ශ්‍රී ලංකාවේ විවිධාකාර රහස් ඔත්තු සේවාවන් වර්තමානයට වඩා අසූව දශකයේදී ක්‍රියාත්මක විය. ඒවා අතර මුල් තැනක් ගත්තේ ඉන්දියානු රෝ ආයතනය. ඇමෙරිකානු සී.අයි.ඒ., ඊශ්‍රායලයේ මොසාඞ් ඔත්තු සේවය, බි්‍රතාන්‍යයේ එම්.අයි. 6 යන විදේශ රහස් ඔත්තු සේවාවන්ය. මෙම විදේශ ඔත්තු සේවාවන්හි ඇතැම් නියෝජිතයන් අනුයුක්තව සිටින්නේ මෙරට තිබෙන අදාළ තානාපති කාර්යාලවල රාජ්‍ය තාන්ත්‍රික නිල නාමයන් යටතේය.


මෙම චරපුරුෂ සේවාවන් ශ්‍රී ලංකාවේ වැදගත් තොරතුරු (මෙරට හමුදා කටයුතු, විශේෂයෙන් පකිස්ථානය සහ චීනය සමග ජාත්‍යන්තර සබඳතා ඉරණවිල ඇමරිකානු හඬ, ත්‍රිකුණාමල වරාය තෙල් ටැංකි බදු ගිවිසුම්, දේශපාලන ක්ෂේත්‍රයේ චලනයන් වැනි දෑ) ලබාදීමට හැකි මෙරටෙහි ඉහළ පෙළේ පිරිස් යොදාගනු ලැබේ. රාජ්‍ය නායකයින්, ආරක්ෂක ප්‍රධානීහු, දේශපාලනඥයෝ, ප්‍රතිපත්ති සම්පාදකයෝ, මාධ්‍යවේදීහු ඇතුළු විවිධ පිරිස් එයට අයත් වෙති. ඔවුන් සඳහා විදේශ ශිෂ්‍යත්ව, චාරිකා, මුදල්, ත්‍යාගයන් ඇතුළු විවිධ වරදාන ප්‍රදානය කරනු ලබයි.


ජවිපෙ මගින් 1971 සිදුකරනු ලැබූ කැරැල්ල මර්දනය කිරීමට සිරිමා බණ්ඩාරනායක රජයට යුද උපදෙස් සැපයූයේ බි්‍රතාන්‍ය ඔත්තු සේවය බව වෙහෙසකර පර්යේෂණයකින් පසු බි්‍රතාන්‍යයේ ෆීල් මිලර් වසර 40කට පසු සිය පර්යේෂණය මගින් 2015 මුල් භාගයේදී අනාවරණය කළේය. ජවිපෙ නැගිටීම මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ හමුදාව සහ පොලිසිය සන්නද්ධ කිරීමට ද ඔවුන්ට උපදෙස් ලබාදීම ද බි්‍රතාන්‍යය මගින් ඉටුකළ රහසිගත කාර්යභාරය එහිදී ඔහු හෙළි කළේය. ඉන්දියානු සාගරයේ වෙළෙඳ මුහුදු මාර්ග මැද ලංකාවේ භූ දේශපාලන පිහිටීම සහ ත්‍රිකුණාමලය වරායේ යුදමය වැදගත්කම නිසා බි්‍රතාන්‍යයට ශ්‍රී ලංකාවේ මිත්‍රත්වය වැදගත් බව එහිදී අනාවරණය වී තිබේ.


ඊශ්‍රායලයේ ඔත්තු සේවය අසූව දශකය මුල් භාගයේ ක්‍රියාත්මක වූයේ කොළඹ ඔබරෝයි හෝටලයේ 9 වැනි මහලේය. මොසාඞ් ඔත්තු සේවයේ නියෝජිතයෙකු වූ මටානි එම කාර්යාලයේදී ඝාතනය කිරීමට දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් 1984 ජනවාරි 21 ඔබරෝයි හෝටලයේ බෝම්බයක් පිපිරුවද එය අසාර්ථක විය. එහෙත් හෝටල් සේවිකාවක් මරුමුවට පත්වූවාය. පසුව ඊශ්‍රායල් ඔත්තු සේවා කාර්යාලය කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා වෙත ගෙන ගිය අතර එහි සම්බන්ධීකාරකවරිය ලෙස සේවය කළේ මොනිකාය. වික්ටර් ඕස්ට්‍රොව්ස්කි විසින් ලියන ලද වේ ඔප් ඩිසෙප්ෂන් ග්‍රන්ථයේදී ඊශ්‍රායල් රජය මොසාඞ් ඔත්තු සේවාව ශ්‍රී ලංකා හමුදා භටයින්ට මෙන්ම දෙමළ බෙදුම්වාදී සංවිධාන වන ඊ.පී.ආර්.එල්.එෆ්. සහ කොටි සංවිධානයේ සාමාජිකයින්ට ද ඊශ්‍රාලයේදී අවි පුහුණුව ලබාදුන් බවට චෝදනා කළේය.

 

 

ඉන්දියානු රෝ සංවිධානය යනු රහසිගත මෙහෙයුම්වල නියැළුණු ඉන්දියානු බලගතුම ඔත්තු සේවාව ලෙස හඳුන්වන පර්යේෂණ හා විමර්ශන අංශය නම් වේ. රෝ යනු එහි කෙටි යෙදුමයි. ඉන්දියානු රෝ සංවිධානය යනු ඍජු ලෙසින්ම ඉන්දීය අගමැති කාර්යාල ලේකම්වරයා යටතේ ක්‍රියාත්මක වූවක් වන අතර අන් කිසිවෙකුට සහ කිසිවකට එහි බැඳීමක් නැත. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ ගනු ලබන තීරණ වහාම දැනගැනීමට සහ එම තීරණ ඉන්දියාවට හිතවාදී නොවන අවස්ථාවන්හි මැදිහත්ව ක්‍රියා කිරීම රෝ සංවිධානයේ අරමුණ වේ.


ඉන්දු සෝවියට් මිත්‍රත්ව ගිවිසුම 1971 අත්සන් කිරීමෙන් පසු එක්සත් ජනපදයට ඉන්දියාවේ අසල්වැසි රටක සහාය අවශ්‍ය වූ අතර ශ්‍රී ලංකාව එයට බළල් අතක් සේ යොදා ගත්තේය. ශ්‍රී ලංකාවට ඍජුව අතපෙවීම ඇරඹුණේ ජේ. ආර්. ජයවර්ධනගේ එජාප ආණ්ඩුව 1977 බලයට පත්වීමෙන් පසුවය.


එයට හේතු වූයේ එතෙක් ශ්‍රී ලංකාවේ පැවති නොබැඳි විදේශ ප්‍රතිපත්තිය ඉන්දියාව ද නොසලකා හරිමින් ඇමරිකාවට ගැති ප්‍රතිපත්තීන් ක්‍රියාවට නැංවීම නිසා එය ඉන්දිරා ගාන්ධි අගමැතිනිය නොඉවසීමය.


දෙමළ බෙදුම්වාදී සංවිධාන වන ටෙලෝ සමග මුලින්ද පසුව ඊ.පී.ආර්.එල්.එෆ්., ඊරෝස් සහ එල්.ටී.ටී.ඊ සමග ද ඉන්දීය ඔත්තු සේවය සබඳතා ඇති කර ගත්තේය. එම බෙදුම්වාදී දෙමළ සංවිධාන රෝ සංවිධානය සරණ පතා ගියා නොව රෝ ඔවුන් සොයා ගෙන පැමිණි බව යථාර්ථය විය. ශ්‍රී ලංකාවට එරෙහිව තමිල්නාඩුවේ රාමනාදන්පුරම් දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවකම දෙමළ බෙදුම්වාදීන් පුහුණු කරනු ලැබුවේ රෝ සංවිධානය මගිනි.


මෙවැනි පුහුණු කඳවුරු මාකිලිපට්නම්, මන්දපාති, කුම්බකෝනම් වැනි ඉන්දියාවේ දකුණු පෙදෙසට අයත් ස්ථානයන්හිද පවත්වාගෙන ගියහ. පසුව ඒවා රට මැද වෙනත් ස්ථානවල ද පිහිටවනු ලැබීය. ඒ අනුව උත්තර ප්‍රදේශයේ වක්‍රතා කඳවුර ද මධ්‍ය ප්‍රදේශ් හි හමුදා ඇකඩමියක්ද මේ සඳහා රෝ සංවිධානය විසින් යොදා ගැනිණි.


දෙමළ බෙදුම්වාදීන්ට වෙඩි පුහුණුව ලබාදෙන ලද්දේ ඉන්දීය යුද හමුදාව මගිනි. ඒ දලායි හා අහමද්නගර් යන ප්‍රදේශවලදීය. මධ්‍යම ප්‍රමාණයේ මැෂින් තුවක්කු, ස්වයංක්‍රීය රයිපල, පිස්තෝල හා ඒ.කේ. 47 රයිපල පරිහරණය ද ඊට ඇතුළත් විය. තවද සිතියම් කියවීම, යුධෝපායයන්, යුද කටයුතු සැලසුම් කිරීම, කැලෑ සටන්, ගරිල්ලා උපක්‍රම යනාදී වශයෙන් වූ අංගසම්පූර්ණ පුහුණුවක් එමගින් බෙදුම්වාදීන්ට ලැබිණ.

 

 

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ කලක් රහසිගතව කරගෙන ගිය කටයුතු පසුව විවෘත රහසක් බවට පත්විය. දෙමළ බෙදුම්වාදීන් පුහුණු කළ අය අතර ඉන්දීය බ්ලැක් කැට් කමාන්ඩෝ ඒකකයේ ප්‍රධානියකු වන නග්රානි සහ ඉන්දීය පොලිස් සේවයේ කටයුතු කරන ඒ. අර්ජුන්ද විය.


ශ්‍රී ලංකාවේ 1983 කළු ජූලියේ කලබල වන විට ශ්‍රී ලංකාවේ රෝ සංවිධානයේ ප්‍රධානියා වූයේ මැතිව් ඒබ්‍රහම්ය. ඔහුගෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණි රෝ නියෝජිතයා වූයේ රොමේෂ් ෂන්මුගම්ය. ඉන්දු ලංකා ගිවිසුම 1987 ජූලි 29 බලහත්කාරයෙන් ශ්‍රී ලංකාව සමග අත්සන් කර ගැනීමෙන් පසු ඉන්දීය සාමසාධක හමුදා භටයෝ 90,000 ක් පමණ මෙරටට ගොඩ බැස්සහ. ඉන්දියාවේ කැබිනට් මණ්ඩල අනුමැතියකින් තොරව රජීව් ගාන්ධි ගේ තනි තීරණයකට ශ්‍රී ලංකාවට හමුදාව යැවූ බව ඉන්දීය විදේශ ඇමතිවරයෙකු වූ නට්වාර් සිං 2014 අගෝස්තු 1 නිකුත් කළ සිය චරිතාපදානයේ සඳහන් කර තිබේ.


වඩමාරච්චි මෙහෙයුම අතරතුරදී තමිල්නාඩු රජය මගින් උතුරේ දෙමළ ජනයා සඳහා අතවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ රැගත් බෝට්ටු 19 ක් සහනාධාර ලෙස 1987 ජූනි 2 නීතිවිරෝධී ලෙස මුහුදෙන් එවීමට තැත් කරන ලදී. ශ්‍රී ලංකා නාවික හමුදාව එම බෝට්ටු ශ්‍රී ලංකා මුහුදු සීමාවට 1987 ජූනි 3 පස්වරු 6 ට පැමිණියද ඇතුළුවීම නවතනු ලැබීය. පසුව ඉන්දියාව 1987 ජූනි 4 පස්වරු 3.15 ට අනවසරයෙන් ශ්‍රී ලංකාවට භාණ්ඩ ප්‍රවාහන යානා 5 ක් ගුවන් මගින් පැමිණ උතුරට වියළි ආහාර සහ ඖෂධ ටොන් 25 ක් හෙළුවේය. ජවිපෙ ආරම්භ කළ කාලයේ සිටම ඉන්දීය ආක්‍රමණයක් පිළිබඳව අනතුරු ඇඟවීමක් කර තිබිණි.


අවසානයේ ඉන්දීය හමුදාවට ශ්‍රී ලංකාවෙන් 1990 මාර්තු 24 මුළුමනින් පිටව යෑම සිදුවූ අතර රෝ සංවිධානයේ ශ්‍රී ලංකා මෙහෙයුම කොටි සංවිධානය හමුවේ අසාර්ථක විය. ඉන්දීය හමුදාව උතුරු - නැගෙනහිර සිටි කාලය තුළ සාමාන්‍ය වැසියන් 6000කට වැඩි සංඛ්‍යාවක් ඝාතනය කර ඇතැයි කොටි සංවිධානයේ දේශපාලන උපදේශක ඇන්ටන් බාලසිංහම් 1990 අප්‍රේල් 3 ප්‍රකාශ කළේය. මෙම ගැටුම්වලදී කොටි සංවිධානයේ සාමාජිකයන් අතින් ඉන්දීය සෙබළු 3000 ක් මිය ගිය බවද තවත් ඉන්දීය භටයින් 4000කට තුවාල සිදුවූ බවද බාලසිංහම් කියා තිබිණි. ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිංද ඉන්දීය හමුදාවේ පවන් මෙහෙයුම සඳහා 1987 දී යාපනය ඇතුළු උතුරු - නැගෙනහිර මෙහෙයුම්වලට එක් වූවෙකි.


ඉන්දීය අගමැති රජීව් ගාන්ධි (46) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 1991 මැයි 21 රාත්‍රියේ මදුරාසියේ පෙරුම්බුදුර්හි පැවති ඡන්ද රැස්වීමකදී ඝාතනය කිරීමටද කොටි සංවිධානයට හැකි විය. ලෝකයේ හමුදා ශක්තිය අතින් සිව්වැනි ස්ථානය දරන ඉන්දීය හමුදාවට පරාජය කිරීමට නොහැකි වූ කොටි සංවිධානය මුලිනුපුටා දැමීමට හැකි වූයේ 2009 මැයි 18 ශ්‍රී ලංකා ආණ්ඩුවටය. ශ්‍රී ලංකාවේ නේවාසික රෝ ඔත්තු සේවා ප්‍රධානියා වූ කේ. ඉලගෝ ශ්‍රී ලංකාවෙන් ඉවත් කරන ලෙසට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව 2014 අවසාන භාගයේ කළ ඉල්ලීමට ද අවසානයේ ඉන්දීය තානාපති කාර්යාලයට එකඟ වීමට සිදුවිය.


අසූව දශකය අවසාන භාගයේදී ඉන්දීය තානාපති කාර්යාලය යටතේ රෝ සංවිධානය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග ගනුදෙනු කළ නිලධාරීන් වූයේ ගුරුජිත් සිං සහ හර්දීප් ජූරිය. කුමන මතභේද ඉන්දියාව සමග තිබුණද ජවිපෙ සමග ඇයි හොඳැයියක් පවත්වාගෙන යෑමට ඉන්දීය රෝ සංවිධානය 1989 මුල් භාගයේදී සමත් විය. ජවිපෙ වෙනුවෙන් ඉන්දියාවේ ශ්‍රී ලංකා රෝ සංවිධාන නියෝජිතයින් සමග සම්බන්ධකම් පැවැත්වූයේ දේශපාලන මණ්ඩල සභික ඩී. එම්. ආනන්ද, සෝමවංශ අමරසිංහ, එච්. බී. හේරත් සහ මධ්‍යම කාරක සභික උපාලි ජයවීර ඇතුළු කිහිපදෙනෙකි. ඩී. එම්. ආනන්ද සහ ඉන්දීය රෝ නියෝජිතයින් අතර පැවති එක් සාකච්ඡාවකට ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිං ගේ නායකත්වය යටතේ සේවය කළ බි්‍රගේඩියර් ජේ. එස්. ඩිලෝන්ද සහභාගි වී තිබිණි.

ඉන්දු - ලංකා ගිවිසුමට පක්ෂව පළාත් සභාවට 1988 දී තරඟ කිරීමට ඉන්දියාව මගින් රුපියල් ලක්ෂ 400 ක් ශ්‍රී ලංකා මහජන පක්ෂයට දෙවරකට ලබාදුන්නේය. මහජන පක්ෂය වෙනුවෙන් එය ලබා ගැනීමේ සාකච්ඡාවන්ට එක් වූයේ එහි ජ්‍යෙෂ්ඨ උප සභාපති ඔසී අබේගුණසේකර, ප්‍රධාන ලේකම් වරයකුව සිටි පියසේන ද සිල්වා, ප්‍රේමසිරි පෙරේරා ඇතුළු කිහිපදෙනෙකි. එමෙන්ම රුපියල් ලක්ෂ 200 මුස්ලිම් කොංග්‍රසයටද වෙන් වෙන්ව තවත් වමේ පක්ෂ 3කට පමණ රුපියල් ලක්ෂ 50 බැගින්ද පළාත් සභාවට තරඟ කිරීමට අනුග්‍රාහක දායකත්වයක් ඉන්දියාවෙන් ලැබුණු බව කියති. ඉන්දු ලංකා ගිවිසුමට පක්ෂ වීම සඳහා කොටි සංවිධානයට ඉන්දීය රුපියල් දශ ලක්ෂ 520 ක්ද ලබාදී තිබිණි. මේ පිළිබඳව 1987 සැප්තැම්බර් 28 රජිව් ගාන්ධි සහ ප්‍රභාකරන් අතර එකඟත්වයක්ද ඇතිවී තිබිණි.


ඉන්දු - ලංකා ගිවිසුමෙන් 1987 ජූලි මස ගිවිස ගත් පරිදි පාර්ලිමේන්තුව සම්මත කළ 1987 අංක 42 දරන පළාත් සභා පනතින් ලැබුණු බලතල ප්‍රකාර 1988 පෙබරවාරි 03 පළාත් සභා සංස්ථාපනය කරන ලදී. එජාප ආණ්ඩුව මගින් පළාත් සභා ඡන්දය පැවැත් වූයේ අවස්ථා 4 කදීය. උතුරු මැද, ඌව, සබරගමුව සහ වයඹ පළාත් සභා ඡන්ද 1988 අප්‍රේල් 28 මධ්‍යම සහ බස්නාහිර පළාත් සභා ඡන්ද ජූනි 02 ද දකුණු පළාතේ ඡන්දය ජුනි 09 ද, නැගෙනහිර පළාතේ ඡන්දය නොවැම්බර් 19 ද පැවැත්විණි. පළාත් සභා පනතට එරෙහි වූ ජවිපෙ පළාත් සභා ඡන්දයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාර සංවිධානය කළේය. පිළිගත් දේශපාලන පක්ෂවලින් ප්‍රථම පළාත් සභා මැතිවරණයට තරග කළේ ආණ්ඩු බලය හිමි එජාපය, එක්සත් සමාජවාදී පෙරමුණ (කොප, සමසමාජ, නසසප සහ ශ්‍රී ලංකා මහජන පක්ෂය) ඊ.පී.ආර්.එල්.එෆ් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පමණි. මේ අනුව ඉන්දු - ලංකා ගිවිසුමට පක්ෂ සියලු දෙනා ජවිපෙ මගින් දේශද්‍රෝහීන් ලෙස හඳුන්වනු ලැබීය. ශ්‍රී ලංකාවට පැමිණි අන්තිම ඉන්දියන් සෙබළා ශ්‍රී ලාංකික අන්තිම දේශද්‍රෝහියාගේ බඩ වැලෙන් එල්ලා මරාදමන බවට කැරලිකරුවෝ සපථ කළහ.


පළාත් සභා මැතිවරණයෙන් උතුරු - නැගෙනහිර ජයගත් ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය වෙනුවෙන් එහි මහ ඇමති වූයේ වර්ධරාජා පෙරුමාල්ය. ඉන්දීය හමුදා සහායට ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය හරහා ද්‍රවිඩ විමුක්ති හමුදාව නමින් 10,000 ක් පමණ වූ දෙමළ පිරිසක් පුහුණු කරන ලද්දේ ද රෝ සංවිධානය මගිනි. මෙම කණ්ඩායම යටතේ ත්‍රීස්ටාර් නමින් කණ්ඩායමක් පිහිට වූ අතර දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානයේ තිප්පොළවල් සහ සාමාජිකයන් හඳුනා ගැනීමට එයට නායකත්වය දෙනු ලැබුවේද රෝ සංවිධානය මගිනි. මොරවැව සිංහල ගම්බිම්වලට පැන ඔවුන් සංහාරය කළේද මෙම ද්‍රවිඩ විමුක්ති හමුදාව මගිනි. උතුරු නැගෙනහිර පළාත් සභාව 1990 මාර්තු 01 ඊළාම් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මන්ත්‍රණ සභාව ලෙස නම් කළ මහ ඇමති වර්ධරාජා ඊළමක්ද ප්‍රකාශ කළේය. ඔවුන් විසින් රජයට ඉල්ලීම් 19 ක් ඉටුකිරීමට වසරක් කල් දුන් අතර ඒවා ඉටු කළහොත් නැවත පළාත් සභාව පිහිටුවන බවද ප්‍රකාශ කළේය. ජනාධිපති ප්‍රේමදාස රජයේ ආශිර්වාදය සහ අනුග්‍රහය යටතේ එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානය වෙත දැඩි ප්‍රහාර එල්ල කළ අතර මහ ඇමති වර්ධරාජා ඉන්දියාවට පැන ගොස් දේශපාලන රැකවරණ ඉල්ලා සිටියේය.


ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව ශ්‍රී ලංකා මහජන පක්ෂයේම ආරක්ෂක වළල්ලක් විජය කුමාරතුංග විසින් ගොඩනගා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව විජය කුමාරතුංග විසින් 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් යවා තිබුණේද ඉන්දීය මැදිහත්වීමෙනි. ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානය, ඉන්දීය රෝ හරහා නඩත්තු විය.

 

 


මතු සම්බන්ධයි.