ට්‍රම්ප් එක්ක සාකච්ඡා කරන්න සූදානම්-චීනය


ඇමෙරිකාවට ආනයනය කරනු ලබන චීන නිෂ්පාදන සඳහා සියයට 10 ක අතිරේක තීරුබදු පැනවීම සම්බන්ධයෙන් චීන රජය, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිය කනස්සල්ල පළ කර ඇත. 

ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය ජාත්‍යන්තර වෙළෙඳ නීති උල්ලංඝනය කිරීමක් බව චීනය පෙන්වා දී ඇත. චීන විදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එම තීරු බදු සම්බන්ධයෙන් ට්‍රම්ප් සමඟ සාකච්ඡා පවත්වා එය වෙනස් කර ගැනීමට පියවර ගන්නා බවය. 

ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් උත්සාහ ගන්නේ වෙළෙඳ යුද්ධයකට යෑමට බවත්, එවැනි වෙළෙඳ යුද්ධයකින් කිසිදු පාර්ශ්වයකට ජයක් අත්නොවනු ඇති බවත්, මුළු ලෝකයටම එහි අහිතකර ප්‍රතිඵල අත්විඳීමට සිදුවනු ඇති බවත් චීන විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ට්‍රම්ප් චීන නිෂ්පාදන සඳහා සියයට 10 ක අතිරේක තීරු බද්දක් පැනැවීමට තීරණය කර ඇත්තේ ‘ෆෙන්ටැනයිල්’ නම් ඖෂධය මුල්කොට ගනිමිනි. 

‘ෆෙන්ටැනයිල්’ ඖෂධය ඇමරිකාවේ දේශීය ගැටළුවක් බවත්, එම ඖෂධය නිපදවන සමාගමේ ඉල්ලීමකට අනුව, 2019දී ‘ෆෙන්ටැනයිල්’ වැනි ඖෂධ වර්ග විධිමත් ලෙස ලැයිස්තු ගත කළ තම රට, ‘ෆෙන්ටැනයිල්’ වැනි ඖෂධ වර්ග නිසි ලෙස පාලනය කරන ලොව පළමු රට බවට ද පත් වී ඇතැයි චීනය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

(එන්.ඩී.ටීවී.)