ඊජිප්තුවේ අයි එස් ප්‍රහාරයකින් පොලිසියේ 18ක් මරුට


ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ ආරක්ෂක අංශ ගමන්ගත් ලොරි රථ පෙළකට අයි එස් ත්‍රස්තවාදීන් විසින් කරන ලද පහරදීමකදී පොලිස් භටයින් 18 දෙනකු පමණ මියගොස් තවත් හත් දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මාර්ගය දෙපස අටවා තිබූ බෝම්බ පුපුරුවා හැරීමෙන් සන්නද්ධ රථ හතරක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත.

ඊජිප්තු අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය පවසන්නේ බෝම්බ පිපිරවීමෙන් පසු වෙඩිතැබීම් ද සිදුකර ඇති නිසා මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. සන්නද්ධ රථ  පෙළ ගමන්ගත් මාර්ගය අවහිර කරමින් රථයක් ධාවනය කිරීමට සලස්වා ඉන්පසුව බෝම්බ පුපුරුවා හැර ඇති බව පැවසේ.

මෙම සිද්ධිය වීමට දිනකට පෙර ආරක්ෂක අංශ විසින් සිදු කරන ලද වැටලීමකදී ත්‍රස්තවාදීන් 10ක් මරා දැමූ බව ද අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වාර්තා කර ඇත.

(බීබීසී පුවත් ඇසුරිණි - 085)