රටම දිනු ජෝතිමත් “ජෝති”තඹුත්තේගම ගතකළ දිවියේ ඇත්ත කතාව


      

ජෝති මහත්තයා ලන්ඩන් ගිහින් තඹුත්තේගමට ආවේ ගමේ අයට තෑගිත් අරගෙන

 

එයා කොල පාට කාර් එකෙන් ගම්මැද්ද පාරෙන් එන හැටි තාමත් මැවිලා පේනවා

 

ජෝති මහත්තයා බලන්න ඕන හින්දම තඹුත්තේගමින් කසාදයකුත් කරගත්තා

 

ඒ කාලේ මේ පැත්තටම රූපවාහිනියක් තිබ්බේ ජෝති මහත්තයාගේ ගෙදර විතරයි

 

ගමේ හැමෝම හවසට එහේ යනවා රූපවාහිනි බලන්න

 

ජෝති මහත්තයා ගමේ ඉගෙන ගන්න ළමයින්ට හරියට උදව් කෙරුවා

 

එයා මැරුණ කියන ආරංචියට මුළු ගමම ඇඬුවා

 

අපි ජෝති මහත්තයා සිහිකරලා පිං දීලා දානයක් දෙනවා

තවත් “ජෝති” සැමරුමක් එළිපත්තට පැමිණ තිබේ. ඔහුගේ ගේ රූපකාය අපෙන් ඈතට ගොස් තව දින දෙකකින් වසර 39 ක් සපිරෙයි. ගායනවේදී එච්. ආර්. ජෝතිපාල යනු කවරෙක්දැයි කාටවත් අමුතුවෙන් හඳුන්වා දියයුතු නොවේ. ඔහු මිය ගොස් දශක හතරක් ගත වුවද, තවමත් මෙරට සංස්කෘතික සමාජයේ ජනප්‍රියම ගායකයා ඔහුය. සහජයෙන් ලද අසමසම ප්‍රතිභාවකින් යුතු වු ජෝති රසවතෙක් සේම සැබෑ මානව දයාවෙන් සපිරි මිනිසෙක් ද විය. එහෙයින්ම ඔහු “හදවත රත්තරන් ජෝති” නම් විය. අගනුවර උපන් ජෝති එහිම සිය දිවියේ වැඩි කාලයක් ගත කළේය. වසර පනස් එකක් වැනි ඔහුගේ කෙටි දිවිසැරියේ යම් කාලයක් වැව්බැඳි රටේ මහවැලියේ ඈත ගම්මැද්දක ගත කළ බව වැඩිදෙනෙකු නොදන්නා කතාවකි.

 

සිය මධුර මනෝහර හඬින් රටක් වසඟ කළ ජෝති රජරට වැව් සුළගට, වෙල් ඉහත්තාවට, ගුරු පාරට පෙම්බැඳ ඇත්තේ දෛවෝපගත ලෙසය. තඹුත්තේගම නගරයට කිලෝ මීටර් දෙක තුනක් ඔබ්බෙන් පිහිටි පහළගම, “කුඩා බිලිබෑව” ගමේ වසර කිහිපයක් ජීවත්ව ඇති ජෝති මෙහි ගැමියන්ගේ මතක මාත්‍රා අතර තවමත් සොඳුරු සටහනකි. එය ජෝතිගේ ජීවිතයේ තවත් කාල පරිච්ඡේදයකි. තවමත් ඔහුගේ සැබෑම ජීවන චර්යාවන් පිළිබදව මෙහි ගැමියන් තුළ ඇත්තේ නොකළැල් හැඟීමකි. අදටත් ජෝති හා කල්ගෙවු ගැමියෝ මෙහි දුලභ නොවෙති. මේ ඔවුන් සොයාගිය ගමනක සටහන්ය.

 

කුඩා බිලිබෑව ගමේ එච්.එස්. අමරරත්න ජෝති එහි වෙසෙන විට හොඳ ගැටවර වයසේ පසුවු අයෙකි. කිසිවෙකු වැඩි යමක් නොදන්නා කතාවක රසමුසු ඇති තතු ඔහු අප හා පැවසුවේය.

 

“ජෝතිපාල මහත්තයා උස, මහත හරි ලස්සන මනුස්සයනේ. ඉතිං එයා මේ ගම්මැද්දකට ඇවිල්ලා ජීවත් වෙනවා කිව්වහම හරි පුදුමයක් වුණා අපිට ඒ කාලේ. මට මතක විදිහට අසුතුන අවුරුද්දේ විතර ඇවිල්ලා එයා මැරෙන්න කිට්ටුවට එනකන්ම වගේ මෙහේ හිටියා. එක දිගට හිටියේ නෑ. මුල් කාලේ සෑහෙන කාලයක් එක දිගට වගේ මෙහේ හිටියා. පස්සේ මාසෙකට විතර සැරයක් ආවහම සතියක් විතර ඉඳලා යනවා. එයාගේ උදව්වට සෙනෙවි කියලා කෙනෙක් හිටියා. ඒ කාලේ මේ ගම්මැදි හරි කැලෑව. ගුරු පාරවල් තමයි හැම අතේම තිබ්බේ. මට මතකයි ජෝතිපාල මහත්තයාට තිබ්බේ කොල පාට කාර් එකක්. ඔය කාර් එකෙන් ගම්මැද්දේ ගුරු පාරේ එයා එනවා තාමත් මට මැවිලා පේනවා වගේ.”

ප්‍රේමයේ සුඛ මෙන්ම දුක්ඛ දෝමනස්සයන් ද සිය ගීතයේ ආත්මය කොටගත් ජෝති නොයෙක් තරාතිරමේ අපමණ රසික හදවත් අමන්දානන්දයට පත්කළ ගායනවේදියාය. මියෙන තුරුම ඒ කිරුළ ඔහු හැර නොගියේ ජෝතිගේ මධුර මනෝහර හඩට පිං සිදුවන්නටය. ඉතා සරල, සැහැල්ලු‍ දිවි පෙවෙතක් ගත කළ ජෝති සැබෑම රසවතෙක් වු වගට ඔහුගේ තඹුත්තේගම ආගමනයත් මනාව දෙස් දෙයි.

 

මෙහි වසන තවත් ගැමියෙකු වන ගුණරත්න තෙන්නකෝන් මහත්තයාට  ජෝති පිළිබඳව ඇත්තේ ගෞරවාන්විත හැඟීමකි. එය කොතරම්ද යත් ජෝති නිසාම කුඩබිලිබෑව ගමෙන් විවාහයක් කරගැනීමට තරම් පිටගංකාරයෙකු වු ඔහු යොමු වී තිබේ. මේ අපුර්ව සහ රසවත් අතීතය ඔහු අප හා කීවේය.

 

“ඇත්තම කිව්වොත් මං කුඩා බිලිබෑව ගමේ කෙනෙක් නෙමෙයි. ඒත් මෙහෙට ජෝතිපාල මහත්තයා ඇවිල්ලා ඉන්නවා කියන ආරංචියට මං මෙහෙට ආවා එයාව බලන්න. මට කොච්චර බැලු‍වත්, කතා කෙරුවත් ඇතිවීමක් නෑ. අවසානේ මම මේ ගමෙන් කසාදයක් කරගත්තා. ඒක සිද්ධ වුණෙත් ජෝතිපාල මහත්තයා බලන්ඩ ආපු නිසා. මට මතකයි එයාගේ කාර් එකේ ඒ කාලේ එයා නිෂ්පාදනය කරපු සුමිතුරෝ චිත්‍රපටයේ ස්ටිකර් එහෙම ගහලා තිබ්බා. ජෝති මහත්තයා කවුරුත් දන්න ලන්ඩන් ප්‍රසංගෙට එහෙම ගිහිල්ලා මෙහෙට ආවේ ගමේ අයට තෑගිත් අරගෙන. අනුරාධපුරේ, පණ්ඩුලගම තිබ්බ ගම්උදාව උත්සවේට සින්දු කියන්ඩ ගියෙත් මෙහෙ ඉඳලා. අනේ සිංදුවක් කියන්ඩකෝ ජෝති මහත්තයා කියලා කිව්වහම ඕන් මම කියපු සින්දු ඕන තරමක් මේකේ තියෙනවා ගිහින් අහන්න කියලා කැසට් පටියක් දෙනවා. නැත්නං කැසට් එක දාලා දෙනවා.  හරිම හිත හොඳ මනුස්සයා. කිසිම ආඩම්බරකමක් නෑ.”

මෙරට ජනප්‍රිය සිනමා ගායන ආලකමන්දාවේ කිරුළු පළන් ජෝතිමත් ජෝති අදත් මෙරට සංස්කෘතික සමාජයේ ද විචිත්‍රවත් මතකයකි. දශක තුනක් සුවහසක් සිනමා ලෝලී හදවත් ආලෝලනය කළද මෙරට ගුරුකුල වල සමහර ප්‍රබුද්ධයින්ට ජෝති මියෙන තෙක්ම ඔහු දෙවන පෙළ ගායකයෙක් පමණක්ම විය. එහෙත් අකල් මරණය ඇවෑමෙන් ආචාර්ය සරත් අමුණුගම හැදින්වුයේ ජෝතිගේ නික්මීම සංස්කෘතික බල කණුවක බිඳවැටීමක් ලෙසය. එය මරණයෙන් මතු ජෝති ලැබු විසල් උපහාර ඇගයීමක්ම විය. ආරෝහ පරිනාහ දේහ විලාශය ඉක්මවා ගිය උතුම් මිනිස්කමකින් හෙබි කලාකරුවෙකු ලෙස ජෝති රට පතල වුයේ ඕපපාතිකව නොවන වගට මේ ගැමියෝද නොමද සාක්ෂියකි. ජෝති සිටි අවදියේ කුඩාබිලිබෑවට දීග පැමිණ ඇති ශ්‍රියාණි සිරියලතා නම්වූ තැනැත්තිය ඔහු පිළිබඳව පැවසුවේ මෙවැනි අපුරු කතාවකි.

 

“ජෝති මහත්තයා ළමයින්ට හරි ආදරෙයි. මේ ගමේ හිටපු ඉගෙනගන්න අමාරුකම් තිබ්බ ළමයින්ට එයා හරියට උදව් කෙරුවා. මේ ගමේ ඉස්සර තිබ්බේ මැටි ගහපු, පොල් අතු වහපු ගෙවල්. ඇත්තටම ජෝතිපාල මහත්තයා හිටියෙත් එහෙම ගේක. හැබැයි ගේ ටිකක් ලොකුයි. කෑලි දෙකකට වෙන්න ගේ හදලා තිබ්බේ. ඉස්සර ඒ ගේ ඉස්සරහා ලොකු පලු‍ ගහක් තිබ්බා. මේ ලඟදී ඒ ගහ කැපුවේ. ඔය ගහ යට බුරු ඇඳක් දාගෙන  ජෝතිපාල මහත්තයා නිදාගෙන ඉන්නවා, නැත්නම් ඉඳගෙන ඉන්නවා අපි කොච්චරවත් දැකලා තියෙනවා. ඉස්සර මේ ගං තුලානටම රූපවාහිනියක් තිබ්බේ ජෝතිපාල මහත්තයාගේ ගෙදර විතරයි. ඉතිං හැමදාම හවසට තියෙන වැඩපොළ ඉක්මනට ඉවර කරලා රූපවාහිනි බලන්ට එහෙට යනවා. ලොකු සෙනඟක් සවසට එනවා එහෙට. ඒ එන හැමෝටම තේ එහෙම දීලා සංග්‍රහ කරනවා. පුදුම කාලයක් ඒක.”

 

“ජෝතිපාල මහත්තයා මැරුණා කිව්වහම පපුව පිච්චිලා ගියා. මරණෙට යාගන්න බැරිව අපි හරි දුකෙන් හිටියේ. එදා මුළු ගමම හඬපු දවසක්.”

ගීතයෙන් විප්ලව නොකල ද ජෝති සැබැවින්ම ජනතාවාදී ගායකයෙකු විය. ඔහුම පැවසු පරිදි ජෝති ගීත ගයනු ලදුයේ පොඩි මිනිසුන් උදෙසාය. එහෙයින්ම ඇත්ත මහ පොළොව හා බැඳුණු ජීවිතයක් ඔහු ගත කළේය. තඹුත්තේගම ගෙවුණු කාලයේ දී මහවැලියෙන් ලද කුඹුරක ජෝති වී වැපිරූ බව දන්නේ ඉතා ස්වල්පදෙනෙකි. සමහර විට කිසිවෙකු ඒ වග දන්නේ මේ ගැමියන්ම පමණක් විය හැකිය. එහෙයින්ම ජෝති නික්ම ගොස් වසර හතළිහේ කඩඉමට පැමිණියද මේ ගැමියනට ඔහු පිළිබඳ මතකය අද ඊයේ මෙනි. කුඩාබිලිබෑවේ යු.ජී. රාජරත්න නමැති අය ඒ වග සිහිපත් කරලු‍යේ මෙපරිද්දෙනි.

 

“ජෝති මහත්තයාට අක්කර පහක මහවැලි කුඹුරු තිබ්බා මෙහේ. ඔය අංගමුව වැව පාමුලට වෙන්න තමයි කුඹුරු තිබ්බේ. කට්ටිය දම්මලා ඒ කුඹුරු වැඩ කෙරෙව්වා. ජෝති මහත්තයාත් ඒ කුඹුරු වලට යනවා අපි දැකලා තියෙනවා. හැමෝම එක්ක හරි විනෝදෙන් හිටපු මනුස්සයෙක් එයා. හිතේ කිසිම කහටක් නෑ. අපි හැමෝටම බං බොලං කියලා කතා කරලා හිටියේ. මෙහේ හිටපු කාලේ ජෝති මහත්තයාගේ ජීවිතේ වෙනම කාලයක්. අපිත් මොකක් හරි පිනක් කරලා තියෙන්ඩ ඇති රටම ආදරේ කරන මනුස්සයෙක් එක්ක අවුරුදු දෙක තුනක් හරි එකට ජීවත් වෙන්න. ජෝති මහත්තයා හිටපු ඉඩමේ එයා හිටවපු පොල් ගස්වල අපි දැන් පොල් කඩනවා. ඒ වගේ තමයි තව අවුරුදු සීයක් ගියත් එයා මැරෙන්නේ නෑ.”

1936 වසරේ පෙබරවාරි මස 12 වැනි දින එච්.ආර්. ජෝතිපාල උපත ලැබුවේ සහෝදර සහෝදරියන් හයදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ලෙසය. මරදානේ ශාන්ත ලෝරන්ස් විද්‍යාලයෙන් අධ්‍යපනය ලැබු ජෝතිගේ ළමාවිය නොයෙක් ආර්ථික දුෂ්කරතා හමුවේ ගෙවුණු ඉතා කටුක එකක් බව ඔහුගේ සමීප හිතෛෂිවන්තයින්ට රහසක් නොවේ. පාසල් අවදියේ සිටම ජෝතිගේ හිත බැඳුණේ ගීතය, සංගීතය කෙරෙහිය. නිවසේ ගුවන්විදුලි යන්ත්‍රයක් නොතිබුණු හෙයින් කුඩා අවදියේ දී ජෝති ගීත ඇසීම සඳහා අසල තේ කඩයකට යාම පුරුද්දක් කොටගෙන තිබිණි. සෑම දිනකම තේ කඩයට පැමිණ ගුවන්විදුලියේ ප්‍රචාරය වන ගීත වලට උරුවම් බාමින්, බංකුවට තට්ටු කරමින් තාලය අල්ලන කොලු‍ ගැටයා පසුකාලීනව මෙරට සිනමාවේ මහා ගායනවේදීයා වේ යැයි එවක කිසිවෙකු සිහිනෙන් හෝ සිතන්නට නැත.

අදත් මෙරට අතෝරක් ගුවන්විදුලි නාලිකා ඔස්සේ සෑම දිනකම ගීතයක් ප්‍රචාරය වීමට තරම් ජෝතිගේ වටිනාකම සර්වකාලීන වී තිබේ. මේ නුතන, ආත්මාර්ථකාමි සමාජ සංදර්භය තුළ ද එය එලෙසම සුරක්ෂා වී තිබීම පුදුම එලවන සුලු‍ය. තඹුත්තේගම නෑ සනුහරේ ජෝති කිසිදා දැක නැති එහෙත් ඔහුට පෙම්බැදි උපාලි රත්නායක පැවසුයේ එයින් මතු කෙරෙන කටයුත්තක් ගැනය.

“අපේ මාමන්ඩිලා, නැන්දම්දලා කියන විදිහට ජෝති මහත්තයා ජීවත් වෙච්ච ගෙදර ගෙපැළ තාමත් ඉතුරු වෙලා තියෙනවා. ඉතිං මේක දකින හැම වෙලාවකම ජෝති මහත්තයා මේ ගමේ හිටියනේ කියන හැඟීම අපිට එනවා. අපි ජෝති මහත්තයා නැතිවුණ දවසට එයා සිහිකරලා, පිං පමුණුවලා දානයක් දෙනවා. ගිය අවුරුද්දේ ඉඳන් ඒ වැඩේ අපි පටන් ගත්තා.  වර්ෂයක් පාසා ඒක කරන්න තමයි අපි හිතං ඉන්නේ.”

 

සමාජයේ සෑම තරාතිරමකම මිනිසුන් කෙරෙහි ජෝති නිහතමානීව හිතවත්කම් දැක්වීය. කිසිවිටක ඔහු මුදල් පසුපස හඹා නොගියේය. සිය ජනප්‍රියත්වයෙන් හිස උදුම්මවාගත් අයෙකු ද නොවී ය. අසරණ වූ අයට

ජෝති නිර්ලෝභීව උපකාර කළේය. කලාකරුවකුට එහා ගිය ජෝති සතු නිහතමානී බව සහ මානව දයාව එයට ප්‍රබල හේතුවක් වී තිබිණි. 1987 වර්ෂයේ ජුලි 03 වැනි දින කතරගම ගම්උදා භූමියේ ගීත ගායනා කරමින් සිටියදී හදිසියේ රෝගී වී රෝහල් ගත කරනු ලදුව ජුලි මස 07 වැනිදාවක ජෝති සදහටම නික්ම ගියේය. මිනිසත් බවින් පිරිපුන් ජීවිතයක් ගත කළ ජෝති ඒ වග ප්‍රායෝගිකව පෙන්වු අවස්ථා එකක් දෙකක් නොවීය. ඔහු මේ මිහිමත ගෙවු කාලය කෙටි වුව ද මරණයෙන් මතු ජෝතී දීර්ඝකාලීන ජීවමානභාවයක් ලැබු බව සැඟවිය නොහැකි සත්‍යයයි. තඹුත්තේගම නෑසියන්ගේ මතක මාත්‍රා ඒ සදහා දෙස් දෙන තවත් එක් නිදසුනක් පමණක්මය.

සටහන හා ඡායාරූප - බුල්නෑව ප්‍රදීප් රණතුංග