ඉන්දියාවේ පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් මේ වන විට 700කට වැඩි පිරිසක් මරණයට පත්ව ඇතැයි විදෙස් ප්‍රවෘත්ති සේවා පවසයි. මෙම මරණ සංඛ්‍යාව තවත් වැඩි විය හැකි බවද එරට වාර්තා සඳහන් කරයි.
ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 48 ක් දක්වා වැඩිවී තිබිණි.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තාවී ඇත්තේ දකුණු ඉන්දියාවේ තෙලන්ගානා සහ ආන්ද්‍රා ප්‍රදේශ් වලින් බවත් එම ප්‍රදේශවල සෙනසුරාදා වන විට අධික උෂ්ණත්වය හේතුවෙන් වැසියන් 140 දෙනකු මියගොස් සිටියහ.
උතුරු ප්‍රදේශයේ අලහාබාද් හි සෙල්සියස් අංශක 48 ක උෂ්ණත්වයක් වාර්තාවූ අතර අගනගරය වන දිල්ලි නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 44 දක්වා වැඩිවී තිබිණි.
බලධාරීන් එරට වැසියන්ට දන්වා සිටියේ වැඩිපුරම නිවාස තුළට වී සිටින ලෙසත් දියර වර්ග වැඩි වශයෙන් පානය කරන ලෙසත්ය.
ඉන්දියාවේ වැඩිම උෂ්ණත්වයක් වාර්තාවූයේ පසුගිය අප්‍රේල් මාසයේ වුවත් වැඩිවශයෙන්ම මරණ වාර්තාවූයේ පසුගිය සතියේය. අධික උෂ්ණත්වය හේතුවෙන් ආන්ද්‍රා ප්‍රදේශ වැසියන් 246 දෙනකු පසුගිය සතියේදී මිය ගොස් සිටියේය. පළාත් බලධාරීන් පවසන්නේ දැඩි සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් මියගිය පිරිස 62 ක් වන බවය.





