IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


දුර දිග නොදැකීමේ විපත්තිය

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතතාව සහ මන්දපෝෂණය පිළිබඳව යුනිසෙෆ් සංවිධානය එහි නවතම වාර්තාවෙන් ඉදිරිපත් කර තිබෙන දත්ත, මීට ප්‍රථම ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින්ද ප්‍රසිද්ධ කරනු ලැබ තිබිණි.

එම දත්තවලට අනුව වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 28 ක ප්‍රතිශතයක් නොහොත් මිලියන 6.2ක පිරිසක් මධ්‍යම ප්‍රමාණයේ ආහාර අනාරක්ෂිතතාවෙන් පෙළෙති. ඊට අමතරව 66000 ක පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාව පිළිබඳ අර්බුදයකට මුහුණ දී සිටින බවද එම වාර්තාවෙන් පෙන්වා දේ. පවතින තත්ත්වය එනම්, වත්මනෙහි උද්ගතව ඇති ආහාර අනාරක්ෂිතතාව සම්බන්ධ ගැටලුවට කෙටි කාලීන පිළියම් යෙදීමට අප අසමත් වුවහොත් පෙර කී මධ්‍යම ප්‍රමාණයේ ආහාර අනාරක්ෂිතතාව පිළිබඳ අර්බුදයක සිටින මිලියන 6.2ක ප්‍රජාවත් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවට ලක් විය හැකිය යන්න මෙම යුනිසෙෆ් වාර්තාවෙහි හරයයි.

මන්දපෝෂණය සහ ඌනපෝෂණය ගැන ද මෙම වාර්තාවෙන් අවධානය යොමු කර තිබේ. මෙරට මන්දපෝෂණය සහ ඌනපෝෂණය ගැන 1948 දී නිදහස ලද දා සිටම සාකච්ඡා වේ. එබැවින් එය අලුත් ප්‍රශ්නයක් නොවේ. එහෙත් එය නොතකා හැරිය යුතු තත්ත්වයකැයි මම අදහස් නොකරමි.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව, 2021 වසරේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව 2022 ඔක්තෝබර් මාසය වනවිට වයස අවුරුදු 5 ට අඩු දරුවන්ගේ නියමිත බර අඩුවීමේ ප්‍රතිශතය සියයට 12.3 සිට සියයට 15.2 දක්වා වැඩි වී ඇත. මෙය හොඳ තත්ත්වයක් නොවේ.

අදාළ යුනිසෙෆ් වාර්තාව අනුව, ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5 ට අඩු දරුවන් 56000 ක් පමණ උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවත් ඔවුන් සඳහා හදිසි ආධාර අවශ්‍ය බවත් සඳහන්ය. එසේම යුනිසෙෆ් ආයතනය මීට ඉහතදී ප්‍රසිද්ධියට පත් කළ තවත් වාර්තාවක දැක්වෙන්නේ ලෝකයේ ඉහළම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සිටින රටවල් දහය අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් වන බවය. 

කෙසේ වෙතත් මන්දපෝෂණය ගැන නිශ්චිතව සංඛ්‍යා දත්ත මගින් පමණක් අදහසකට පැමිණිය නොහැකි බවත් එය අද ඊයෙක ඇති වූ තත්ත්වයක් නොවන බවත් අප තේරුම් ගත යුතුය. පසුගිය වසරේදී විද්‍යාත්මක පදනමින් තොරව ගත් ප්‍රතිපත්තිමය තීන්දු තීරණවල බලපෑම මත මේ තත්ත්වය උග්‍ර වී ඇතැයි සිතිය හැකිය. අද දරුවන්ට පෝෂණීය ආහාරවේලක් දුන් පමණින් හෙට දිනයේදී මන්දපෝෂණ තත්ත්වය නැති කළ නොහැකිය.

එම වාර්තාවලින් පෙන්වා දෙන පරිදි කුඩා දරුවන් මන්දපෝෂණයට ගොදුරු වී තිබෙන්නේ නම්, එයින් දැඩි බලපෑමක් නුදුරු අනාගතයේදී රටේ ආර්ථිකයට එල්ල වනු ඇත. මන්ද, එම දරුවන් තරුණ වයසට එළැඹ රටේ ශ්‍රම බළකාය බවට පත් වනවිට රටේ ආර්ථිකයට ඔවුන්ට දැක්විය හැකි දායකත්වය කෙසේද යන්න අමුතුවෙන් කිව යුතු නැත.

මේ පසුබිමේ මෙම මන්දපෝෂණ තත්ත්වය පාලනය කිරීම සඳහා ගත යුතු ප්‍රතිපත්තිමය කාරණ කිහිපයක් කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුය. පළමුවැන්න වන්නේ අඩු ආදායම්ලාභීන්ගේ ආදායමට සරිලන පරිදි පෝෂණීය ආහාර ලබා ගත හැකි තත්ත්වයක් ඇති කිරීමය. පොහොර සහ පලිබෝධනාශක සම්බන්ධයෙන් ඉකුත් කාලයේ පැවති අර්බුදය හේතුවෙන් මෙරට සත්ව නිෂ්පාදන අංශය වෙසෙසින්ම කුකුළු කර්මාන්තය දැඩි පසුබෑමකට ලක් වූ බව අපි දනිමු. මනුෂ්‍ය ශරීරයට අවැසි සත්ත්ව ප්‍රෝටීන වැඩි වශයෙන් ලබා ගත හැක්කේ කුකුළු මස් සහ බිත්තර වලිනි. එහෙත් අද වනවිට බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා තිබේ.

පාසල් දරුවන්ට නොමිලේ ආහාර වේලක් ලබා දීම අගය කළ යුතුය. කෙසේවෙතත් මෑතක් වන තෙක්ම එක් පාසල් දරුවකු සඳහා වෙන්කර තිබුණේ රුපියල් 60 ක පමණ මුදලකි. බිත්තරයක මිල රුපියල් 60 ඉක්මවා ඇති තත්ත්වයක පරිපූර්ණ පෝෂ්‍යදායී ආහාර වේලක් ගැන අපට තවදුරටත් සිතිය නොහැකිය. මේ වසරේ අගෝස්තු මස ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් සහ 2023 වසරට අදාළ අයවැයෙන් පාසල් දරුවන්ට ලබා දෙන ආහාර වේල සඳහා වැය කරන මුදල වැඩි කිරීමට කටයුතු කර තිබේ. එය හොඳ තත්ත්වයක් වුවත් වඩාත් වැදගත් වන්නේ රටේ මෙවැනි තත්ත්වයක් ඇති වූයේ ඇයිද යන්න පිළිබඳ විමසිලිමත් වෙමින් අවශ්‍ය ක්‍රියාමාර්ග යෙදීමය.

කුකුළු කර්මාන්තය සඳහා අවැසි සත්ව ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය අඩාල වීම හේතුවෙන් වෙළෙඳපොළේ කුකුළු මස් සහ බිත්තර මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගියේය. රටට රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමට ගත් තීන්දුව නිසා 2021 වසරේ මහ කන්නයේ බඩඉරිඟු අස්වැන්න සියයට 65 සිට 70 දක්වා ප්‍රතිශතයකින් පහළ ගිය අතර එමගින් කුකුළු කර්මාන්තයට අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදන කර්මාන්තයට දැඩි පහරක් එල්ල විය. මේ අර්බුදයේ එක් මූල බීජයක් වන්නේ මෙයයි. එබැවින් අප එය නිවැරදිව අවබෝධ කරගෙන සුදුසු ප්‍රතිකර්ම යෙදිය යුතුය.

ඉදිරි මාස කිහිපයේදී ලංකාවේ ආහාර නිෂ්පාදනය සහ අස්වනු සියයට 40 ත් 50 ත් අතර ප්‍රතිශතයකින් අඩු විය හැකි බවට ද යුනිසෙෆ් ආයතනය පුරෝකථනය කර තිබේ. එම සංවිධානය මෙම පුරෝකථනය කර තිබෙන්නේ මීට මාස කිහිපයකට පෙර පැවති දත්ත අනුවය. අද වනවිට විවිධ කාරණා නිසා බඩඉරිඟු අස්වැන්න මේ මහ කන්නයේදී සියයට 35 ත් 40 ත් අතර ප්‍රතිශතයකින් පහළ යෑමක් අපේක්ෂා කළ හැකිය. මෙරට බඩඉරිඟු වැඩි වශයෙන් නිෂ්පාදනය කෙරෙන්නේ මහ කන්නයේය. ඒ සඳහා අවශ්‍ය මනා ජවයකින් යුතු දෙමුහුන් බීජ කලට වේලාවට ආනයනය කිරීමට අපට නොහැකි විය.

විදේශ විනිමය හිඟය සහ ගොවීන්ද ඇතුළත්ව සියලු දෙනා අතර ඇති ව තිබූ ඉච්ඡාභංගත්වයත් ඊට හේතු විය. අවශ්‍ය බඩඉරිඟු බීජ ගෙන්වීමට පෞද්ගලික අංශය පවා මැළිකමක් දැක්වූයේ උද්ගතව තිබූ අවිනිශ්චිත තත්ත්වය නිසාය. මේ සියලු සාධක මත මෙම මහ කන්නයේ බඩඉරිඟු වගා කළ හැකි බිම් ප්‍රමාණයෙන් සියයට 60 ක පමණක් ඒවා වගා කළ හැකි වනු ඇත. මේ අනුව කිව හැක්කේ අදාළ යුනිසෙෆ් පුරෝකථනය පවතින තත්ත්වය අනුව යථාර්ථයක් බවට පත් වීමට ඉඩ ඇති බවය.

වී වගාව ගතහොත් ඊට අවශ්‍ය පොහොර විශාල ප්‍රමාණයක් මේ වනවිට රටට ළඟා කර ගැනීමට හැකි වී තිබේ. වී වගාවට අවශ්‍ය බිත්තර වී අප විසින්ම නිපදවා ගනු ලබන හෙයින් නියමිත වපසරිය ඇතුළත වී වගාව කළ හැකි වනු ඇත. එහෙත් ඇතැම් පොහොර කන්න දෙක තුනකදීම පසට නොයෙදූ නිසා මෙවර මහ කන්නයේ වී අස්වැන්නෙහිද යම් අඩු වීමක් අපේක්ෂා කළ හැකිය.

2021 මහ කන්නයට සාපේක්ෂව මෙම වසරේ මහ කන්නයේ යම් සාර්ථකත්වයක් පෙනෙන්නට තිබේ. එහෙත් එය සීයයට සියයක සාර්ථකත්වයක් නොවේ. යූරියා පොහොර කඩින් කඩ හෝ ලැබුණේ තරමක ප්‍රමාදයකින් පසුවය.

යූරියා මෙට්‍රික් ටොන් 150000 ක් මෙරටට ගෙන්වීම සඳහා ලෝක බැංකුවෙන් ප්‍රතිඅරමුණුගත කරන ලද ණය පහසුකමක් යටතේ ලංකාවට ඩොලර් මිලියන 110 ක ණය මුදලක් ලබා දී තිබිණි. එහෙත් එම මුදල්වලින් සම්පූර්ණ ප්‍රතිඵල අත්කර ගැනීමට නොහැකි වූයේ පොහොර ගෙන්වීමේදී සිදු වූ ප්‍රමාදය නිසාය. වී වගාවට අවශ්‍ය වන පොටෑසියම් ටොන් 40000 ක් ගෙන්වීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 40 ක මුදලක් වෙන් කර තිබිණි.

එම පොහොර ප්‍රමාණය නිසි වේලවට මෙරටට ගෙන්වන ලදී. එහෙත් ගොයමට මඩ පොහොර වශයෙන් යෙදිය යුතු පොහොර අපට කලට වේලාවට නොලැබිණි. මේ තත්ත්වය සහ නිසි පරිදි යූරියා ගෙන්වීමට නොහැකි වීම යන සාධක මත මෙවර මහ කන්නයේදී ඉහළම සාර්ථකත්වයක් අපේක්ෂා කළ නොහැකිය. කෙසේ වෙතත් 2021/22 මහකන්නයට සාපේක්ෂව 2022/2023 මහ කන්නය ඉදිරියෙන් පසු වන බව කිව හැකිය.

කෙසේවෙතත් මේ මොහොත වන විටත් යම් ප්‍රායෝගික ගැටලු කිහිපයක් උද්ගතව තිබෙන බව අමතක නොකළ යුතුය. පොහොර බෙදාහැරීම සහ තමන්ට පොහොර නිසි ප්‍රමාණයට නොලැබුණු බවට ගොවීන් නගන මැසිවිලි ඒ අතර ප්‍රධානය. ඒවායෙහි සත්‍යාසත්‍යතාව පිළිබඳව ඇතැම් ක්ෂේත්‍රවලින් විමසා බැලීමේදී එම චෝදනාවල යම් සත්‍යතාවක් තිබෙන බව පෙනී යයි.

කෙසේවෙතත් ලංකාවට ගෙන්වා ඇති පොහොර අදාළ ප්‍රදේශවලට බෙදා ඇති බවද එම විමසීම්වලදී අපට දැනගන්නට ලැබිණි. අවසානයේදී කිව හැක්කේ විද්‍යාත්මක දත්ත ප්‍රකාරව පසුගිය මහ කන්නයේදී ඇති වූ පසුබෑම මෙවර මහ කන්නයේදී උද්ගත නොවන බවය. එහෙත් සියයට 10 ත් 15 ත් අතර ප්‍රමාණයකින් වී අස්වැන්න අඩුවීමක් බලාපොරොත්තු විය හැකිය.

කෘෂිකර්මයට අදාළ ජාතික ප්‍රතිපත්තියක් රටේ නොමැති වීම නිසා දේශපාලනඥයන්ට අභිමත ආකාරයට තීන්දු තීරණ ගත හැකි පරිසරයක් නිර්මාණය වී ඇත. මෙහිදී කාරණා දෙකක් කෙරෙහි අවධානය යොමු කළ හැකිය. පළමුවැන්න නම්, කෘෂිකර්මයට අදාළව මේ වනවිටත් ජාතික ප්‍රතිපත්ති දෙකක් සකස් කර තිබීමත් කුමන හෝ හේතුවක් මත ඒවා අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා මෙතෙක් යොමු නොකර තිබීමත්ය.

2020 දී අපි ආහාර සුරක්ෂිතතාව ගැන අවධානය යොමු කරමින් ක්ෂේත්‍ර 8ක් යටතේ මුදල් අමාත්‍යාංශයේ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් සකස් කළෙමු. ආහාර සුරක්ෂිතතාව රටේ කෘෂිකර්මාන්තයෙන් පමණක් සම්පූර්ණ කර ගත නොහැකිය. ඒ අරබයා අපට කළ හැකි දේවල් මෙන්ම නොහැකි දේවල් ද තිබේ. අවශ්‍ය කරන ආහාර කෘෂිකර්මාන්තයෙන් උපරිමව ලබා දෙන තත්ත්වයකට අප යා යුතුය. හිඟ වන ප්‍රමාණය ආනයනය කළ හැකිය.

එසේම ආහාර භෝග සහ සත්ව ආහාර භෝග සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් ද මේ වනවිට සැකසෙමින් පවතින අතර එය තිබෙන්නේ අවසන් අදියරේය. මෙම ප්‍රතිපත්ති දෙක ඉදිරියට ගෙන ඒමට අපට හැකි වුවහොත් ආහාර සුරක්ෂිතතාව පිළිබඳව වගකීමකින් යුතුව කටයුතු කළ හැකි පරිසරයක් උදා කර ගැනීමට පිළිවන. සත්ව පාලනය ද ඇතුළුව ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මාන්තය පිළිබඳව තවත් ප්‍රතිපත්තියක් සකස් කිරීමට තීරණය කර ඇතැයි දැනගන්නට ලැබේ. තවත් ප්‍රතිපත්ති සකස් කිරීමට සහ ඒ වෙනුවෙන් මුදල් වැය කිරීමට අවශ්‍ය වන්නේ නැත. පෙර සඳහන් කළ ප්‍රතිපත්ති ද්විත්වය එළිදක්වා ඒවා අනුව ක්‍රියා කිරීම ප්‍රමාණවත්ය.


සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ භෝග විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ



අදහස් (0)

දුර දිග නොදැකීමේ විපත්තිය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

දියමන්තියෙන් බැබළෙන බොස්ට්වානාවෙන් ඉගෙනගනිමු
2024 ජනවාරි මස 29 3851 1

ආර්ථික වශයෙන් දිළිඳු රාජ්‍යයන් ඒවා සතු විභවයන් පාවිච්චි කර දියුණුව කරා ගමන් ගන්නා ආකාරය පැහැදිලි කරන්නේ අප්‍රිකානු කලාපයේ බැබළෙන ආර්ථිකයකට හිමිකම්


ලෝකයම කතා කරන මෞරි මන්ත්‍රිනිය
2024 ජනවාරි මස 15 3725 2

වසර 170 කට පසු නවසීලන්ත පාර්ලිමේන්තුවට ගිය ළාබාලතම මන්ත්‍රී මැයයි. පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී, ඇගේ වයස අවුරුදු 20 යි මාස 7 කි.


2024 ඔබට කොහොමද?
2024 ජනවාරි මස 08 11120 1

හැදාමත් නිවැරදි පලාඵල කියන ඉරිදා ලංකාදීපය ගෙනා නව වසරේ පලාඵලය


අලුත බැඳපු අය දරු සම්පත එපා කියයි
2024 ජනවාරි මස 08 1873 4

පවතින ආර්ථික අර්බුදය හමුවේ අලුත විවාපත්වන බොහෝ දෙනෙකු දරුවන් ගැන නොසිතන බව අනාවරණය වෙයි.


සිරිපා කරුණාවට ප්ලාස්ටික් හා පොලිතීන් එපා
2023 දෙසැම්බර් මස 25 626 2

සිරිපා කරුණා සමය උඳුවප් පොහොය දිනයෙන් ඇරඹෙයි. සෑම වසරකම ප්ලාස්ටික් සහ පොලිතීන් සිරිපා ගමන්මග දිග ගොඩගසන ඔබ, මෙවර ඒ වරද නොකරනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි


දේශගුණික විපර්යාස සමුළුව ඇයි?
2023 නොවැම්බර් මස 29 774 2

නොවැම්බර් මස 30 වැනිදා (හෙට) ඩුබායිහිදී ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නම් කර ඇත්තේ ‘‘කොප් 28’’ (COP 28) ලෙසය. දේශගුණික ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 300 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1532 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site