ට්‍රම්ප් දඩ කයි


අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත, ඇමෙරිකන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකන් ඩොලර් 9,000 ක දඩයක් නියම විය.

ස්ටෝමි ඩැනියෙල් නමැති අසැබි චිත්‍රපටවලට රංගනයෙන් එක් වුණු නිළියක සහ ට්‍රම්ප් අතරේ සමීප සම්බන්ධයක් පැවැති බවටත්, එම සම්බන්ධය වසං කිරීමට ට්‍රම්ප්, ස්ටෝමි ඩැනියෙල් ට මුදල් ලබා දුන් බවටත් චෝදනා එල්ල වී තිබේ. 

එම චෝදනා සම්බන්ධයෙන් නිව්යෝක් අධිකරණයක් හමුවේ නඩු විභාගයක් පැවැත්වෙයි. අධිකරණයට අපහාස කළේ යැයි ට්‍රම්ප්ට දඩ නියම වූයේ මෙම නඩු විභාගයට අදාලවය.

ට්‍රම්ප් පසුගිය දා මෙම නඩු විභාගයට සම්බන්ධ සාක්ෂිකරුවන් ඇතුළු පිරිසක් ප්‍රසිද්ධියේ විවේචනය කළේය. ඒ ඔහුගේ සමාජ මාධය ඔස්සේය. අධිකරණය දඬ නියම කළේ එම පිරිස විවේචනය කරමින් ට්‍රම්ප් අධිකරණයට අපහාස කළ බවටය. 

ඉදිරියටත් මෙලෙස අධිකරණයට අපහාස කළහොත්, ට්‍රම්ප්ට සිරදඬුවම් නියම කිරීමට පවා තමන් සූාදනම් බව විනිසුරුවරයා පවසා ඇත.

ඇමෙරිකන් ජනාධිපතිවරණය මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙයි. ට්‍රම්ප් ඊට ඉදිරිපත් වන්නේ ඔහුට තවත් එක් ධුර කාලයක් ඇති බැවිනි. ට්‍රම්ප් නියෝජනය කරන්නේ රිපබ්ලිකන් පක්ෂයයි. ජනාධිපතිවරණ සටන පැවැත්වෙන්නේ ට්‍රම්ප් සහ වත්මන් ජනාධිපති, ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් අතරේය.