හමාස් මාධ්‍ය ප්‍රකාශක මරා දමලා


ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා ප්‍රහාරක ජෙට් යානා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින්, හමාස් සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක අබ්දුල් ලතීෆ් අල් කානෝව් ජීවිතක්ෂයට පත් විය.

මේ බව හමාස් සංවිධානයට අයත් අල් අක්සා රූපවාහිනිය ඊයේ (26) නිවේදනය කළේය.

උතුරු ගාසා තීරයේ, අබ්දුල් ලතීෆ් අල් කානෝව් රැඳී සිටි කූඩාරම ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල හමුදා ගුවන් ප්‍රහාරය එල්ල කර ඇතැයි පැවැසෙයි.

අබ්දුල් ලතීෆ් අල් කානෝව් සමඟ සිටි, හමාස් සංවිධානයේ තවත් සාමාජිකයන් කීප දෙනකු තුවාල ලැබූ බව ද අල් අක්සා රූපවාහිනිය පවසා ඇත.

ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙන්නේ, පසුගිය ජනවාරියේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පැවැති සටන් විරාමය අහෝසි කරමිනි.

තවමත් හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවෝ 59 දෙනෙක් සිටිති.

හමාස් සංවිධානය ඊශ්‍රායලයට තර්ජනය කර ඇත්තේ, දිගින් දිගටම ගාසා තීරයට පහර දෙන්නේ නම්, එම ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා මරා දමන බවටය.