ගාසා තීරයෙන් හමාස් මුලිනුපුටා දැමිය යුතුයි


ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දැමිය යුතු යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්ක් රූබියෝ අවධාරණය කරයි. රූබියෝ මෙසේ පැවැසුවේ, බටහිර ජෙරුසලමේ දී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.

රූබියෝගේ මෙම ප්‍රකාශය හමාස් සංවිධානයේ දැඩි විරෝධයට හේතුවක් වී ඇති අතර, හමාස් සංවිධානය සහ ඊශ්‍රායල රජය අතරේ මේ වනවිට පවතින සටන් විරාමයට එය බාධාවක් වීමට ඉඩ ඇතැයි ද පැවැසෙයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ද හමාස් සංවිධානයට අනතුරු ඇඟවීම් කර ඇත. ඒ, හමාස් ග්‍රහණයේ සිටින සියලු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් එකවර නිදහස් කරන ලෙසටය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සමඟ සාකච්ඡා පවත්වා, ගාසා තීරය නමැති බිම් තීරුව ඇමෙරිකාවට පවරා ගැනීමට සූදානම් වෙයි.

ට්‍රම්ප් පවසා ඇත්තේ ගාසා තීරය, ඇමෙරිකාවේ පාලනයට ගෙන එය සංවර්ධනය කර ආපසු පලස්තීන වැසියන්ට ලබා දෙන බවය. එතෙක් පලස්තීන වැසියන් ඊජිප්තුවේ හෝ ජෝර්දානයේ පදිංචි කරවන බව ද ට්‍රම්ප් අවධාරණය කර ඇත.

(ඒ.එෆ්.පී.)