වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ අධිකරණයේ ස්වාධීනත්වය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයන් පිළිබඳව විශාල මහජන කථිකාවක් ගොඩනැගී ඇත. විශේෂයෙන්ම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සංශෝධනය කිරීම සහ අධිකරණ ස්වාධීනත්වය අතර පවතින සබඳතාවය පිළිබඳව විවිධ මතවාද සමාජගත වෙමින් පවතී. මෙම ලිපිය මගින් ජාත්‍යන්තර ප්‍රවණතා, ව්‍යවස්ථාමය රාමුව සහ අධිකරණ ස්වාධීනත්වයේ සැබෑ අර්ථය පිළිබඳව විද්‍යාත්මක හා නීතිමය විශ්ලේෂණයක් මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාමහේවා ඉදිරිපත් කරයි.
ජාත්‍යන්තර පිළිගැනීම සහ කාලානුරූපී ව්‍යවස්ථා වෙනස්කම්
අධිකරණයේ ස්වාධීනත්වය යනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන විසින් නිරන්තරයෙන් අවධානය යොමු කරනු ලබන මූලික කරුණකි. බොහෝ ප්‍රජාතන්ත්‍රවාදී රටවල අධිකරණයේ බලතල සහ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම සඳහා අදාළ ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළටම ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කිසිසේත්ම වෙනස් කළ නොහැකි, එකම තැනක තබන ලද අචල ලේඛනයක් නොවේ. 1950 ගණන්වල පැවැති ව්‍යවස්ථාමය රාමු අද වන විට ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ නූතන සමාජීය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි කාලානුරූපීව සංශෝධනය කර තිබේ. අධිකරණයේ ස්වාධීනත්වය රැකගැනීම යනු ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන කිසිසේත් වෙනස් නොකිරීම යැයි සිතීම ලෝකය පිළිගත් නීතිමය සම්ප්‍රදාය නොවේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම යනු නූතනයේ අලුතින්ම හඳුන්වා දුන් අත්හදා බැලීමක් හෝ ප්‍රපංචයක් නොවේ. එය ජාත්‍යන්තර සම්මේලන සහ සම්මන්ත්‍රණ ගණනාවකදී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වූ, ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ගණනාවක් විසින් පිළිගන්නා ලද ප්‍රතිපත්තිමය තීරණයකි.
ජාත්‍යන්තර ප්‍රවණතාවලට බලපෑ හේතු
ආයු අපේක්ෂාව ඉහළ යාම
නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග ජනතාවගේ ආයු අපේක්ෂාව සහ සෞඛ්‍ය සම්පන්න බව ඉහළ ගොස් ඇත.
නඩුවල සංකීර්ණතාව
වර්තමාන නඩු කටයුතු වඩාත් සංකීර්ණ වී ඇති බැවින්, ජ්‍යෙෂ්ඨ සහ පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය පද්ධතිය තුළ වැඩි කාලයක් රඳවා ගැනීමේ අවශ්‍යතාවය.
ආයතනික ස්ථාවරත්වය
පළපුරුදු විනිසුරුවරුන්ගේ දැනුමෙන් හා පරිණතභාවයෙන් දිගටම ඵල නෙළා ගැනීම.
ඉන්දියාව, බංග්ලාදේශය මෙන්ම කැරබියන් කලාපයේ රටවල් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් රැසක්ම මෙවැනි සංශෝධන සාර්ථකව ක්‍රියාත්මක කර ඇත. ශ්‍රී ලංකාව තුළද මෙම ක්‍රමය අලුත් දෙයක් නොවන අතර, 2020 වසරේ ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ විනිසුරුවන් සංඛ්‍යාව වැඩි කළ අවස්ථාවේදී මෙන්ම ඊට පෙර පැවැති විවිධ කථිකාවන්හිදී ද මේ පිළිබඳව අවධානය යොමු විය.
ව්‍යවස්ථා විරෝධී ද?
අධිකරණයේ ස්වාධීනත්වය යනු ජනතාවගේ පරමාධිපත්‍යයේම අනුපූරක කොටසකි. ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ප්‍රජාතන්ත්‍රවාදී නීතිමය ක්‍රියාපටිපාටිය ඔස්සේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පැහැදිලි බලයක් සහ ක්‍රමවේදයක් ලබා දී ඇත.
එබැවින්, ව්‍යවස්ථානුකූල නීත්‍යානුකූල ක්‍රමවේදයට අනුකූලව ගෙන එන සංශෝධනයක් "ව්‍යවස්ථා විරෝධී" ලෙස හැඳින්විය නොහැකිය. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටවල් මෙවැනි සංශෝධන දකින්නේ යහපත් සහ නිවැරදි ක්‍රියාවලියක් ලෙසය.
මහජන උපදේශන,සංවාද අත්‍යවශ්‍යද?
ව්‍යවස්ථා හෝ නීති සංශෝධනයකදී මහජන උපදේශන සහ සංවාද පැවැත්වීම යහපාලන මූලධර්මවලට අනුව ඉතා අගය කළ යුතු ප්‍රවණතාවකි. කෙසේ වෙතත්,
සංශෝධනයක් පිළිබඳව කොපමණ කාලයක් (වසර 1ක්, 2ක් හෝ 3ක්) සාකච්ඡා කළ යුතුද යන්න ව්‍යවස්ථාවෙන් නියම කර නැත. එය තීරණය වන්නේ අදාළ සමාජයේ පවතින හදිසි අවශ්‍යතාවය මතය.ඒ අනුව තීරණාත්මක කාලරාමුවක් මෙහි නොමැති බව සඳහන් කළ යුතුය. මහජන සංවාද අගය කළද, ලෝකයේ සෑම ව්‍යවස්ථා සංශෝධනයකටම පෙර අනිවාර්යයෙන්ම මහජන උපදේශන පැවැත්විය යුතු බවට සෑම ව්‍යවස්ථාවකම තදින්ම නියම කර නැත.මේ නිසා මහජන සංවාදය සහඋපදේශන අනිවාර්ය නොවන බවද කිව යුතුය.
අධිකරණ ස්වාධීනත්වයට ඇති සැබෑ තර්ජන
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම මගින් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් වන බව පැවසීම සාධාරණ නොවේ. අධිකරණ ස්වාධීනත්වයට සැබවින්ම තර්ජනයක් එල්ල වන්නේ පහත සඳහන් අවස්ථාවලදී පමණි.
අධිකරණයේ පවතින බලතල හිතාමතා අඩු කිරීම.
නඩු තීන්දු ලබාදීමේ ස්වාධීන ක්‍රියාවලියට දේශපාලනික හෝ බාහිර මැදිහත්වීම් සිදු කිරීම.
විනිසුරුවරුන් පත් කිරීම සහ ඉවත් කිරීමේ නීතිමය ක්‍රමවේදයන් හිතුවක්කාරී ලෙස වෙනස් කිරීම.
විනිසුරුවරුන්ට ඇති ආරක්ෂණ ක්‍රමවේදයන් සහ වරප්‍රසාද කප්පාදු කිරීම ජන කාරණාවලදීය.
සාධාරණ විය යුතු විශ්‍රාම යෑම
මෙම වයස් සීමාවන් දීර්ඝ කිරීමේ ප්‍රතිපත්තිය සාර්ථක වීමට නම් එය එක් පුද්ගලයෙකුට හෝ කිහිපදෙනෙකුට පමණක් සීමා නොවී, පද්ධතියේ සිටින සියලුම විනිසුරුවරුන්ට සාධාරණව අදාළ විය යුතුය. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණයට පමණක් නොව, මහාධිකරණ සහ ඊට පහළ සමස්ත අධිකරණ පද්ධතිය ගැනම මෙහිදී අවධානය යොමු කිරීම වැදගත් වේ.
රාජ්‍ය සේවයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල වෘත්තීයවේදීන්ගේ සේවා කාලය සමාජීය අවශ්‍යතාවයන් මත දීර්ඝ කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. අධිකරණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද මෙම පදනම එක හා සමානව අදාළ කරගැනීම මෙහිදී වැදගත් වේ.
කෙසේ නමුත් මාගේ අදහසට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ නීත්‍යානුකූල ක්‍රියා පටිපාටියට අනුකූලව විනිසුරුවරුන්ගේ විශ්‍රාමවයස දීර්ඝ කිරීම යනු අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වූ ප්‍රහාරයක් නොවේ. එය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ කාලයේ අවශ්‍යතාවයට අනුකූලව සිදු කරනු ලබන සාමාන්‍ය සාධාරණ සහ නීත්‍යානුකූල ක්‍රියාවලියකි.

මහාචාර්ය, නීතිඥ
ප්‍රතිභා මහානාමහේවා.
D.N. අභයවර්ධන.

