සාහසිකයෙකුගේ පහර කෑමට ලක්වීමෙන් මොළයට සිදුවූ තුවාළ නිසා වසර 42 ක් මුළුල්ලේ කෝමා තත්ත්වයෙක් පසුවූ ඉන්දියා ජාතික හෙදියක පසුගියදා සදහටම දෙනෙත් පියාගත්තාය.
අරුණා ෂන්බවුග් නම් වන මේ හෙදිය ගතවුනු කාලය පුරාවටම සිටියේ ඉන්දියාවේ මුම්බායිහි එඞ්වඞ් රජු අනුස්මරණ රෝහලේය.ඇය මියයෑමට හේතුව හදිසියේ ඇතිවූ නිව්මෝනියා රෝගී තත්ත්වයක් බව වෛද්‍යවරු කියති.
කෝමා තත්ත්වයට පත්වූ පුද්ගලයෙකුගේ මොළය අර්ධ වශයෙන් අඩපණව තිබෙන අතර ශරීරයේ අනෙක් ඉන්ද්‍රියන් සාමාන්‍ය පරිදි කි‍්‍රයාත්මක වේ.කෝමා තත්ත්වයෙන් පුද්ගලයෙකු ඉන් මුදවා ගැනීමට බොහෝ අවස්ථාවන්හිදී වෛද්‍යවරු නොපෙළඹේ.මොළය යනු ඉතා සංවේදී අවයවයක් වීම ඊට හේතුවයි.
ඇය කෝමා තත්ත්වයට පත්ව ඇත්තේ 1973 වසරේදීය.ඇයට මියයෑමට ඉඩ දෙන්නැයි ඉල්ලා නොයෙක් වර පෙත්සම් ඉදිරිපත්වූ අතර ඉන්දියා ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සෑම පෙත්සමක්ම ප‍්‍රතික්ෂේප කළේය.රෝහලේ හෙද කාර්යමණ්ඩලයද අරුණාට මියයෑමට ඉඩනොදෙන්නට අදිටන් කරගෙන සිටියහ.කෝමා තත්ත්වයට පත්වූ දා පටන්ම අරුණාට ආහාරපාන ලබාදීම,ඇයව පිරිසිදු කිරීම ආදී සියලූදේ සිදුකළේ ඔවුන්ය.
අරුණාට පහර එල්ල කළ සාහසිකයා මෙම රෝහලේම සේවය කළ අයෙකු වන අතර ඔහු අරුණාගේ ගෙල බලූ දම්වැලකින් සිරකර ඇය දූෂණය කර ඇත.අරුණා කෝමා තත්ත්වයට පත්ව තිබෙන්නේ ගෙලට සිරවූ දම්වැලෙන් මොළයට රුධිරය ගෙන යන නාළ අවහිර වීම නිසාවෙනි.
මෙම පුද්ගලයා අත්අඩංගුවට ගනු ලැබුණු අතර නියමිත සිරදඩුවම් කාලය ගතකිරීමෙන් පසු ඔහු මේ වන විට නිදහස්ව දිල්ලි නුවර බලා සංක‍්‍රමණයව ඇතැයි සඳහන්ය.





