වාර්ෂිකව ප‍්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධ සෙක්සා පදනම මඟින් පවත්වන ප‍්‍රංශයේ ශ්රී ලංකා දිනය මෙවර දස වන සංවත්සරය අනුස්මරණය කරමින් පැවැත්විණි.
උත්කර්ෂවත් අන්දමින් ශ‍්‍රී ලාංකික සංස්කෘතිය විදහා දක්වන ආකාරයට කලා නිර්මාණ වලින් අලංකාරවත්ව එය සංවිධානය කර තිබුණි. ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක වටිනාකම් වලින් යුත් ස්ථානවල විශාල ප‍්‍රමාණයේ අනුරූ සහ ජන ජීවිතය නිරූපණය කරන අවස්ථාද ප‍්‍රදර්ශනයට එක්කොට තිබූ අතර ශ‍්‍රී ලාංකික සිසුන්ගේ නිර්මාණ ඇතුළත් චිත‍්‍ර ප‍්‍රදර්ශන මෙන්ම සෙක්සා පදනම මඟින් සිදු කරන සමාජ සේවා කටයුතුවල ප‍්‍රගතියද විදහා දක්වන ආකාරයට සකස්වූ ඡායාරූප වලින් ශ‍්‍රී ලංකා දිනය අලංකාර වී තිබුණි.
ලංකාවේ අත්කම් භාණ්ඩ ඇතුලත් වෙළඳ කුටි මෙන්ම ශ‍්‍රී ලාංකික නිෂ්පාදන ඇතුලත් වෙළඳ කුටිද මෙම දෙදින තුල පැමිණෙන ප‍්‍රංශ ජාතිකයන්ගේ විශේෂ ආකර්ෂණය ලැබුණු තැන් ලෙස සඳහන් කළ යුතුය. ශ‍්‍රී ලාංකික දායක දායිකාවන් විසින් පවත්වාගෙන ගිය එවේලේම පිස සකසා දෙන ශ‍්‍රී ලාංකික ආහාර පාන ඇතුළත් වෙළඳ කුටිද මෙම දෙදින තුළ ප‍්‍රංශ ජාතිකයන් වෙනුවෙන් විවෘතව පැවතුණි.
සංස්කෘතික සංදර්ශනයේදී තිසරාවී කලායතනයේ දමිත‍්‍රී පීරිස් ප‍්‍රමුඛ දූ දරුවන් ඇතුළු පිරිස් නාට්‍ය අංග ඉදිරිපත් කළ අතර කපිල, සුජිත් ඇතුළු සංගීත ශිල්පීන් සිතාර් හා තබ්ලා යොදාගෙන ඉදිරිපත් කළ වාදනයන් බොහෝ දෙනාගේ ප‍්‍රශංසාවට ලක් විය.
ප‍්‍රංශයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කර තිබූ ශ‍්‍රී ලාංකික තේ හා වෙනත් නිෂ්පාදන ඇතුළත් කුටියද බෙහෙවින් සිත් ගන්නා සුලු ආකාරයට සකස් වී තිබුණි.

















