සිදු වූ ආපදා නිසා ඔබ පීඩාවෙන්ද?


මේ ආපදා තත්ත්වය නිසා ඔබ දුකෙන්ද,ඔබේ පවුලේ අය ඔබේ ආදරණීයන් ඔබ තනිකර දමා ගොසින්ද..ජීවිත කාලය පුරාම එක් රැස් කරගත් ධනස්කන්ධ අහිමි වෙලාද..මේ අසීමාන්තික දුකෙන් මානසික පීඩාවෙන් මඳකට හෝ මිදෙන්න ඔබ මේ ලිපිය කියවන්න. මෙවැනි බිහිසුණු අත්දැකීම් වලින් පසු ඇතිවිය හැකි ප්‍රධානතම මානසික තත්ත්වයක් ලෙස පශ්චාත් කම්පන මානසික ආතති ආබාධය (Post-Traumatic Stress Disorder - PTSD) හඳුනාගන්න පුළුවන්. තදබල කම්පන සහගත සිදුවීම්, බියජනක සිදුවීම් වලට මුහුණ දුන් අය තුළ තමයි මේ PTSD තත්ත්වය ඇතිවන්නේ. ‍ ස්ත්‍රී දූෂණ, පැහැර ගැනීම්, ළමා අපචාර, ස්වාභාවික විපත්, සමීප අයෙකුගේ මරණය, තදබල රෝගී තත්ත්වයකට ලක්වීම, හදිසි අනතුරු, ගෘහස්ථ හිංසනයන්, යුද්ධය, වැනි අවස්ථාවන් වලට මුහුණපාන අය තුළ PTSD ඇතිවෙන්න පුලුවන්. සාමාන්‍යයෙන් එවැනි කම්පන සිදුවීම් වලට මුහුණ දෙන පුද්ගලයන්ගෙන් 20% පමණ PTSD තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම පිරිමි අයට වඩා කාන්තාවන් තුළ සාපේක්ෂව එය වැඩි අගයක් ගන්නවා. *PTSD හි රෝග ලක්ෂණ* කම්පන සහගත සිදුවීම් අනවශ්‍ය මතකයන් නිතර නිතර සිහිවීම සිදුවීම නැවත නැවත සිදුවන බවක් හැඟීම. (Flashbacks) කම්පන සහගත සිදුවීම හෝ ඒ සම්බන්ධ විවිධ බියකරු සිහින පෙනීම සිදුවීම මතක්වන විට දැඩි මානසික පීඩනයක් ඇතිවීම කම්පන සහගත සිදුවීම මතකයට ඒම වළක්වා ගැනීමට විවිධ දෑ සිදුකිරීම සිදුවීමට අදාළ පුද්ගලයන්, ස්ථාන, ක්‍රියාකාරකම්, වස්තූන්, ශබ්ද, වැනි දෑ මඟහැරීමට කටයුතු කිරීම තමන් ගැන, අන් අය ගැන, සෙසු ලෝකය ගැන නිතර ඍණාත්මක සිතුවිලි කල්පනා වීම අනාගතය පිළිබඳ බලාපොරොත්තු විරහිත බව සමීප සබඳතා නොමැති බවක්, තනිවූ බවක් හැඟීම තමා ගැන වරදකාරී බව විනෝදජනක දේවල් වලින් ඈත්වීම ධනාත්මක හැඟීම් නොමැති බව ව්‍යාකූල බව පහසුවෙන් සහ විටින් විට බියට පත්වීම සැමවිටම පරිසරය සෝදිසියට ලක් කිරීම නින්ද ආශ්‍රිත ගැටලු ආවේගශීලි ලෙස කටයුතු කිරීම අපරික්ෂාරී ලෙස හැසිරීම් මේ වගේ ලක්ෂණ පශ්චාත් කම්පන ආතති ආබාධයක් සහිත පුද්ගලයෙකුගේ දකින්න පුළුවන්. නමුත් අවබෝධ කරගත යුතු කරුණ තමයි කම්පන සහගත සිදුවීම් වලට ලක්වන සියලු දෙනාට මේ තත්ත්වය ඇතිවෙන්නේ නෑ. කම්පන සහගත සිදුවීම් වලට ලක්වන පුද්ගලයන් තුළ PTSD හටගැනීමට විවිධ කරුණු කාරණා බලපානවා. ඒ කියන්නේ විවිධ අවදානම් සාධක පවතිනවා. සිදුවීමේ බරපතළ බව මීට පෙර විවිධ කම්පන සහගත සිදුවීම් වලට ලක්වීම පුද්ගලයාගේ පෞරුෂ ලක්ෂණ ශරීරයේ ආතති ප්‍රතිචාර ක්‍රියාකාරිත්වය වෙනත් මානසික රෝගී තත්ත්වයන් පැවතීම මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය මානසික ආබාධ සහිත පවුල් ඉතිහාසයක් පැවතීම තමා වටේ හොඳ සහය පද්ධතියක් නොමැති බව ඇතැම් අවස්ථාවන් වලදී PTSD සමඟ depression, suicide thoughts වැනි වෙනත් මානසික ගැටලුකාරී තත්ත්වයන්ද ඇතිවෙන්න පුළුවන්. *මේ තත්ත්වයෙන් මිදෙන ආකාරය* මෙය සිදුකිරීමට සරල පියවර කිහිපයක් අනුගමනය කරන්න පුළුවන්. 1. ඔබේ හැඟීම් පිළිගන්න, හඳුනා ගන්න. (Self Awareness) 2. සහාය සොයන්න- විශ්වාසවන්ත පවුලේ අය, මිතුරන් හෝ වෘත්තීය උපදේශකයෙකු සමඟ කතා කරන්න. කාලය ගත කිරීමට සන්සුන් පරිසරයක් තෝරාගන්න. 3. සම්බන්ධව සිටින්න- හැකි ඉක්මනින් ආදරණීයයන් සහ ප්‍රජා ජාල වෙත ළඟා වන්න. තනිව දීර්ඝකාලීන ව සිටීමෙන් වළකින්න. 4. ස්වයං රැකවරණය- ගැඹුරු හුස්ම ගැනීම, භාවනාව , ලිහිලනය වැනි මානසික විවේකය ලබා ගැනීමට යොමු වන්න, පෝෂණය සහ ලිහිල් කිරීමේ ශිල්පීය ක්‍රමවලට (Relaxation techniques) ප්‍රමුඛත්වය දෙන්න. 5. චර්යාව- සාමාන්‍ය බවක් ලබා දීම සඳහා ක්‍රමයෙන් දෛනික චර්යාවක් ස්ථාපිත කරන්න. (පෙර පුරුදු දින චර්‍යාව, සෞඛ්‍යයාරක්ෂිත ආහාර හා ව්‍යායාම ගැනීම. 6. මාධ්‍යයට නිරාවරණය වීම සීමා කරන්න- දුක්ඛිත, මරණ, වීඩියෝ නැරඹීම , ප්‍රවෘත්ති සහ මාධ්‍ය ආවරණයෙන් විවේක ගන්න. 7. වෘත්තීයමය උපදේශන හා උපකාර ලබාගන්න. 8. ආගමානුකූලව මනස සුවපත් කරන ආද්‍යාත්මික වැඩ කටයුතුවල නිරත වෙන්න. (බෝදි පූජා, පින් අනුමෝදන් කිරීම්, යාච්ඤා) සුවය ලැබීමට කාලය ගතවේ. ඔබ ගැන ඉවසිලිවන්තව හා කල්පනාකාරිව කටයුතු කරන්න. ​මෙම අභියෝගාත්මක කාලය තුළ, එකිනෙකාට මානසික සහයෝගය ලබා දීමෙන් මෙම ඇතිවූ කම්පනයන්ගෙන් ජය ලබාගන්න පුළුවන්. සෑම විටම ඔබ පිළිබඳ විශ්වාසයෙන් ඉන්න. අදහස්‍ දැක්වීම - එන්.ඒ. හංසනී කරුණාරත්න, සහාය කථිකාචාර්ය ,මනෝ උපදේශිකා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සටහන - පියුමිකා වීරසූරිය