ඕස්ට්‍රේලියා මැතිවරණයෙන්, වාමාංශික කම්කරු පක්ෂයට ජය හිමිවිය. ඒ අනුව, කම්කරු පක්ෂ නායක ඇන්තනි ඇල්බනීස් තවදුරටත් ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත.
ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයකුගේ ධුර කාලය වසර තුනක් වන අතර, දශක දෙකකට පසු, පිටපිට දෙවරක් ධුරයේ රැඳී සිටීමට හැකිවුණු පළමු ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍යවරයා වන්නේ ඇල්බනීස් යැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
කොන්සවර්ටිව් පක්ෂය සහ එහි නායක පීටර් ඩටන්ගෙන් අභියෝගයක් එල්ල වේවි යැයි අනුමාන කළත්, කම්කරු පක්ෂය අපේක්ෂා නොකළ අයුරින් පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගැනීම විශේෂත්වයක් විය.
විපක්ෂ නායක ලෙස මැතිවරණයට ඉදිරිපත් වූ ඩටන්ට සිය ආසනය පවා අහිමි විය. තමන් පරාජය බාර ගන්නා බව පීටර් ඩටන් පවසා ඇත්තේ කම්කරු පක්ෂයටත්, පක්ෂ නායක නායක ඇල්බනීස්ටත් සුබ පතමිනි.
ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 151 කින් සමන්විත අතර, බහුතරය සඳහා ආසන 76 ක් දිනා ගැනීම කළ යුතුව තිබුණි. කම්කරු පක්ෂය දිනාගත් ආසන සංඛ්‍යාව 85 ට වැඩි යැයි පැවැසෙයි.
ජීවන වියදම, සෞඛ්‍ය හා නිවාස ගැටලුව මෙවර ඕස්ට්‍රේලියානු මහ මැතිවරණයේ ප්‍රධාන මාතෘකා බවට පත්වී තිබුණි. ගෝලීය අර්බුද හමුවේ, ඒවාට සාර්ථකව මුහුණ දෙමින්, ඕස්ට්‍රේලියානුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට තමන් කැපවන බව මැතිවරණ ජයග්‍රහණයෙන් පසු අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සිය පාක්ෂිකයන් අමතමින් පැවැසීය.
(ඒ.එෆ්.පී.)