

එල් නිනෝ යනු මධ්‍යම හා නැගෙනහිර නිවර්තන පැසිෆික් සාගරයේ මතුපිට ජලය වෙනදාට වඩා උණුසුම් වන ස්වභාවික දේශගුණික සංසිද්ධියකි. එය එල් නිනෝ-දක්ෂිණ දෝලනය (ENSO) ලෙස හඳුන්වන විශාල දේශගුණික චක්‍රයක කොටසකි, එයට අදියර තුනක් ඇත:
එල් නිනෝ - සාමාන්‍යයට වඩා උණුසුම් පැසිෆික් සාගර උෂ්ණත්වයන්.
ලා නිනා - සාමාන්‍යයට වඩා සිසිල් පැසිෆික් සාගර උෂ්ණත්වයන්.
උදාසීන - නැවත සාමාන්‍යය උෂ්ණත්වයට පත්වීම.
මෙහි ප්‍රතිඵලයක් ලෙස සාගර ජලය උණුසුම් වීම සහ සිසිල් වීම මත පදනම්ව ලෝකයේ විවිධ ප්‍රදේශවලට අධික වර්ෂාපතනය, නායයෑම් සහ ගංවතුර වැනි අන්තගාමී කාලගුණික තත්ත්වයන් මෙන්ම අනිත් අතට ආහාර හිඟවීම් වැනි ගැටලුද ඇතිවිය හැක.
එල්නිනෝ තත්ත්වයේ ප්රධාන අවස්ථා
සාමාන්‍යයෙන් එල්නිනෝ තත්ත්වයක් ප්‍රධාන අවස්ථා තුනක් පසු කරයි
දුර්වල එල්නිනෝ (Weak El Niño)
සෙල්සියස් අංශක 0.5ත් 1.0ත් අතර උෂ්ණත්ව වර්ධනයක් දක්නට ලැබේ.
මධ්‍යම එල්නිනෝ (Moderate El Niño)
සෙල්සියස් අංශක 1.0ත් 1.5ත් අතර උෂ්ණත්ව වර්ධනයක් ඇතිවේ.
ඉහළ මට්ටමේ එල්නිනෝ (Strong El Niño)
සෙල්සියස් අංශක 1.5ත් 2.0ත් අතර උෂ්ණත්ව වර්ධනයක් පෙන්වයි.
සුපිරි එල්නිනෝ (Super El Niño)
සාගර ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.0 ට වඩා වැඩි වන අවස්ථාව මෙය වන අතර, මෙහි තීව්‍රතාවය වැඩි නිසා යුරෝපයේ සමහර රටවල් මෙය "ගොඩ්සිල්ලා" (Godzilla) තත්ත්වයක් ලෙසද හඳුන්වයි.
වර්තමාන ගෝලීය තත්ත්වය
ඇමෙරිකා එක්සත් ජනපදයේ පර්යේෂණ කණ්ඩායම් චන්ද්‍රිකා තාක්ෂණය (Satellite Technology) භාවිතයෙන් මේ වන විට පැසිෆික් සාගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5 කට වඩා වැඩි වී ඇති බව හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් වර්තමානය සාමාන්‍යයෙන් එල්නිනෝ වර්ෂයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. ගෝලීය උෂ්ණත්ව වෙනස්වීම් මෙන්ම ඉන්දියන් සාගරයේ වර්ධනය වන උෂ්ණත්ව වෙනස්වීම් (Indian Ocean Dipole) තත්ත්වය හේතුවෙන් මෙය සුපිරි එල්නිනෝ තත්ත්වයක් දක්වා පරිවර්තනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බවට අනුමාන කෙරේ. මෙම එල්නිනෝ තත්ත්වයේ උපරිම වර්ධනය අගෝස්තු සහ සැප්තැම්බර් මාස වන විට දැකගත හැක.
අනෙක් අතට ලානිනා (La Niña) යනු එල්නිනෝ හි ප්‍රතිවිරුද්ධ තත්ත්වය වන අතර, එහිදී ලතින් ඇමෙරිකානු කලාපයේ සාගර පතුලේ ඇති සිසිල් ජලය මතුපිටට පැමිණීම නිසා සාගර ජලය සිසිල් වේ. මේ නිසා ජල වාෂ්ප එකතු වීම අඩුවී වර්ෂාපතනය අඩුවීමෙන් නියං තත්ත්වයන් වර්ධනය වේ. මෙය බ්‍රසීලය, ආර්ජන්ටිනාව, නිකරගුවාව, ඉක්වදෝරය සහ සහරා අප්‍රිකා කලාපය වැනි ප්‍රදේශවලට දැඩිව බලපායි.
ශ්රී ලංකාවට දැනෙන වෙනස සහ කාලගුණික බලපෑම
අන්තර් මෝසම් කාලය (අගෝස්තු - සැප්තැම්බර්)
ඉන්දියන් සාගරයේ සහ පැසිෆික් සාගරයේ උෂ්ණත්වය වැඩිවීම හේතුවෙන් ශ්‍රී ලංකාව අවට සාගර කලාපයේ ජල වාෂ්ප ගොඩගැසීමක් සිදුවේ. මේ නිසා වලාකුළු වර්ධනය වී අන්තර් මෝසම් කාලයේදී වෙනදාට වඩා වැඩි වර්ෂාපතනයක් ශ්‍රී ලංකාවට ලැබෙනු ඇතැයි විශ්වාස කෙරේ.
ඊසාන දිග මෝසම (මහ කන්නය)
කෙසේ වෙතත්, සුළං දිශාව වෙනස් වීම සහ ලානිනා තත්ත්වයක් ඇතිවීමේ අවදානම නිසා ඊසාන දිග මෝසමෙන් ලැබෙන වර්ෂාපතනය සාමාන්‍ය මට්ටමට වඩා අඩුවිය හැක.
කෘෂිකර්මාන්තයට සිදුවන බලපෑම
දැනට පවතින නිරිතදිග මෝසම හේතුවෙන් ලංකාවට හොඳින් වැසි ලැබී ඇති අතර වැව් පිරී යල කන්නයේ වගාවන් සාර්ථකව ක්‍රියාත්මක වේ.
යල කන්නයට එල්ලිනෝ විශාල බලපෑමක් නැහැ
අගෝස්තු මුල් සතිය වනවිට අස්වනු නෙලා අවසන් වන බැවින් යල කන්නයට එල්නිනෝ තත්ත්වයෙන් විශාල බලපෑමක් එල්ල නොවේ.තේ, රබර්, පොල්, කුරුඳු, කොකෝවා වැනි බහු වාර්ෂික භෝගවලට මෙන්ම තෙත් කලාපයේ එළවළු නිෂ්පාදනයටද වර්ෂාපතන වෙනස්වීම් දරාගැනීමේ හැකියාව ඇති බැවින් මෙය විශාල වශයෙන් බලපාන්නේ නැත.
මහ කන්නයේ වර්ෂාපතනය අඩුවුවොත් නිෂ්පාදන පහතට
නමුත් මහ කන්නයේදී වර්ෂාපතනය අඩුවීම නිසා ඉඩම් වගා කිරීමේ ගැටලුවක් මතු වුවහොත්, එළවළු සහ වෙනත් වගාවන්ගේ නිෂ්පාදනය යම් පමණකට පහත වැටීමේ අවදානමක් පවතී. මධ්‍යම කඳුකරයේ තේ වගාවටද සුළු පසුබෑමක් ඇතිවිය හැක.
ඉදිරි අභියෝග ජයගැනීමට ගොවීන් සහ බලධාරීන් ගත යුතු ක්රියාමාර්ග
මේ තත්ත්වයට මුහුණ දීම සඳහා පහත පියවර අනුගමනය කිරීම වැදගත් වේ:
ජලය රැස් කර ගැනීම
අන්තර් මෝසමෙන් ලැබෙන වැසි ජලය උපරිමයෙන් රැස් කර ගැනීම මහවාරි, මධ්‍යවාරි සහ සුළු වාරිමාර්ග පද්ධති සඳහා ඉතා වැදගත් වේ. මෙය වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි සංවර්ධන අධිකාරිය සහ ගොවිජන සේවා මධ්‍යස්ථානවල ප්‍රධාන වගකීමකි.
කෙටි කාලීන භෝග වගාව
මහ කන්නයේදී වර්ෂාව අඩු වුවහොත් මාස තුනහමාරක් හෝ හතරක් ගතවන දීර්ඝ කාලීන භෝග වෙනුවට, මාස තුනකට අඩු කාලයකින් අස්වැන්න ලබාගත හැකි කෙටි කාලීන වී ප්‍රභේද වගා කිරීමට යොමු විය යුතුය. එසේම මුං, කව්පි සහ වෙනත් එළවළු වර්ග මෙන්ම ගොඩ ඉඩම්වල බඩඉරිඟු සහ පැණි කොමඩු වැනි භෝග වගා කළ හැක.
කන්නය කල්තියා ආරම්භ කිරීම
උෂ්ණත්වය ඉහළ යාම හේතුවෙන් අගෝස්තු සහ සැප්තැම්බර් මාසවල වාෂ්පීකරණය වැඩිවන බැවින්, ජලය ඉතිරි කර ගැනීම සඳහා ගොවි සංවිධාන සාකච්ඡා කර දින 15කට පමණ පෙර කන්නය ආරම්භ කිරීම වැදගත් වේ.
ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම
භුමි පරිහරණ ගැටළු හේතුවෙන් කඳුකර ප්‍රදේශවල සීඝ්‍රයෙන් වැසි ජලය ගලා යාම නිසා භූගත ජලය උරාගැනීම අඩුවන බැවින් දිය උල්පත් සිඳී යාමේ අවදානමක් ඇත. එමනිසා අතරමැදි සහ වියළි කලාපවල ජල කළමනාකරණය සහ ජල මූලාශ්‍ර ආරක්ෂා කිරීම ඉතා වැදගත්ය.වඩාත් වැදගත්ම පණිවිඩය වන්නේ ගොවීන් කිසිසේත් කලබල විය යුතු නැති බවයි. තමන්ගේ වගා කටයුතු පුරුදු පරිදි කරගෙන යාම වැදගත්ය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මහවැලි සංවර්ධන අධිකාරිය ලබා දෙන විද්‍යාත්මක උපදෙස්වලට සහ පණිවිඩවලට සවන් දීමෙන් සහ සියලු දෙනා එකමුතුව කටයුතු කිරීමෙන් මෙම අභියෝගය සාර්ථකව ජයගත හැක.

මහාචාර්ය නිශාන් සකලසූරිය
භූගෝල විද්‍යා අංශාධිපති
කැලණිය විශ්වවිද්‍යාලය.
D.N.අභයවර්ධන

