ට්‍රම්ප්ගේ බලකිරීම්වලට යටත් වෙන්නේ නෑ - ඉරානය


ඇමෙරිකාව සමඟ ඕනෑම ආකාරයකට සාකච්ඡා කරන්න ඉරානය සූදානම් බව ඉරානය පවසයි. එසේ වුවත්, ඉරානයට දැඩි පීඩනයක් එල්ල කරමින්, ඉරානය මර්දනය කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයට ඉරාන රජය දැඩි ලෙස විරෝධය පළ කර ඇත.

‘අප කැමතියි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය සමඟ සාකච්ඡා කරන්න. ඕනෑම ආකාරයකින් සාකච්ඡා කරන්න අප සූදානම්. ඇමෙරිකාව අපට පනවා ඇති සම්බාධක ඉවත් කර ගැනීමට අපට අවශ්‍යයි. ඒත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා ඉරානයට පුළුවන් උපරිම පීඩනයක් එල්ල කරමින් ඉරානය මර්දනය කරන බව. ට්‍රම්ප්ගේ ඒ ප්‍රතිපත්තියට අප කැමැති නැහැ” යැයි ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරාග්චී පැහැදිලි කර තිබේ.

ඉරානය සහ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ලෝකයට තර්ජනයක් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විශ්වාසයයි. ට්‍රම්ප් ඉරානයට උපරිම පීඩනයක් එල්ල කරනවා යැයි පැවැසුවේ පසුගිය දා ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ධවල මන්දිරයට පැමිණි අවස්ථාවේදීය. ඉරානය සහ ඊශ්‍රායලය අතර එදිරිවාදිකම්වලදී, ට්‍රම්ප්ගේ සහාය හිමිවන්නේ යුදෙව් ඊශ්‍රායලයටය.

 (ඒ.එෆ්.පී.)