ප්‍රසිද්ධියේ දුම්බීම ප්‍රංශයේ තහනම්


ප්‍රංශයේ ප්‍රසිද්ධ ස්ථානවල දුම්බීම තහනම් කරන බව එරට රජය පවසයි. ප්‍රංශයේ සෞඛ්‍යය කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරීන් වෝට්‍රීන් පැහැදිලි කර ඇත්තේ මෙම තහනම එලැඹෙන ජූලි පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව, මුහුදු වෙරළේ, උද්‍යානවල, පාසල් අසල, දුම්රිය සහ බස් නැවැතුම්පොළවල සහ ක්‍රීඩාංගන ආදී පොදු ස්ථානවල දුම්බීම තහනම්ය.

‘අප මෙම නව නීතිය හඳුන්වා දී ඇත්තේ අනාගත පරපුර ගැන සිතමින්. දරුවන් ගැවසෙන තැන්වලින් දුම්කොළ ඉවත් කළ යුතුයි. දුම්බීමට අයිතිය කාටත් තියෙනවා. ඒත් කුඩා දරුවන් ගැවසෙන්නේ නම්, එම ස්ථානවල දුම්බීම මින් ඉදිරියට තහනම්.’ යනුවෙන් ප්‍රංශ පුවත්පතක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් සෞඛ්‍යය කටයුතු පිළිබඳ අමාත්‍ය කැතරීන් වෝට්‍රීන් පැහැදිලි කර ඇත.

ප්‍රසිද්ධ ස්ථානවල දුම් පානය කරන අයට යූරෝ 135 ක (ඇමෙරිකන් ඩොලර් 153 ක්) දඩයක් නියම වෙයි. ප්‍රසිද්ධ ස්ථානවල දුම්බොන්නේදැයි සොයා බැලීම පොලිසිය විසින් සිදු කරන බව ද ඇමැතිනිය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.