මම අවුරුදු 80 ඉක්මවමින් සිටින වයෝවෘද්ධ අයෙක්මි. 77 වැනි වියේ සිටියදී 2018 දී හර්නියා රෝගී තත්ත්වයක් මට දැනුණි. ඒ නිසා 2018 ජූනි මස ශල්‍ය වෛද්‍යවරයකු පෞද්ගලික රෝහලකදී හමුවී පරීක්ෂා කරවා ගනිමි. එතුමාගේ උපදේශය වූයේ ‘හර්නියා’ සැත්කම පිණිස එතුමාගේ රෝහලේ සායනයට ගොස් ඒ සඳහා දිනයක් වෙන් කරවා ගැනීමටය. ඒ අනුව අවස්ථා දෙකක් රෝහල් ගත වුවත් ශෛල්‍යාගාරයේ තදබදයය නිසා කරවා ගත නොහැකි විය. තුන්වැනි උත්සාහයේදී 2018.11.4 ද‌ා රෝහලට ඇතුළත්ව පසුද‌ා සැත්කම කර ගෙන 6 වැනිද‌ා නිවෙසට ගියෙමි. එදිනම ඒ වෛද්‍යවරයාම සැත්කම කළ තවත් රෝගියෙකු වාට්ටුවේදී මම දුටුවෙමි. ඔහුගේ සැත්කම සිදුකළ ස්ථානය මැහුම් යොද‌ා තිබූ අතර මගේ සැත්කම සිදුරු කීපයක් කර ‘ලැපරෝස් කොපි’ ක්‍රමයට සිදුකර ඇති බව පසුව දැනගතිමි.  


මගේ රෝග නිශ්චිත කාඩ්පතේ සඳහන් කර තිබුණේ 'I Fom Nesh Repair' යනුවෙනි. සැත්කමින් මසකට පමණ පසුව MBSH එක යෙදූ ස්ථානයේ වතුර එකතු වී වේදනාකාරී බවක් ඇතිවූයෙන් ශල්‍ය වෛද්‍යවරයා හමු වූයෙමි. සායනයේදීම ඒ ස්ථානයේ ජලය ඉවත් කිරීමක් සිදුකළා. නමුත් යළි යළිත් ජලය එක්වීම නිසා 2018 දෙසැම්බර් 2020 අප්‍රේල් මාස වලදීත් රෝහල්ගතව ශල්‍යාගාරයටම ගෙන එකතු වූ වතුර ඉවත් කිරීමක් කළා. 2020 මැයි මාසයේදී නැවතත් වතුර එකතු වී වේදනාකාරී තත්ත්වය මත පෞද්ගලික රෝහලකදී එම ශල්‍ය වෛද්‍යවරයාම වතුර ඉවත් කළා.  


2020 ජූලි මාසය වන විට ජලය එක්වූ ස්ථානයේ සිදුරක් සෑදී ජලය පිටතට ගැලීමටත් දැඩි වේදනාවටත් පත්වූ නිසා එම රෝහලේම තවත් මහාචාර්ය ශල්‍ය වෛද්‍යවරයකුට පෙන්වීමි. 2021 මාර්තු වන විටත් තුවාලය සුවනොවූ නිසා ඒ මහාචාර්යවරයා නැවත පූර්ව ශල්‍ය වෛද්‍යවරයාටම මා යොමුකළේය. ඉන්පසු එතුමාගේ නිගමනය වූයේ HBSH එක අසාද්මික බැවින් ගලවා ඉවත් කළ යුතු බවයි.  


එතැන් සිට MBSH එක ඉවත්කිරීමට අද‌ාළ පරීක්ෂණවලින් පසුව 2021 මැයි, ජූලි, හා අගෝස්තු මාසවල දින නියම කළ නමුත් රෝහලේ පවතින කොරෝනා රෝගීන්ගේ තදබදය නිසා සැත්කම සිදුකිරීමට නොහැකිව සිටිමි. 2001 වර්ෂයේදී විශ්‍රාම ගැනීමෙන් පසුව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් ගෙදර කටයුතු මවිසින් සිදුකරගෙන සිටියෙමි. හර්නියා සනීප කර ගැනීමට ගොස් මට දැන් ඊට වඩා දරුණු රෝගී තත්ත්වයකට මුහුණ පෑමට සිදුව ඇත. මේ පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසු වූ මා සෞඛ්‍ය ඇමැතිතුමාට, වෛද්‍ය සභාවට, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාට දැන්වීමි. මා විමසා සිටියේ 1. I FOM MBSH මට පමණක් යොදුවේ ඇයි. 2 මෙය යෙදීමෙන් ඇතිවන අසාද්මික තාවය පරීක්ෂාකර බැලුවාද? 3. අසාද්මිකතාවයට ප්‍රතිකාරයක් නැද්ද යන ප්‍රශ්නවලට වගකිවයුතු කිසිවකුත් පිළිතුරක් නොදෙයි. මේ ලිපි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් අද‌ාළ රෝහල් අධ්‍යක්ෂකට යොමුකර ඇතත් එතුමා හමුවීමටවත් වේලාවක් ගැනීමට නොහැකි විය. මේ රෝගී තත්ත්වය නිසාත් වයෝවෘද්ධ භාවය නිසාත් තවත් නිර්වින්දිත සැත්කමකට තරම් මා නිරෝගී නැති බව මගේ අදහසයි. මා මිය යනතුරුම මෙසේ සිටිය යුතු ද? කොරෝනා රෝගීන්ගේ අඩුවක් ද නැත. ඒ නිසා මා වැනි රෝගීන්ට අත්වන ඉරණම කුමක්ද?   


බී. එම්. ජී. ගුණසේකර