(ඒ.එෆ්.පී සහ රොයිටර් ඇසුරිනි - 055)
න්‍යෂ්ටික සහ මිසයිල වැඩසටහන් නැවැත්වීමට බල කිරීමේ අරමුණින් උතුරු කොරියාවට නව සම්බාධක සහ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපද සෙනට් සභාවේ සෙනට් සභිකයන් 100 දෙනා හමු වී කෙටි සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව උතුරු කොරියාවට නව සම්බාධක පැනවීමට තීරණය කර ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. දකුණු කොරියාව තුළ නව මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට පියවර ගත් බව ඒ අතරවාරයේදී ශාන්තිකර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ඇමෙරිකා එක්සත් ජනපද අණදෙන නිලධාරියකු පැවැසීය. උතුරු කොරියාව නව අවි ආයුද අත්හදා බැලීම් කරනු ඇතැයි පසුගිය සති කිහිපයේදීම අර්බුදකාරී තත්ත්වයක් ඇති ව තිබිණි.
“කොරියානු අර්ධද්වීපයෙන් සාමකාමී ලෙසත් ස්ථාවර ලෙසත් න්‍යෂ්ටික අවි ආයුද ඉවත් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය බලාපොරොත්තු වෙනවා” යැයි එරට රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්, ආරක්ෂක ලේකම් ජිම් මැටිස් සහ ජාතික බුද්ධි අංශ ඒකකයේ අධ්‍යක්ෂක ඩෑන් කෝට්ස් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළහ.
“අපි එම ඉලක්කය කරා යෑම සඳහා සාකච්ඡාවලට සම්බන්ධ වීමට සූදානම්. ඕනෑම අවස්ථාවකදී සාකච්ඡාවලට සම්බන්ධ වෙන්න අපට බාධාවක් නැහැ. ඒ වගේම අපේත් අපේ මිතුරන්ගෙත් ස්වයං ආරක්ෂාව වෙනුවෙන් ද අපි සූදානම්ව සිටිනවා” යැයි රෙක්ස් ටිලර්සන්, ජිම් මැටිස් සහ ඩෑන් කෝට්ස් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ සඳහන් විය.
“න්‍යෂ්ටික සහ බැලැස්ටික් මිසයිල ඉවත් කිරීම උතුරු කොරියාවට පීඩනයක් එල්ල කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙනවා. අපේ මිතුරන් සමඟ එක්ව උතුරු කොරියාවට නව ආර්ථික සම්බාධක පනවන අතරේම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කර තිබෙනවා” යැයි එම නිවේදනයේ තවදුරටත් සඳහන්ව තිබේ.
ඇමෙරිකා එක්සත් ජනපදය මේ වනවිට උතුරු කොරියාවේ අවි ආයුද තාක්ෂණය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙන අතර ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය අවසන් වීමට පෙර උතුරු කොරියාව න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සහිත මිසයිලයකින් එරටට පහර දෙනු ඇතැයි ද ඇමෙරිකාව විශ්වාස කරයි. ඇමෙරිකාව කොරියානු අර්ධද්වීපයේ කරන ඕනෑම යුද කටයුත්තක් උතුරු කොරියාවට දකුණු කොරියාවට සහ ඇමෙරිකාවට ප්‍රහාර දීමටත් ඔවුන්ගේ අවි ආයුද අත්හදා බැලීමට අවස්ථාව උදා කිරීමකි.
කෙසේ වෙතත් උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීමේ වැඩසටහන් නැවැත්වීම සඳහා චීනයට බල කිරීම ඇමෙරිකාවේ ජනාධිපතිවරයා සැලසුමේ ප්‍රධාන කොටසකි. ඇමෙරිකාව සාකච්ඡාවලට සූදානම් බව සඳහන් කළ ද උතුරු කොරියාව සාකච්ඡාවලදී පනවන කොන්දේසිවලට එකඟ වේද යන්න සැක සහිතය.
න්‍යෂ්ටික අත්හදා බැලීම් නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ වනවිට උතුරු කොරියාවට දැඩි සම්බාධක පනවා තිබේ. නැවත වරක් උතුරු කොරියාව ත්‍රස්තවාදයට උදව් සපයන රටවල් ගොන්නට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානය යොමු වී ඇතැයි ධවල මන්දිර ප්‍රකාශයකු පැවැසීය. උතුරු කොරියාව සමඟ සබඳතා පවත්වන ඇමෙරිකා පුරවැසියන් මෙන්ම ඇමෙරිකා නොවන පුරවැසියන් ද අසාදු ලේඛන ගත කිරීම ද නව සම්බාධකවලට ඇතුළත් වනු ඇතැයි වාර්තා වේ.
මේ අතර ඇමෙරිකා දකුණු කොරියාවේ ස්ථාපිත කළ මිසයිල ආරක්ෂණ පද්ධතියට එරට විවිධ පිරිස්වලින්ම විරෝධතා එල්ල විය. එම විරෝධතාවලදී ඇති වූ ගැටුම්වලින් දස දෙනකුට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.

