ප්‍රංශ ජනාධිපතිවරණයේ වැඩි වාසි මැක්රෝන්ට




(රොයිටර් ඇසුරිනි )


ප්‍රංශ ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය අවසන් දිනට පැමිණෙද්දි එහි වැඩි වාසි දිනාගැනීමට මධ්‍යස්ථ මතධාරී ඉමැනුවෙල් මැක්රෝන් සමත් විය.


ප්‍රංශ ජනාධිපතිවරණයේ අවසාන අදියර ඉරිදා (7) පැවැත්වීමට නියමිතව තිබියදී ඊට ඉදිරිපත් වන අන්ත දක්ෂිණාංශික අපේක්ෂිකා ල පෙන් සහ මධ්‍යගත අපේක්ෂක මැක්රොන් අතරේ අවසන් රූපවාහිනී බදාදා (3) රාත්‍රියේ පැවැත්විණි. දශක ගණනාවකට පසු යුරෝපය සහ ජාත්‍යන්තරයේ ප්‍රංශයේ කොතැනද යන මූලික කරුණු සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ මත දරන අපේක්ෂකයන් දෙදෙනකු අතර පැවැත්වෙන මැතිවරණය දශක ගණනාවකට පසු ප්‍රංශයේ පැවැත්වෙන වැදගත්ම මැතිවරණය ලෙස සැලකෙයි.


ජාතික පෙරමුණේ ල පෙන් දේශ සීමා වසා දමමින් යුරෝ මුදල් ඒකකයෙන් ඉවත් විය යුතු බව සඳහන් කරද්දි ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනපති සටනට ඉදිරිපත්ව සිටින මධ්‍යස්ථ මතදාරී එමානුවෙල් මැක්රෝන් යුරෝපීය සහයෝගීත්වයක් සහ විවෘත ආර්ථිකයක් අපේක්ෂා කරයි. ඉමැනුවෙල් මැක්රෝන් ඡන්දයෙන් තේරී පත් වී තනතුරු දැරූ අයෙක් නොවේ.


ප්‍රංශ ජනාධිපතිවරණයේ පළමු අදියර අප්‍රේල් 23 වැනිදා පැවැති අතර එහිදි එරට ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනාට ජනපති සටනෙන් ඉවත්වීමට සිදුවිය.


ප්‍රංශයේ බී.එෆ්.එම් රූපවාහිනි නාලිකාව සහ එරට සතිපති පුවත්පතක් වන ල’එක්ස්ප්‍රස් වෙනුවෙන් එලාබේ ආයතනය කරන සමීක්ෂණයකට අනුව මැක්රෝන් සමස්ත ඡන්දවලින් සියයට 68ක ප්‍රතිශතයකට හිමිකම් කියනු ඇතැයි පැවසේ. ල පෙන්ට එහිදි හිමි ව ඇත්තේ සියයට 38ක ඡන්ද ප්‍රතිශතයකි. එය අවසන් වරට කරන සමීක්ෂණය හා සැසඳීමේදී සියයට 3ක වර්ධනයකි.


එලාබේ ආයතනය මෙම සමීක්ෂණය කර ඇත්තේ ඉකුත් දා අවසන් වූ ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ අවසන් රූපවාහිනි විවාදයෙන් අනතුරුවය.  


ඉමැනුවෙල් මැක්රෝන් 39 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ප්‍රංශ ජනපති ධුරයට පත්වුවහොත් එම ධුරයට පත්වන ලාබාලතම පුද්ගලයා ඔහු වනු ඇතැයි පැවැසෙයි.


මේ අතර ප්‍රංශ ජනපතිවරණයට දින තුනක් තිබියදී ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තමා ඉමැනුවෙල් මැක්රෝන්ට සහාය දෙන බව ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පැවැසීය. 

 

මෙම ජනාධිපතිවරණයට ප්‍රංශ අනාගතයට ඉතා වැදගත් වනු ඇතැයි පෙන්වා දෙන හිටපු ජනාධිපති බැරැක් ඔබාමා තමා ඉමානුවෙල් මැක්රෝන්ට සහාය දෙන බවත් ඔහු ජනතාවගේ සිහින ඉටු කරනු ඇති බවත් කීය.

- 055