ඇමෙරිකාවේ විරෝධතා දිගටම


සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව, ඇමෙරිකාවේ නගර කීපයක දිගින් දිගටම ප්‍රචණ්ඩකාරී විරෝධතා පැවැත්වෙයි. 

විරෝධතා මර්දනයට, පොලිසියට සහාය වීම සඳහා ඇමෙරිකන් ජනාධිපති ජොනල්ඩ් ට්‍රම්ප් හමුදා භටයන් 2,000 ක බලඇණියක් යොදවා ඇත. එම පිරිස අතරේ, මැරීන් භටයන් 500 ක් ද සිටින බව වාර්තා වේ. මැරීන් භටයන් යනු ඇමෙරිකා හමුදාවේ විශේෂ කාර්ය බලකායට අයතවෙශේෂ පුහුණුවක් ලැබූ හමුදා සොල්දාදුවන් කණ්ඩායමකි.

ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධතා පැවැත්වෙන්නේ ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ සහ සැන් දියේගෝ යන නගරවලය. කලහකාරී පිරිස්, පසුගිය සිකුරාදා සිට, ප්‍රධාන වීදි හරස් කරමින්, පොලිසිය සමඟ ගැටෙමින්, මෝටර් රථ ගිනි තබමින් අලාභහානි සිදු කිරීමත් සමඟ තත්ත්වය උත්සන්නවූ බව පැවැසෙයි.

සති අන්තයේ පැවැති එම ගැටුම්වලින් පොලිස් නිලධාරීන් ද බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. පොලිසියේ සහායට හමුදාව යෙදවීමට ට්‍රම්ප් පියවර ගත්තේ ඒ අනුවය.

ඇමෙරිකාවේ අනවසර සංක්‍රමණිකයන්, එරටින් පිටමන් කිරීමට ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇත. ලොස් ඇන්ජලීස්, සැන් ෆ්‍රැන්සිස්කෝ සහ සහ සැන් දියේගෝ නගරවල මේ අයුරින් අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ ඒ අනුවය.

විරෝධතා මර්දනයට හමුදාව යොදවන්න එපා යැයි කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් කර ඇති නමුත් ට්‍රම්ප් ඊට කන් නොදෙන බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)