අසල්වැසි රටවල් වන කැනඩාවට සහ මෙක්සිකෝවට පැනැවීමට සූදානම් වූ සියයට 25 ක යෝජිත තීරු බදු, තාවකාලිකව නතර කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේය.
ජනාධිති ට්‍රම්ප් මෙසේ තීරණය කළේ, තීරුබදු සම්බන්ධයෙන් කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ සහ මෙක්සිකෝ ජනාධිපතිනී ක්ලෝඩියා ෂයින්බෝම් සමඟ දුරකතනය ඔස්සේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.
මෙක්සිකෝ ජනාධිපතිනිය මෙන්ම කැනඩා අග්‍රාමාත්‍යවරයා ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්ට අවධාරණය කර ඇත්තේ, දේශසීමා ආරක්ෂාව තහවුරු කරමින්, නීතිවිරෝධී අයුරින් මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අපරාධ මැඩලීමට පියවර ගන්නා බවටය.
එම සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස, ඇමෙරිකාව සහ මෙක්සිකෝව අතරේ සිදුවන අනවසරයෙන් ගිනි අවි ජාවාරම් නැවැත්වීමට පියවර ගන්නා බවට ජනාධිපති ට්‍රම්ප් පෙරළා ප්‍රතිඥා දුන්නේය.
ඒ අනුව, කැනඩා සහ මෙක්සිකෝ භාණ්ඩ සඳහා ට්‍රම්ප් පැනැවීමට සූදානම් වූ සියයට 25 ක තීරු බදු දින 30 ක කාලයක් සඳහා අත්හිටවනු ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අතර, යුරෝපා සංගමයට ද තීරු බදු පැනැවීමට තමන් සූදානම් බව ට්‍රම්ප් පවසා ඇත. කෙසේ නමුත් යුරෝපා සංගමය සමඟ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර, අවශ්‍ය පරිදි එය වෙනස් කර ගැනීම ද කළ හැකි බව ට්‍රම්ප් අවධාරණය කර ඇත.
(ඒ.එෆ්.පී.)