ඉන්දියාව සමඟ ඇති වූ අර්බුදකාරී තත්ත්වයෙන් පසු වසා දැමුණු ගුවන් සීමාව සම්පූර්ණයෙන් විවෘත කිරීමට පාකිස්තානය අද (16) පියවර ගත්තේය.
මේ අනුව සියලු මගී ගුවන් යානාවලට කිසිදු බාධාවකින් තොරව පාකිස්තාන ගුවන් සීමාව භාවිත කළ හැකි යැයි පාකිස්තානය ප්‍රකාශ කළේය.
“වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම මගී ගුවන් යානා සඳහා පාකිස්තාන ගුවන් සීමාව විවෘතයි” යැයි පාකිස්තානයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කළේය.
පාකිස්තානය සිය ගුවන් සීමාව වසා දැමීමත් සමඟ ඉන්දියාව ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර ගුවන් මාර්ග රැසකට දැඩි බලපෑමක් එල්ල විය.
ඉන්දියාවට සීමා මායිම්වන නැගෙනහිර ගුවන් සීමාව ද විවෘත කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාකිස්තාන සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රකාශකයා කීය.
පසුගිය පෙබරවාරි මාසයේදී ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ නොසන්සුන්තාව හේතුවෙන් එලෙස ගුවන් සීමාව වසා දැමිණි.
දෙපාර්ශවයම දෙපාර්ශවයටම ගුවන් ප්‍රහාර එල්ල කරගත් අතර ඉන්දීය ගුවන් නියමුවකු පාකිස්තාන අත්අඩංගුවට පත්විය. පසුව ඔහු නිදහස් කෙරුණි.
ඒ.එෆ්.පී. ඇසුරිනි
055

