උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ වාර්ෂික හමුව නෙදර්ලන්තයේ හේග් නුවරදී පැවැත්වෙයි.
ඉරාන ඊශ්‍රායල ගැටුමට අමතරව, නේටෝ නායකයන්ගේ වැඩි අවධානය යොමු වනු ඇත්තේ රුසියන් යුක්රේන අර්බුදය කෙරෙහිය. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ගයක් අනුගමන කර ඇත්තේ ද යුක්රේනය නේටෝ සාමාජිකත්වය අපේක්ෂා කරන බැවිනි.
දින දෙකක් පුරා පැවැත්වෙන නේටෝ වාර්ෂික සමුළුවට, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වන්නේ, ඊශ්‍රායලයත් ඉරානයත් අතරේ සටන් විරාමයක් ඇති කිරීමෙන් පසුව යැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
සිය දෙවැනි ධුරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසු, ට්‍රම්ප් නේටෝ සමුළුවනට සහභාගී වන පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. නේටෝ මහලේකම් මාර්ක් රූටේ (නෙදර්ලන්තයේ හිටපු අගමැති) ද ප්‍රථම වතාවට මෙම රැස්වීමේ මුලසුන හොබවනු ඇත.
ඊශ්‍රායල ඉරාන අර්බුදයට මැදිහත් වී, සටන් විරාමයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් නේටෝ මහලේකම් මාර්ක් රූටේ, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට සුබ පතා ඇතැයි ද පැවැසෙයි.
ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේදී දිගින් දිගටම කියා සිටියේ ඇමෙරිකාව නේටෝවෙන් ඉවත් විය යුතු බවත්, ඇමෙරිකාව, නේටෝ සංවිධානයට ලබා දෙන මුදල් කප්පාදු කළ යුතු බවත්ය.
(අල් ජසීරා)