ජපන් වැසියන් බය කළ බාබා වංගාගේ අනාවැකිය


බාබා වංගාගේ අනාවැකියක් හේතුවෙන් ජපන් වැසියන් අද (5) මහත් සේ බියට පත්ව සිටියහ. මෙම අනාවැකිය, බාබා වංගාගේ අනාවැකි ඇතුළත් 'ද ෆියුචර් අයි සෝ' නමැති පොතේ අඩංගු වී තිබුණි.

එම අනාවැකිය නම්, අද (5) දිනයේ, පැසිෆික් සාගර වෙරළ තීරයේ භූමිකම්පාවක් සිදුවනු ඇති බවත්, එය මහා විනාශකාරී සුනාමියක් වනු ඇති බවත්ය. අනාවැකිය හේතුවෙන්, ජපානය පමණක් නොව, හොංකොං, තායිවානය, චීනය සහ දකුණු කොරියාව වැනි රටවල වැසියන් ද මහත් සේ බයට පත්ව සිටි බව වාර්තා වේ.

සුනාමි බියක් පවතිද්දී, දකුණු ජපානයට අයත් තොකෝරා දූපතේ පසුගිය ජූනි 21 වැනිදා රික්ටර් පරිමානයේ ඒකක 5.5 ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගත් අතර, ඉන් පසුව ගෙවුණු දෙසතියක කාලය තුළ එම දූපත පසුකම්පන 900 කට වැඩි සංඛ්‍යාවකට මුහුණ දී තිබුණි.

එපමණක් නොව අද (25) දිනයේ ද කුඩා භූ කම්පන කිහිපයක්ම හොකයිඩෝ සිට කියුෂු දක්වා ප්‍රදේශවලට බලපා ඇති අතර, ආරක්ෂාව සඳහා ජනතාව ඉවත් කිරීමටද කටයුතු කෙරුණු බව පැවැසෙයි.

ඊට අමතරව, හොංකොං හි ග්‍රේටර් බේ ගුවන් සේවය ටොකුෂිමා වෙත දින නියමයක් නොමැතිව ගුවන් ගමන් අත්හිටුවන බව නිවේදනය කර තිබුණි. කෙසේ නමුත් භූකම්පන හේතුවෙන් සුනාමි ව්‍යසනයක් හටගත්තේ නැත.

බාබා වංගා බල්ගේරියානු ජාතික අන්ධ කාන්තාවකි. ඇයට පෙනීම අහිමි වූයේ යොවුන් වියේදීය. ඇය ඇයගේ ජීවිතයෙන් වැඩි කාලයක් බල්ගේරියාවේ බෙලසිකා කඳුකරයේ රුපිට් ප්‍රදේශයේ ගත කළාය. ඇය 1996 වසරේ මිය ගිය නමුත්, ඇය කළ අනාවැකි බොහොමයක් සැබෑ වී ඇත. ඇය මෙම 2025 වසර සම්බන්ධයෙන් පමණක් නොව, ඉන් ඔබ්බට ද අදාළව අනාවැකි රාශියක් පවසා තිබේ.

‍ෙකෙසේ වෙතත්, ඇයගේ අනාවැකි වලට විද්‍යාත්මක පදනමක් නොමැති බවත්, ඒවා බොහෝ විට අර්ථකථනය කිරීමට විවෘත බවත් විචාරකයෝ පෙන්වා දෙති.