කොන්ක්‍රීට් සිර මැදිරියක වසර 66ක් සිටි හනාකෝ නමැති අලියා ස්වභාවික උද්‍යානයකට නිදහස් කරන්නැයි ඉල්ලා ජපන් වැසියන් 50,000 ක් පමණ පෙත්සමකට අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හනාකෝ නමැති අලි පැටවා ජපානයේ ටෝකියෝ නගරයේ ඉනොකෂිරා උද්‍යාන සතුන් වත්තට ගෙනවිත් ඇත්තේ වයස අවුරුදු දෙකක් පැටවකුව සිටිය දී තායිලන්තයෙනි. ඒ 1949 වර්ෂයේ දී ය. හනාකෝ ගැහැනු සතෙකි. ඇගේ වයස අවුරුදු 68 කි. අලියකු ජීවත්වන උපරිම වයස් සීමාව ඉක්මවා සිටින හනාකෝ දැන් මහලුව දුබලව සිටින්නීය. ඇගේ දත් දැන් ඇයට අහිමිය. ආහාර දිරවීමේ ගැටළුවලින් ඇය පීඩා විදින බව සත්වෝද්‍යාන බලධාරීන් පවසයි.
ජපානයේ වැසියෝ මහළු හනාකෝ සමග ඡායාරූප වලට පෙනි සිටින්න දැඩි උනන්දුවක් දක්වති. පරිසරවේදින් හා සත්ත්ව අවිහිංසාවාදී සංවිධාන පවසන්නේ දැන් හනාකෝගෙන් මුදල් සෙවීම නවතා හනාකෝ නිදහස් පරිසරයකට ගෙන ගොස් රැකබලාගත යුතු බවයි.







