වැස්ස නිසා ලෙඩ වැඩීලූ


     

අදහස්‍ දැක්වීම - වෛද්‍ය චින්තන විරාජ් ලියනගේ,ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරි,දිස්ත්‍රික් මහා රෝහල - ගම්පහ

                                                                                                                                                                            වර්ෂා සමය උදාවීමත් සමග ඇතිවන සෞඛ්‍ය ගැටළු 

වර්ෂාව නිසා සෘජුව සහ වක්‍රව සෞඛ්‍යමය ගැටළු කිහිපයක් ඇති විය හැකිය. ශ්‍රී ලංකාවේ, මෝසම් සමය සහ අධික වර්ෂාපතනය හේතුවෙන් විශේෂයෙන් ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති හෝ දුර්වල සනීපාරක්ෂාව ඇති ප්‍රදේශ වල විවිධ සෞඛ්‍ය ගැටළු ඇති වීමේ අවදානම ඉහළ යාම මෙහිදී දක්නට ලැබේ. එහිදී විශේෂයෙන් විසබීජ මගින් සෑදෙන බෝවන රෝග වල ඉහළ ව්‍යාප්තියක් දැකිය හැකියි.

වර්ෂා සමය නිසා බෝවන රෝග ඉහළ යාමට බලපාන හේතු 

වර්ෂාවත් සමග ජලය හා ආහාර දූෂණය වීම, මැස්සන් හා මදුරුවන් වැනි කෘමි වාහකයන්ගේ ඝනත්වය ඉහළ යාම හා තෙතමනය සහිත සීතල පරිසරයේ ක්ෂුද්‍ර ජීවි වර්ධනය හොඳින් සිදුවීම ආදිය මීට හේතු වේ.

ආසාදිත/අපවිත්‍ර ජලය මගින් බෝවන රෝග 

ජලයෙන් බෝවන රෝග ඇතිවන්නේ දූෂිත ජලය හරහා සම්ප්‍රේෂණය වන රෝග කාරක (බැක්ටීරියා, වෛරස් සහ පරපෝෂිතයන්) මගිනි. මෝසම් වැසි සහ ගංවතුර බහුලව පවතින ශ්‍රී ලංකාව වැනි රටවල ජල මූලාශ්‍ර දූෂිත වුවහොත් මෙම රෝග ඉක්මනින් පැතිර යා හැකිය. ජලයෙන් බෝවන ප්‍රධාන රෝග කිහිපයක් පහත දැක්වේ.

i) අතීසාරය - බැක්ටීරියා (ෂිගෙල්ලා විශේෂ) හෝ ඇමීබා (එන්ට මීබා හිස්ටොලිටිකා) මගින් සැදෙන මෙම අතීසාරය සම්ප්‍රේෂණය වන්නේ දූෂිත ජලය හෝ ආහාර මගිනි.මෙම රෝගයේ රෝග ලක්ෂණ නම් රුධිරය හා ශ්ලේෂ්මල සහිත දරුණු පාචනය, වමනය, උදරයේ වේදනාව හා උණ ආදියයි.

ii) ලෙප්ටොස් පයිරෝසිස් හෙවත් මී උණ ලෙප්ටොස් පයිරා බැක්ටීරියාව මගින් සෑදෙන මෙම රෝගය සම්ප්‍රේෂණය වන්නේ ආසාදිත සතුන්ගේ, විශේෂයෙන් මීයන්ගේ මුත්‍රා මගින් දූෂිත ජලය හෝ ගං වතුර ජලය මගින් බැක්ටීරියාව ව්‍යාප්ත වීමෙනි. එහිදී ඇති වන රෝග ලක්ෂණ අතර තද උණ, හිසරදය, මාංශ පේශි වේදනාව, වමනය සහ දරුණු අවස්ථාවල දී වකුගඩු අකර්මණ්‍ය වීම, අක්මා හානි සහ මෙනින්ජයිටිස් එනම් මොළේ උණ ආදියයි.

හෙපටයිටිස් A හෙවත් සෙංගමාලය - විශේෂයෙන් සනීපාරක්ෂාව දුර්වල විට දූෂිත ආහාර හෝ ජලය හරහා සම්ප්‍රේෂණය වන හෙපටයිටිස් A වෛරසය (HAV) මගින් මෙම රෝගය සෑදේ. තෙහෙට්ටුව, ඔක්කාරය, උදර වේදනාව, සෙංගමාලය (සම සහ ඇස් කහ වීම) සහ උණ ආදිය මෙහි රෝග ලක්ෂණ අතර වේ.

iv) ටයිපොයිඩ් උණ හෙවත් උණසන්නිපාතය - දූෂිත පානීය ජලය හෝ ආහාර වල සිටින සැල්මොනෙල්ලා ටයිෆි බැක්ටීරියාව මගින් සම්ප්‍රේෂණය වේ. මෙහි රෝග ලක්ෂණ නම් අධික උණ, දුර්වලතාවය, හිසරදය, උදර වේදනාව සහ සමහර විට කැසීම ආදියයි.

v) රොටාවෛරස් පාචනය දූෂිත ජලය හෝ ආහාර වල සිටින රොටා වෛරස් නමැති වෛරසයක් මගින් මෙම රෝගය සම්ප්‍රේෂණය වේ. විශේෂයෙන් කුඩා දරුවන් තුළ දරුණු දියරමය පාචනය, වමනය, උණ සහ විජලනය ඇතිවීම මෙහිදී සිදු වේ.

ජලයෙන් බෝවන රෝග වැළැක්වීමට ගත හැකි ක්‍රියා මාර්ග

ජලයෙන් බෝවන මිනිසාට රෝග සැලකිය යුතු සෞඛ්‍ය අවදානමක් ඇති කරයි. විශේෂයෙන් වැසි කාලවලදී ගංවතුර හේතුවෙන් ජල මූලාශ්‍ර දූෂණය විය හැකිය. ආරක්ෂිත පානීය ජලය බීමට ගැනීම, සනීපාරක්ෂක පිළිවෙත් සහ ඉහළ පුද්ගල සනීපාරක්ෂාව මෙම රෝග වැළැක්වීම සඳහා ප්‍රධාන වේ. එනම්,

ස්වාභාවික ප්‍රභවයන්ගෙන් ලබා ගන්නා ජලය උණු කර, නිවා පෙරා බීමට ගැනීම, නැතහොත් හානිකර ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම සඳහා ජල පිරිපහදු යන්ත්‍ර භාවිතා කිරීම.

අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම සහ අප ජල පද්ධති මගින් ජල සැපයුම් දූෂණය නොවීමට වග බලා ගැනීම.

ආහාර ගැනීමට පෙර, ආහාර පිළියෙළ කිරීමට පෙර හා වැසිකිළි යාමෙන් පසු සබන් යොදා ගලායන ජලයෙන් දෑන් සේදීම.

දූෂිත ජලයෙන් සෝදා හෝ සකස් කර ඇති ආහාර අනුභව කිරීමෙන් වැළකීම හා සැමවිටම පිරිසිදු ජලයෙන් පිසීමට පෙර ආහාර සේදීම.

හෙපටයිටිස් ඒ, රොටා වෛරස් සහ ටයිපොයිඩ් වැනි සමහර ජලයෙන් බෝවන රෝග සඳහා එන්නත් ලබා ගැනීම. එම රෝග අවදානම ඉහළ කාලවලදී අවශ්‍ය නම් ඔබට සහ ඔබේ පවුලේ අයට එම එන්නත් ලබා ගත හැකිය.

වැසි සමයත් සමග ව්‍යාප්තිය ඉහළ යන මදුරුවන් මගින් බෝවන රෝග 

වැසි සමයේදී, මදුරුවන් සඳහා කදිම අභිජන භූමියක් සපයන පල්වෙන හෝ එක් රැස් වන ජලය සෑදීම හේතුවෙන් මදුරුවන්ගෙන් බෝවන රෝග සැලකිය යුතු ලෙස වැඩි වේ. ශ්‍රී ලංකාව වැනි නිවර්තන රටවල මෙය ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවකි.

i) ඩෙංගු උණ - දිවා කාලයේදී දෂ්ට කරන ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් නම් මදුරු වාහකයන් මගින් ඩෙංගු වෛරසය ශරීරගත වීමෙන් මෙම රෝගය සෑදේ. මෙම රෝගයේ රෝග ලක්ෂණ නම් හදිසියේ ඇතිවන තද උණ, දරුණු හිසරදය සහ ඇස් පිටුපස වේදනාව, සන්ධි සහ මාංශ පේශි වේදනාව, සමේ කැසීම, ඔක්කාරය සහ වමනය ආදියයි. ඩෙංගු රක්තපාත උණ (DHF) හෝ කම්පනය දක්වා වර්ධනය වුවහොත් මාරාන්තික විය හැකිය. එහිදී ලේ ගැලීම, අවයව අක්‍රිය වීම හා කම්පනය ඇති විය හැකිය.

ii) චිකුන්ගුන්යා උණ - මදුරු වාහකයා වන්නේ ඩෙංගු රෝගයේ මෙන් ඊඩිස් ඊජිප්ටයි සහ ඊඩිස් ඇල්බොපික්ටස් දෙවර්ගයයි. චිකුන්ගුන්යා නමැති වෛරසයක් මගින් වැළඳේ. අධික උණ, දරුණු සන්ධි වේදනාව (සති හෝ මාස ගණනක් පැවතිය හැක), කැසීම්, හිසරදය හා තෙහෙට්ටුව ආදි රෝග ලක්ෂණ දැකිය හැකිය. ඉතා කලාතුරකින් මාරාන්තික වේ ඉතා දිගු කලක් පවතින සන්ධි වේදනාව රෝගියා පීඩාවට පත් කරයි.

ජැපනීස් එන්සෙෆලයිටිස් හෙවත් මොළේ උණ - කියුලෙක්ස් මදුරුවන් (විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල) මගින් ව්‍යාප්ත වන ජැපනීස් එන්සෙෆලයිටිස් වෛරසය මගින් මෙම රෝගය සෑදේ. එහි රෝග ලක්ෂණ නම් උණ, හිසරදය, වමනය, වලිප්පුව සහ කෝමා (දරුණු අවස්ථාවන්හිදී) ආදියයි. මොළයේ ප්‍රදාහය හෙවත් ඉදිමීම, ස්ථිර ස්නායු හානි හෝ මරණය ආදිය මෙම රෝගයේ සංකූලතා අතර වේ.

මදුරුවන් මගින් බෝවන රෝග වැළැක්වීමට ගත හැකි ක්‍රියා මාර්ග

එකතැන පල්වෙන හෝ එකරැස්වන ජලය ඉවත් කිරීම (හිස් බහාලුම් හා පොලිතීන් ක්ෂේත්‍රයෙන් ඉවත් කිරීම, කාණු හා වැහිපීලි පිරිසිදු කිරීම, ජල ටැංකි ආවරණය කිරීම)

මදුරු දැල් සහ තිර භාවිතා කිරීම (විශේෂයෙන් නිදා සිටින විට)

ආරක්ෂිත ඇඳුම් පැළඳුම් භාවිතය (දෂ්ට කිරීම් අඩු කිරීම සඳහා දිගු අත් සහ කලිසම්)

මදුරු විකර්ෂක භාවිතා කිරීම (සම සහ ඇඳුම් මත මදුරු විකර්ෂක යොදන්න)

මදුරුවන් සහ කීටයන් ඉවත් කිරීම සඳහා දුම් ගැසීම (රජය/ ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරිය විසින් මෙම පියවර ගනු ලබයි)

ජැපනීස් එන්සෙෆලයිටිස් වැනි රෝග සඳහා එන්නත් කිරීම

වැසි සමයේදී සෘතුමය වෛරස් උණ (Seasonal flu) ව්‍යාප්තිය ඉහළ යාම සිදුවන්නේ කෙසේද?

වැසි සමය බොහෝ විට වෛරස් ආසාදන වැඩි වීමට හේතු වන අතර එය සාමාන්‍යයෙන් සෘතුමය වෛරස් උණ ලෙස හැඳින් වේ. මේවා සාමාන්‍යයෙන් ඇති වන්නේ සිසිල්, තෙතමනය සහිත සහ අපිරිසිදු තත්වයන් තුළ වර්ධනය වන වෛරස් මගිනි. මේවා ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපීය රටවල මෝසම් මාසවලදී බහුලව දක්නට ලැබේ.

i) ඉන්ෆ්ලුවෙන්සා උණ - ඉන්ෆ්ලුවෙන්සා වෛරසය (A, B, C වර්ග) මගින් සෑදෙන අතර කැස්ස/කිවිසුම් යාමෙන් වාතයට පිටවන කෙළ බිඳිති රෝගය ව්‍යාප්ත වේ. මෙහි රෝග ලක්ෂණ නම් සෙම්ප්‍රතිශ්‍යාව සමඟ උණ, උගුරේ අමාරුව, කැස්ස, නාසය සිරවීම, ඇඟපත වේදනාව හා තෙහෙට්ටුව ආදියයි. වැඩිහිටියන්, දරුවන් හෝ දුර්වල ප්‍රතිශක්තියක් ඇති පුද්ගලයින් තුළ රෝග ලක්ෂණ උග්‍ර වී නියුමෝනියාව වැනි සංකූලතා ඇති විය හැකිය.

රෙස් පිරේටරි සින් සිටියල් වෛරස් (RSV) උණ - ළදරුවන් සහ කුඩා දරුවන් අතර බහුලව දක්නට ලැබෙන අතර උණ, නාසයෙන් දියර ගැලීම, කැs සහ හුස්ම ගැනීමේ අපහසුතා ආදී රෝග ලක්ෂණ ඇති වේ. රෝගය උත්සන්න වුව හොත් නියුමෝනියාව හෝ බ්‍රොන්කියෝලයිටීස් වැනි සංකූලතා ඇති වීමේ අවදානමක් ඇත.

කොවිඩ් 19 රෝගය - ආසාදිත පුද්ගලයෙකුගෙන් වාතයට පිටවන කෙළ බිඳිති මගින් රෝගය ව්‍යාප්ත වේ. උණ, කැස්ස, සුවඳ / රසය නැති වීම, හුස්ම ගැනීමේ අපහසුතාව හා පෙණහලු ආසාදනය වීම වැනි ලක්ෂණ ඇති වේ. වැඩිහිටියන්ට හා නිදන්ගත රෝග ඇති අයට දරුණු රෝගී තත්ත්ව ඇති කරයි

මීට අමතරව ඉහත සඳහන් කළ ඩෙංගු උණ හා චිකුන්ගුන්යා උණ වැසි සමයත් සමග ව්‍යාප්ත වන ප්‍රධානතම වෛරස් රෝග වේ. තවද සරම්ප, කම්මුල්ගාය, පැපොල, අත් පා හා මුඛ රෝගය හා සිකා වෛරස් රෝගය ආදියද වැසි සමයේ වසංගත තත්ත්වයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතී.

වෛරස් උණ බෝවීම හා පැතිරීම පාලනය කිරීමට ගත හැකි ක්‍රියා මාර්ග 

වෛරස් උණ බහුල කාල වලදී හා වැඩිපුර මිනිසුන් ගැවසෙන ස්ථාන වලට යාමේදී මුඛ ආවරණ පැළඳීම.

සැමවිටම ජලය උණුකර නිවා පෙරා බීමට ගැනීම.

ආහාර වසා තැබීම සබන් යොදා නිතර අත් සේදීම

ප්‍රමාණවත් විවේකයක් ලබා ගැනීම (ප්‍රති ශක්තිය ඉහළ නංවයි)

විෂබීජ නාශක භාවිතා කර ගෙබිම මතුපිට විෂබීජහරණය කිරීම (අවකාශයන්හි වෛරස් පැතිරීම නවත්වයි.)

නිවසේදී පිසූ, උණුසුම් ආහාර අනුභව කිරීම හා දූෂිත වීදි ආහාර වලින් වැළකීම.

මදුරුවන් බෝවීම පාලනය කිරීම (ඩෙංගු / චිකුන්ගුන්යා අවදානම අඩු කරයි)

සමහර වෛරස් රෝග සඳහා ඇති ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා ගැනීම (උදා -රොටා වෛරස් එන්නත, ඉන්ෆුලුවන්සා එන්නත, කොවිඩ් 19 එන්නත සහ හෙපටයිටිස් A එන්නත)

වකුගඩු රෝග හා ප්‍රතිශක්ති ඌණතා රෝග වැනි නිදන්ගත රෝග වලින් පෙළෙන අය ඖෂධ නියමිත ආකාරයට ගෙන එම රෝග පාලනය කර ගැනීම   වර්ෂාවත් සමග සම ආශ්‍රිත දිලීර ආසාදන ඉහළ යාම සිදුවේද?

වර්ෂාව අතරතුර සහ පසුව පවතින තෙතමනය සහිත තත්ත්වයන් හේතුවෙන් සම මත දිලීර වර්ධනයට අනුබල දෙයි. එහිදී ඉකිළි, කිහිලි, ඇඟිලිකරු පතුල හා නියපොතු ආශ්‍රිතව මෙම ආසාදන සුලභ වේ. තෙන් තත්වයන්ට දිගු කලක් නිරාවරණය වීමෙන් පාද දියමිටියන් කෑම, මුදු ආකාර පණු කැවිලි හෝ සමේ කුෂ්ඨ වැනි දිලීර ආසාදන ඇති විය හැක. රෝග ලක්ෂණ අතර කැසීම, රතු පැහැය, බිබිලි සහ සම ගැලවී යාම ප්‍රමුඛ වේ.

සම ආශ්‍රිත දිලීර ආසාදන වැළැක්වීමට ගත හැකි  ක්‍රියා මාර්ග                                                                 ස්නානයෙන් හෝ සේදීම් කටයුතු වලින් පසු සම වියළිව තබා ගැනීම.

නීතිපතා ඇඳුම් මාරු කිරීම හා සෝදා පිරිසිද කර හොඳින් වියළා ගත් ඇඳුම් ඇඳීම (වැසි දිනවල ඇඳුම් වියළා ගැනීම අපහසු විට ස්ත්‍රික්කයක් භාවිතයෙන් හෝ වියළා ගැනීම).

ඇඳුම්, තුවා, සබන් හා ඇඳ රෙදි පෞද්ගලිකව පරිහරණය කිරීම.

වැසි/ මඩ සහිත ජලය ස්පර්ශ වූ පාද පිරිසිදු ජලයෙන් හොඳින් සෝදා වියළා ගැනීම

හා එවැනි ස්ථාන වලට යාමේදී ජල ප්‍රතිරෝධී පාවහන් (උදා - බූට් සපත්තු) පැළඳීම.

අවශ්‍ය විට දිලීර නාශක ක්‍රීම් භාවිතා කිරීම හා වෛද්‍ය උපදෙස් පැතීම.

  සටහන - පියුමිකා වීරසූරිය