‘පාකිස්තාන් ටුඩේ’ ඇසුරිනි - 055
පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි ප්‍රහාර එල්ල කළ ත්‍රස්ත පිරිසේ සිටි ත්‍රස්තවාදියකු ඇමෙරිකා හමුදාව නියමුවන් රහිත ගුවන් යානා යොදාගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයකින් මියගොස් තිබේ.
පාකිස්තානය විවිධ ස්ථානවලට එල්ල වූ ප්‍රහාරවලට සම්බන්ධ වී ඇති මොහු ක්ආරි යසීන් නමින් හැඳින්වේ. ඇෆ්ගනිස්තානයේ පක්ටිකා පළාතේ බර්මාල් දිස්ත්‍රික්කයේ ඇමෙරිකා හමුදාව කළ මෙහෙයුමකදී යසීන් මියගොස් ඇත. ඇමෙරිකාව නියමුවන් රහිත යානා (ඩ්‍රෝන) යොදාගනිමින් එල්ල කළ ප්‍රහාරවලින් යසීන්ගේ සගයන් තිදෙනකු ද ජිවිතක්ෂයට පත්ව තිබේ.
යසීන් තරීක් ඊ තලේබාන් පාකිස්තාන්, ලක්ෂාර් ඊ ජාන්ග්වි සහ අල් කයිඩා ඇතුළු ප්‍රධාන පෙළේ ත්‍රස්තවාදී සංවිධාන සමඟ සබඳතා පවත්වා ඇත. පාකිස්තානය විසින් ඇමෙරිකාවට සපයන ලද වඩාත්ම අවශ්‍ය ත්‍රස්තවාදීන්ගේ ලැයිස්තුවට ද යසීන්ගේ නම ඇතුළත් කර තිබිණි.
වසර 2009 දී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රහාර එල්ල කළ කණ්ඩායමේ සිටි ත්‍රස්තවාදීන් සිව්දෙනෙක් පසුගිය වසරේ අගෝස්තු මාසයේදී පාකිස්තාන පොලිසිය කළ වෙඩි පහරකින් මරුමුවට පත්වූහ.

