IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අලුත් ආණ්ඩුවක ආර්ථික අභියෝග

නිදහස් ශ්‍රී ලංකාවේ තවත් මහ මැතිවරණයක් හෙට (5) පැවැත්වේ. රටේ ඊළඟ අගමැති බවට පත් වීමට එක් එක් පක්ෂවලින් විවිධ නායකයන් තරග වදින අතර එයින් කවුරු අගමැති වුවත් ඒ අලු‍ත් අගමැති යටතේ පිහිටුවනු ලබන ආණ්ඩුවට වැඩ කරගෙන යෑමට දුෂ්කර වාතාවරණයක් ශ්‍රී ලංකාව තුළත් ලෝකය තුළත් මේ වනවිට උද්ගතව ඇත.

කොරෝනා හරහා ලොව පුරා පැතිරුණු වසංගතය තවමත් ඉවත්ව ගොස් නැත. ශ්‍රී ලංකාව ඒ වසංගතය අනෙක් රටවලට සාපේක්ෂව දැඩි ලෙස මර්දනය කරගත්තත් ඒ පිළිබඳව විවිධ මතවාද හටගෙන තිබේ. ඊටත් වඩා බලයට පත්වන නව රජය මුහුණ දෙන ඊළඟ බරපතළ අර්බුදය “ආර්ථික අර්බුදයයි.”‍

 මුලින්ම 2019 අග වනවිට ලෝක ආර්ථිකය පසුවුණේ කවර මට්ටමක ද යන්න විමසා බලමු. ඒ වනවිටත් සමස්ත ලෝක නිෂ්පාදිතයේ වර්ධන වේගය 2017 වසරේ සියයට 3.8ක්, 2018 වසරේ සියයට 3.6 ක්, 2019 වසරේ සියයට2.9ක් ලෙස පසුබැස ගිය තත්ත්වයක් පෙන්නුම් කළේය. එම තත්ත්වය එම කාලයේ ලෝකයේ බොහෝ රටවලට ද විද්‍යමාන විය. නිදසුන් වශයෙන් 2017-2019 කාලය තුළ ඇමෙරිකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 2.3සිට සියයට 1.7 දක්වාත්, යුරෝ කලාපයේ සියයට 2.3 සිට සියයට 1.2 දක්වා ද එක්සත් රාජධානියේ සියයට1.8 සිට සියයට 1.2 දක්වාත්, චීනයේ සියයට 6.9 සිට සියයට 6.1 දක්වා ද ඉන්දියාවේ සියයට 6.7 සිට සියයට 4.2 දක්වාත් අඩුවෙමින් පැවැතුණි. ඒ නිසා ක්‍රමයෙන් බිඳ වැටීමට ලක් වූ ලෝක ආර්ථික පසුබිමක් සහ 2015-2019 කාලය තුළ සියයට 3.7කට අඩු වර්ධනයක් වාර්තා කළ දේශීය ආර්ථිකයක් මෙරට තිබුණි. ඒ තත්ත්වය තවත් දරුණු අතට පත් කිරීමට සමත් වූ කොරෝනා වසංගතය මුලින් සෞඛ්‍ය වසංගතයක් ලෙස ලෝකයේ රටවල් 210කට වැඩි ගණනක අඩු වැඩි වශයෙන් ව්‍යාප්ත වී විශාල පිරිසකට මරු කැඳවූ අතර ලෝකයේ ක්‍රමයෙන් බිඳ වැටුණු ආර්ථික නන්නත්තාර කිරීමට ද හේතු විය.
 
2020 මැයි 15 දින ආසියානු සංවර්ධන බැංකුව (ADB) නිකුත් කළ ප්‍රකාශනයකට අනුව කොරෝනා වසංගතය නිසා ලෝක ආර්ථිකයට සිදුවූ පිරිවැය ඇමෙරිකන් ඩොලර් ට්‍රිලියන 5.8-8.8 අතර විය. ඒ නිසා අගෝස්තු 5 වැනිදා ඡන්දයෙන් බලයට පත්වන ශ්‍රී ලංකාවේ අලුත් ආණ්ඩුවට ජනපති ගෝඨාභය සමඟ එක්ව කටයුතු කිරීමට සිදුවනුයේ ඒ නන්නත්තාර වූ ලෝක ආර්ථිකයත් සමඟ වීම රජය මුහුණ දෙන ප්‍රධානම ආර්ථික අභියෝගයයි. නිදසුන් වශයෙන් ගත් විට 2020 ජුනි මස නිකුත් කළ World Economic Outlook වල නවතම දත්තවලට අනුව ලෝක ආර්ථික වර්ධන වේගය 2020 අගවන විට ඍණ සියයට 4.9ක්, සංවර්ධිත ආර්ථික ඍණ සියයට 8ක්, සෞදි අරාබිය ඇතුළු ඔපෙක් රටවල් ඍණ සියයට 6.8ක්, මැදපෙරදිග කලාපය ඍණ සියයට 4.7ක්, ලෙස දරුණු පසුබැස්මකට ලක්වන අතර චීනය ධන සියයට 1 වර්ධනයක් පෙන්නුම් කරන බව දැක්වේ. (එහෙත් 2019 වර්ෂයේ ධන සියයට 6.1ට සාපේක්ෂව එය ද දරුණු පසුබැස්මකි) එසේම ආසියානු සංවර්ධන බැංකුව (ADB) දකුණු ආසියාවේ 2020 ආර්ථික වර්ධනයක් පුරෝකථනය කර තිබෙන ආකාරයට කොරෝනා වසංගතයෙන් දකුණු ආසියාවේ රටවල් අතර දරුණු පසුබැස්මකට ලක් වූ රට මාලදිවයින වන අතර (-11.3%) දෙවැනි තැනට පත්ව තිබෙන්නේ ශ්‍රී ලංකාවයි (-6.1%). එහෙත් ශ්‍රී ලංකා මහ බැංකුව 2019 වාර්ෂික වාර්තාවේ දී සහ මෑතකදීත් පැවැසූ ආකාරයට ශ්‍රී ලංකාවේ 2020 ආර්ථික වර්ධන වේගය ධන සියයට 1.5ක් බවට පත්කර ගැනීමේ අභියෝගයට නව රජයට මුහුණ දීමට සිදු වනු ඇත. අනිකුත් දකුණු ආසියාතික රටවල් වූ ඇෆ්ගනිස්ථානය (-4.5), ඉන්දියාව (-4.0), පකිස්ථානය (-0.4), නේපාලය (+2.3), භූතානය (+2.4), බංග්ලාදේශය (+4.5) යන රටවල් අතර නේපාලය, භූතානය හා බංග්ලාදේශය පමණක් ධන තත්ත්වයක් වාර්තා නොවූ අතර ආර්ථික වර්ධනයේ පසුබැස්මට අමතරව OECD ආයතනය දක්වන්නේ ලෝක පරිභෝජනය තුනෙන් එකකින් අඩු වූ බවයි. ලෝක වෙළෙඳ සංවිධානය දක්වන ආකාරයට ගෝලීය වෙළෙඳ වර්ධන ඍණ සියයට13ක් බවයි. එසේම ලෝක තෙල් මිල 2019 දෙසැම්බරයේදී බැරල් එකක් ඩොලර් 60 සිට 2020 මැයි වනවිට සියයට 50ක් අඩු විය.

1978 ශ්‍රී ලංකාව විවෘත ආර්ථිකයක් ලෙස හඳුන්වා දෙන විට එම ප්‍රතිශතය සියයට 65ක් විය. 2005 දී එය සියයට 60කට අඩුවිය. 2014 එම ප්‍රතිශතය සියයට38ක් දක්වා අඩු වී දේශීය ආර්ථික කටයුතු සියයට 22කින් නැංවීමට කටයුතු කළ බව පෙනෙන්නට තිබුණි. එය සියයට 38ක මට්ටමේම තිබුණි. සියයට 38ක විවෘතභාවයක් පෙන්නුම් කරන ශ්‍රී ලංකා ආර්ථිකය ගෝලීයකරණය කෙරෙහි වැඩි නැඹුරුවකින් කටයුතු කරමින් සිටින බව පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයන හා ආනයන නැඹුරුව (Export and Import Direction) සිදුකරන රටවල් දෙසත් ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ප්‍රධාන තැනක් ගන්නා සංචාරක ඉපැයීම්වලවලට දායකවන රටවල් දෙසත් ශ්‍රී ලංකාවේ ද්විතීයික ආදායම් (Secondary Income) ලබාදෙන විදේශ ප්‍රේෂණ ලබාදෙන රටවල් දෙසත් බලන විටයි.

ශ්‍රී ලංකාවේ භාණ්ඩ මිලදීගන්නා රටවල් අතර, ඇමෙරිකාව (26%), යුරෝපා සංගමය (21%), එක්සත් රාජධානිය (8%), මැදපෙරදිග (9%), ඉන්දියාව (6%) ක් ද වශයෙන් නියෝජනය වන අතර ඒ සෑම රටක්ම කොරෝනා නිසා ශ්‍රී ලංකාවේ භාණ්ඩවලට ඉල්ලු‍ම අඩුකළ රටවල් විය. එසේම ශ්‍රී ලංකාවෙන් භාණ්ඩ ආනයනය කරන චීනය (20%), ඉන්දියාව (20%), යුරෝපා සංගමය (10%), අරාබි එමීර් රාජ්‍යය (8%), යන රටවල් ද කොරෝනා නිසා ආනයනය කිරීම සීමා කර තිබෙන අතර, රටක් වශයෙන් ශ්‍රී ලංකාව ද එම රටවලින් ආනයනය කිරීම සීමාකර ඇත. ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන යුරෝපීය රටවල් (35%), ඉන්දියාව (19%), චීනය (9%), ඕස්ට්‍රේලියාව (5%) සහ ඇමෙරිකාව (4%) යන රටවල් කොරෝනා නිසා තම සංචාරක කටයුතු නවතා දමා ඇත. ඒ නිසා ශ්‍රී ලංකාවේ සංචාරක ඉපැයීම් ශුන්‍ය වී ඇත. ඊට අමතරව ශ්‍රී ලංකාවෙන් විදේශ රැකියා සඳහා ගිය ශ්‍රමිකයන්ගෙන් ශ්‍රී ලංකාවට ලැබුණු ඉපැයීම්, එනම්, මැදපෙරදිගින් (51%), යුරෝපයෙන් (23%), දකුණු කොරියාව ඇතුළු ආසියාතික රටවලින් (20%), රැකියාවල නියුතු පිරිස්වලින් විශාල ප්‍රමාණයකගෙන් ලැබෙන ඉපැයීම් අඩුවී තිබෙන අතර, මේ වනවිට විශාල පිරිසකට රැකියා ද අහිමි වී ඇත.

ශ්‍රී ලංකාවේ විදේශ අංශයේ තවත් වැදගත් වන අයිතමයක් වන විදේශ ඍජු ආයෝජන (FDI) 2019 දී ලැබුණු රටවල් අතර ඉන්දියාව, සිංගප්පූරුව, කැනඩාව, හොංකොං හා චීනය ප්‍රධාන මූලාශ්‍ර 5 ද කොරෝනා නිසා අසරණ වී ඇත. මෙයින් පෙනී යන්නේ නව ජනපති හා නව අගමැති එක්ව නව ආණ්ඩුවට 2020 සිට රට ගොඩනැගීමට ප්‍රධාන අභියෝග 6කට මුහුණ දීමට සිදුවන බව හා එම අභියෝග ජය ගැනීමට පියවර රැසක් ගත යුතුව තිබෙන බවය. එම අභියෝග හා ඊට පිළියම් මෙසේ පෙළගස්වමු.

1. තාවකාලිකව ඇනහිට තිබෙන අපනයනාභිමුඛ නිෂ්පාදන ඇතුළු දේශීය ආර්ථික කටයුතු නංවාලීමේ අභියෝගය පළමු වැන්නයි. ඒ සඳහා ප්‍රධාන අපනයනය වූ ඇඟලු‍ම් අපනයනය කිරීමට තාවකාලිකව නොහැකි වුව ද කොරෝනා නිසාම අවශ්‍ය වන වෛද්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණවලට තිබෙන අධික ඉල්ලු‍මට (මේ වනවිට එම නිපැයුම් සඳහා ඩොලර් බිලියන 1කට ආසන්න ඇනවුම් ලැබී තිබේ.) අනුව නිෂ්පාදනය කිරීම් වැඩි කිරීමටත් තේ ඇතුළු කුරුඳු හා වෙනත් කුළුබඩු සඳහා තිබෙන දැඩි අපනයන ඉල්ලු‍ම සපුරාලීමටත් කටයුතු කිරීම කළ යුතුය. එය නව රජය යටතේ ක්ෂණිකව ඉටුකළ යුතු කාර්යයකි.

2. ගෝලීය සංචාරක කටයුතු සඳහා සීමා පැනවීම සමඟ සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන සංචාරක කර්මාන්තය පණ ගැන්වීමේ අභියෝගය දෙවැන්නයි. ඒ සඳහා රොබෝ තාක්ෂණයෙන් සමන්විත සෞඛ්‍ය ආරක්ෂක සේවා මහජන ආරක්ෂණ පියවර අනුගමනය කරන රටවල්වල  ක්‍රමවේද අනුගමනය කිරීමත් “වියපත් සංචාරක වැඩපිළිවෙළ”‍ අනුගමනය කිරීමත්, ටික කලක් යනතුරු වාර්ෂිකව රටවලට සංචාරය කොට වාර්ෂිකව ඩොලර් මිලියන 1.5ක් පමණ වැය කරන දේශීය සංචාරකයන්ට රට තුළ සංචාරක කටයුතුවල නිරත කරවීමට පෞද්ගලික අංශය දිරිගැන්වීමත් නව රජය ක්ෂණිකව කළ යුතු වෙයි.

3. අපනයන ඉපැයීම් අඩු වී තිබෙන තත්ත්වයක් තුළ අනවශ්‍ය ආනයන, මෝටර් රථ ආනයන අඩු කිරීමට පියවර ගැනීම නිසා 2020 ජුනි වනවිට වෙළෙඳ ශේෂය ධන කර ගත්තත්, එය වහාම නිවැරැදි කොට ආනයනවලට ඉඩ දී රටේ නිපැයුම්වලට අවශ්‍ය යෙදවුම් ලබා ගැනීමට ඉඩ දී නතර වූ නිෂ්පාදන කටයුතු වැඩි කොට ඒ නිසාම රැකියා අහිමි වූ අයට රැකියා දීමටත් වර්ධනය ඍණ වීම වළක්වා ගැනීමටත් වහාම පියවර ගැනීමට නව රජය පියවර ගත යුතුය.

4. ලෝක තෙල් මිල විශාල වශයෙන් පහත වැටීමේ වාසිය යොදාගනිමින් විදුලිබල සැපැයුම්, විදුලි සංදේශ කටයුතු සතුටුදායක අයුරින් දැනට ක්‍රියාත්මක වීම දිගටම ක්‍රියාත්මක කිරීම ගැන සතුටුවෙන අතර ඒ සඳහා පාරිභෝගිකයන්ට පිරිවැය සහනයක් දිගටම ක්‍රියාත්මක කිරීමට එනම් අඩු මිලකට එම සේවා ලබා දී තෙල් මිල අඩු වීමේ වාසිය ජනතාවට ලැබෙන්නට සැලැස්වීමට නව රජය වගබලා ගත යුතුය.

5. විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවෙන් ඉවත් කරගෙන යන විදේශ ආයෝජන අවම කරගැනීමේ හා නව ආයෝජන රට තුළට ආකර්ෂණය කරගැනීමට පියවර ගැනීමට ක්‍රියා කොට දැනට ක්‍රමයෙන් ශක්තිමත් වී තිබෙන රුපියලේ අගය තවදුරටත් ශක්තිමත් කිරීම නව ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුතු තවත් අත්‍යවශ්‍ය වැඩපිළිවෙළකි. එසේම මේ සඳහා සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට යොදා ගත හැකි රොබෝ තාක්ෂණය ද මෙයටත් යොදා ගත හැකිය. ශ්‍රී ලංකාවේ රජයේ සුරැකුම්පත්වල නව යෝජනා ආකර්ෂණය කරගැනීම ද ක්‍රියාත්මක කළ හැකිය. එසේම කොළඹ ව්‍යාපාරික සංගමය (CBA) මේ යටතේ යෝජනා කළ නව “සාර්ක් වෙළෙඳ ප්‍රදර්ශන” ද යොදා ගතය යුතුය. මේ යෝජනා ගැන නව රජයේ අවධානය වහාම යොමු විය යුතුය.

6. කොරෝනා වසංගතය හරහා හුවා දැක්වූ වැදගත් දෙයක් නම් වාණිජමය අවශ්‍යතා හා රාජකාරි කටයුතු සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම වැදගත් බවය. ඒ සඳහා මුල පිරීමක් සිදුකළේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් පියවීම් දෙපාර්තමේන්තුවේ මෙහෙවරක් ලෙස හඳුන්වා දීමෙනි. ඒ නිසාම මේ වනවිට කොරෝනා හමුවේ ශ්‍රී ලංකාවේ කාර්ය රැසක්ම පහසුවෙන් කරගත හැකි විය. කොළඹ තේ වෙන්දේසියේ හා කොළඹ කොටස් වෙළෙඳපොළේ කටයුතුත් රාජ්‍ය අංශයේ බොහෝ කටයුතු නිවසේ සිටම සිදුකර ගැනීමේ ක්‍රමයOnline ඉගෙනුම් ක්‍රමය පාසල්වල හා විශ්වවිද්‍යාලවල ආරම්භ කොට පාසල් හා විශ්වවිද්‍යාල වැසීමෙන් සිසුන්ට අධ්‍යාපනය නිවසේ සිටම ලබා ගැනීමට හැකි වීම, රජය තම බදු ආදායම් එකතු කරගැනීමට, බැංකු තම ගනුදෙනු පහසුවෙන් කරගෙන යාමට, රජයේ වියදම් අවම කරගැනීමට ක්‍රියා කිරීම Online හරහා සිදුකළ කාර්ය රැසක් විය. ඒ නිසා නව රජයත් 2020 ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කිරීමට පියවර ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කරමු.  මේ අභියෝගවලට නිසි පිළියම් යොදා බලයට පත්වන ආණ්ඩුව කටයුතු කළොත් ශ්‍රී ලංකා ආර්ථිකය 2021 සිට යළි හිස ඔසවන රටක් බවට පත්කළ හැකි බව අවසාන වශයෙන් සඳහන් කරමු.

(***)



අදහස් (0)

අලුත් ආණ්ඩුවක ආර්ථික අභියෝග

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 53 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 127 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 89 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 54 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site