ලන්ඩන් ගින්නෙන් 58ක් අතුරුදන්


දැනට ලැබී ඇති තොරතුරු අනුව බටහිර ලන්ඩනයේ උතුරු ග්‍රැන්ෆෙල් ටවර් නිවාස සංකීර්ණයේ ඇති වූ ගින්නෙන් පසු 58 දෙනකු අතුරුදන් වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.ඔවුන් මිය යන්නට ඇතැයි ද පොලිසිය අනුමාන කරයි.

“මේ සංඛ්‍යා තවදුරටත් වැඩිවිය හැකියි” යැයි නගර පොලිසියේ අණදෙන නිලධාරී ස්ටුවර්ට් කන්ඩි මහතා පැවැසීය.

ගින්නෙන් මියගිය ගණන 30ක් යැයි පොලිසිය අද (18) තහවුරු කළේය.පිළිස්සුම් තුවාල ලැබූ 70කට ආසන්න පිරිසක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද පොලිසිය කීවේය.

සම්පූර්ණයෙන් විනාශ වූ  නිවාස සංකීර්ණවලට පිවිසියද සුන්බුන් ඉවත් කිරීම ආදී සියලු කටයුතු අවසන්වීමට සති කිහිපයක් ගතවනු ඇතැයි ද අණදෙන නිලධාරී ස්ටුවර්ට් මහතා පැවැසීය.

ගින්න නිසා පීඩාවට පත් ජනතාවට මුල් පැය කිහිපයේදී  ලැබුණු සහාය ප්‍රමාණවත් නැතැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය ප්‍රකාශ කළාය. ස්වේච්ඡා සේවකයන් සහ ගින්න නිසා නිවාස අහිමි වූවන් පිරිසක් හමුවීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් අගමැතිනිය ඒ බව කීවාය.

මුදා ගැනීමේ කටයුතු සහ සහන සේවා එකම අවුල් ජාලයක් යැයි නිවැසියෝ චෝදනා කළහ. එමෙන්ම ගොඩනැගිල්ලේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවදානමක් තිබියදී ඒ සම්බන්ධයෙන් පියවර නොගැනීම සම්බන්ධයෙන් ද නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබිණි. ගින්නෙන් පසු ලන්ඩන් නුවර විරෝධතා කිහිපයක් ද පැවැත්විණි. ගින්න සම්බන්ධ සිදුවීමේදී බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්දයෙන් අගමැතිනියට පවා චෝදනා එල්ල වී තිබිණි.

සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ මහජන විමර්ශනයක් කරන්නැයි අගමැතිනිය ඉකුත් දා නියෝග කළ අතර ඒ සඳහා විනිසුරුවරයකු ඉදිරි දින කිහිපයේදී නම් කරන බව කීවාය. මෙම ගින්න සම්බන්ධයෙන් වන වාර්තාවක් ද ඇය විසින් කැඳවනු ලැබ තිබේ. එපමණක් නොව මෙවැනි ගොඩනැගිලි සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධයෙන්  කඩිනමින් වාර්තා සකසන ලෙසද බ්‍රිතාන්‍යය අගමැතිනිය නිලධාරීන්ට උපදෙස් දී තිබූ බව වාර්තා විය.

(රොයිටර්/ඒ.එෆ්.පී-055)