චීන සිසුන්ගේ වීසා අවලංගු කරයි


ඇමෙරිකාවේ ඉගෙනුම ලබන චීන සිසුන්ගේ වීසා අවලංගු කිරීමට ට්‍රම්ප් පරිපාලනය පියවර ගෙන ඇත. මෙය චීන රජයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති අතර, චීන රජය ඒ සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ පවසා ඇත්තේ, මෙසේ අවලංගු කර ඇත්තේ චීන කොමියුනිස්ට් පක්ෂය සමඟ සමීප සබඳතා පවත්වන චීන සිසුන්ගේ වීසා බවය.

චීන රජය පවසා ඇත්තේ තම සිසුන්, ඇමෙරිකාවට පැමිණෙන්නේ අධ්‍යාපනය ලැබීමට බවත්, ඔවුන් චරපුරුෂයන් නොවන බවත්ය. ඇමෙරිකාවට පැමිණෙන චීන සිසුන් වෙනුවෙන් පැනවූ මෙම තහංචිය සම්බන්ධයෙන් දෙවරක් සිතා බලන්නැයි චීන රජය ඉල්ලීමක් කර ඇත.