දිගට හරහර මරණ තර්ජන - ජනපති ට්‍රම්ප්


ඇමෙරිකානුවන් වෙනුවෙන් පෙනී සිටිමින්, ඇමෙරිකාව ශ්‍රේෂ්ඨ තැනක් කිරීමට උත්සාහ ගන්නා තමන්ට, දිගට හරහට මරණීය තර්ජන එල්ල වෙන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි. දෙවැනිවර විශිෂ්ට ජනවරමකින් ජනාධිපති ධුරයට පත් වූ ට්‍රම්ප් මෙසේ කියා සිටියේ, පළමු කැබිනට් හමුවට සහභාගීවෙමිනි.

තමන්ගේ තීන්දු තීරණ සහ විධායක නියෝග හේතුවෙන් තමන් බොහෝ දෙනකුගේ උදහසට ලක් වී සිටින බවත්, තමන්ට මරණීය තර්ජන එල්ල වන්නේ එවැනි පාර්ශ්වයන්ගෙන් බවත් ට්‍රම්ප්, සිය දෙවැනි ධුර කාලයේ පළමු කැබිනට් මණ්ඩල හමුවේදී පෙන්වා දුන්නේය. 

ට්‍රම්ප් දෙවැනි වරට ඇමෙරිකන් ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ පසුගිය ජනවාරි මාසයේය. මරණීය තර්ජන එල්ල වුවත් සමස්ත ඇමෙරිකානුවන් තමන් ආරම්භ කළ ‘ඇමෙරිකාවට සහ ඇමෙරිකානුවන්ට මුල් තැන දී ඇමෙරිකාව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීමේ තීන්දු තීරණවලට කැමැත්ත පළ කර ඇතැයි ද ට්‍රම්ප් අවධාරණය කළේය.

කැබිනට් මණ්ඩල හමුවේදී, සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් අමතමින්, ට්‍රම්ප් දෙස් විදෙස් ප්‍රතිපත්ති සම්බන්ධයෙන් සිය දැක්ම සහ ස්ථාවරය පැහැදිලි කළේය. ට්‍රම්ප් විසින් පනවනු ලැබ ඇති තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ සිය කැබිනට් මණ්ඩල සාමාජිකයන් අතරේ වැඩි වැඩියෙන් සාකච්ඡා විය.

කැබිනට් මණ්ඩල හමුවට ලොව අංක එකේ, බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක් ද සහභාගී විය. මස්ක්, ට්‍රම්ප්ගේ ප්‍රධාන උපදේශකවරයාය. ඇමෙරිකාවේ රාජ්‍ය වියදම් කළමනාකරණය කිරිමේ නව ආයතනයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ මස්ක්ය. සෙසු කැබිනට් මණ්ඩල සාමාජිකයන් අසුන් ගෙන ට්‍රම්ප් වටා සිටිද්දී, මස්ක් මුල්ලකට වී සිටි අතර, ට්‍රම්ප් මස්ක්ට අවස්ථාව දුන් විට ඔහු සියලු දෙනා අමතමින්, රජයේ නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ද කළේය.

(ඒ.එෆ්.පී.)