයට එරෙහිව කැරෙන ඕනෑම දෙයක් භූමරංගයක් මෙන් නැවත කැරකී තමන් වෙතම පැමිණිය හැකිය. දිගු අතපෙවීමක් සහ ගනුදෙනුවක් සහිත ගිවිසුම්වලට එළැඹීමේ දී සැලකිල්ලට ගත යුතු එකම කාරණය මුදල් පමණක් නොවන බව හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙක් ද වන මංගල සමරවීර දැන සිටිය යුතුව තිබිණ. තමන් ගැන ඉහළින් සිතා කටයුතු නොකර, සංවාදයක් ඇතිවීමට ඉඩකඩ සැලසීම මෙවන් කටයුතුවල දී ඉතාම වැදගත් වේ. සජිත් ප්‍රේමදාස ඔහුට එම මාර්ගය පෙන්වා දුන්නේ ය. ගෝඨාභය රාජපක්ෂ ද, කළේ එයමය.

ජනපතිවරණ අනාවැකි
මැතිවරණ ප්‍රචාරණ කටයුතු බදාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. මනාව සම්බන්ධීකරණය කරන ලද සහ සංවිධානාත්මක මැතිවරණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සමත් වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඒ යටතේ සමාජයේ විවිධ මට්ටම් ආවරණය කළ අතර, ඒ සඳහා බිම් මට්ටමින් වෘත්තිකයන්ගේ කණ්ඩායම්, ව්‍යාපාරිකයන් සහ සවේච්ඡා සේවකයින් ඔවුන් යොදාගත්තේ ය. ගෝඨාභය රාජපක්ෂ, ඉහළ ගොස් තිබෙන ජීවන වියදමට සහනයක් ලෙස සහන පැකේජයක් ප්‍රකාශයට පත්කිරීමට ද නියමිතය. රැලි හරහා සැලකිය යුතු ජනතාවක් ආමන්ත්‍රණය කිරීමට ද ඔහු සමත් විය.

සජිත් ප්‍රේමදාස සැලකිමේ දී පරිබාහිර කාරණා හේතුවෙන් මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට ඔහු ප්‍රමාද විය. එය කිසිසේත්ම ඔහුගේ වරදක් නොවේ. ප්‍රේමදාසගේ ජනපති අපේක්ෂකත්වය තහවුරු කරගැනීමට සැලකිය යුතු කාලයක් ගතවීම මෙම තත්ත්වයට ප්‍රධානම හේතුවයි. මේ තත්ත්වය යටතේ ඔහුට සිදුවූයේ ප්‍රධාන ප්‍රදේශයන් ආවරණය වන පරිදි පමණක් සිය මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කිරීමටය. එහෙයින් බිම් මට්ටම නිසි පරිදි ආමන්ත්‍රණය කිරීමට ප්‍රේමදාස අපොහොසත් වූ අතර, එය ඇතැම් ප්‍රදේශවල පැහැදිලිව පෙනෙන්නට තිබේ.

දකුණේ දිස්ත්‍රික්ක
මෙවර ජනපතිවරණ ව්‍යාපාරයන්ගේ සාධනීය ලක්ෂණයක් වන්නේ මහා පරිමාණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවීමයි. මෙම තත්ත්වය යටතේ මැතිවරණ නිරීක්ෂකයින්, විශේෂයෙන්ම විදෙස් මැතිවරණ නිරීක්ෂකයින් වැඩි අවධානයක් යොමු කර තිබෙන්නේ වෛරී සහ ද්වේෂ සහගත ප්‍රකාශයන්, මැතිවරණ පිරිවැය සහ සමාජ මාධ්‍ය කෙරෙහිය. ඒ අරබයා මැතිවරණ කොමිෂන් සභාව ෆේස්බුක් සමාගම සමග අත්වැල් බැඳගෙන සිටින අතර, වෙනත් සමාජ මාධ්‍ය ජාලයන් ද නිරීක්ෂණය කෙරෙමින් පවතී. බදාදා මධ්‍යම රාත්‍රියෙන් පසු පැනවෙන ප්‍රචාරණ වාරණ කාලසීමාවේ දී, සමාජ මාධ්‍යයන් කෙරේ විශේෂ අවධානයක් යොමු කැරෙනු ඇත. ඉරිදා අලුයම වනවිට ජනපතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසම අදහස් කරගෙන සිටී. කෙසේ වුවත්, කිසිදු අf්ක්ෂකයකුට සියයට 50කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනාගත නොහැකි වුවහොත්, අවසන් ප්‍රතිඵලය තවත් දින දෙකකින් ප්‍රකාශයට පත්කරන බව එම කොමිසමේ නිලධාරියෙක් පැවැසුවේ ය. මැතිවරණ දින රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 4ක් පමණ අනුයුක්ත කර තිබේ. ඡන්ද රාජකාරි සඳහා යොදවා තිබෙන පොලිස් නිලධාරීන්ට සහාය දැක්වීමට ආරක්ෂක අංශ සාමාජිකයන් අනුයුක්ත කිරීමට ද පියවර ගෙන ඇත.

දකුණු පළාත සැලකීමේ දී ලබන සතියේ පැමිණෙන ජනපතිවරණයක ලකුණු විරල වුව ද ජනපතිවරණයේ ප්‍රතිඵලවලට බලපානු ඇති කරුණු කාරණා දැන් කරළියට පැමිණ තිබේ. ඉන් ප්‍රධානම වන්නේ සංචාරය ව්‍යාපාරයයි. පසුගිය අප්‍රේල් මාසයේ පාස්කු ඉරිදා සංහාරයෙන් පසුව සංචාරක ව්‍යාපාරය ඉතාම දරුණු කඩාවැටීමකට ලක්වූ අතර, සංචාරකයින් කැඳවා ගනු වස් සිය සේවාවන් ඉතා ලාභදායී මිල ගණන්වලට සැපැයීමට ඔවුනට සිදුවිය.

ලබන ඉරිදා වනවිට ශ්‍රී ලංකා පුරවැසියන් නව ජනපතිවරයෙක් පිළිගනු ඇත. නව ජනපතිවරයාට එයින් පසුව එළැඹෙන්නේ ලබාදුන් අනේකවිධ දේශපාලන පොරොන්දු ඉෂ්ඨ කළ යුතු වන කාලයයි. නව ජනපතිවරයා යටතේ නව රජයක් පත් කැරෙන සහ පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳැවෙන ලකුණු ද පෙනෙන්නට තිබේ. ප්‍රධාන අපේක්ෂක දෙපළ වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස දෙදෙනම, දූෂණයට සහ වංචාවට එරෙහිව පියවර ගත යුතුව තිබෙන බව දැඩිවම ප්‍රකාශ කර ඇත. අද පවතින අවශ්‍යතාවය වන්නේ වචනය නොව ක්‍රියාව බව ඔවුන් දෙදෙනාම දනී.

පරිවර්තනය
කෝවිද ගුණසේකර