පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයට රුපියල් මිලියන 135 ක අලාභයක්


‍මධ්‍යම කඳුකරය වැඩි වශයෙන් සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ අතර මහනුවර දිස්ත්‍රික්කය දිවයිනේ වැඩිම හානිය වාර්තා වූ දිස්ත්‍රික්කය විය. පේරාදණියේ පිහිටි රාජකීය උද්භිද උද්‍යානය ශ්‍රී ලංකාවේ විශාලත උද්භිද උද්‍යානය වන අතර දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇද ගත් උද්‍යානයේ තුන් පැත්තෙන් ගලා යන මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් විශාල හානියක් පේරාදෙණිය උද්භිද උද්‍යානයට ඇති විය. මහවැලි ගඟේ ජලය ගලා යාම නිසා උද්භිද උද්‍යානයේ ඇතැම් කොටස් ජලයෙන් යට වීම හේතුවෙන් විශාල අලාභයක්ද සිදු විය.

පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ඉචිහාසය ක්‍රි.ව.1371 දක්වා දිව යන බව ඉතිහාසය කියයි. තුන්වන වික්‍රමබාහු රජ තුමාගේ රාජ මාළිගාව මෙම භූමිය තුල පිහිටා තිබූ බවත් පසුව විමලධර්මසූරිය රජු විසින් විහාරස්ථානයක් ඉදි කර තිබී ඇති බවත් එම ඉතිහාසය සඳහන් කරයි. ඉංග්‍රීසින් විසින කන්ද උඩරට යටපත් කර ගැනීමෙන් පසුව මෙම විහාරස්ථානය කඩා බිද දමා තිබේ. ඉන් පසුව මෙම ස්ථානයේ උද්භිද උද්‍යානයක් ඉදි කිරීමේ බිම් සැකැස්ම සකස් කර ඇත්තේ 1821 වසරේදීය. පසුව මෙම ඉඩම 1912 දී කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා තිබේ. අක්කර 147 ක් පුරා මෙම උද්‍යානය විහිදී ගොස් තිබේ. පසුගිය නොවැම්බර් මස 28 වනදා සිදු වූ ආපදාව හේතුවෙන් රාජකීය උද්භිද උද්‍යානයට සිදුව ඇති අලාභය රුපියල් මිලියන 130 ත් රුපියල් මිලියන 135 ත් අතර වන බව රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රුවනි ගෝමස් මහත්මිය සඳහන් කරයි. රාජකීය උද්භිද උද්‍යානයට සිදුව ඇති හානිය අතර ප්‍රබලම හානිය ලෙස උද්‍යානයේ සිට ගන්නෝරුව මාර්ගය දක්වා වසර 90 කට පෙර ඉදි කර තිබූ සංගිලි පාලමට සිදුව ඇති අලාභයයි. මෙම පාලම උඩු යටිකුරු වී තිබෙන අයුරු දැකිය හැකිය.

මෙම ආපදාව හේතුවෙන් උද්භිද උද්‍යානයට සිදු වූ සමස්ත බල පෑම සහ වත්මන් තත්වය සම්බන්ධයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂිකා රුවනී ගෝමස් මහත්මිය දැක්වූ අදහස් මේ. “ රාජකීය උද්භිද උද්‍යානය තුන් පැ‌ත්තෙන්ම මහවැලි ගඟෙන් වට වෙලා තියෙන්නේ. පසුගිය නොවැම්බර් මාසයේ 28 වනදා රට පුරා ඇති වූ ජල ගැලීම් හේතුවෙන් උද්භිද උද්‍යානයත් ගංවතුරට ලක් වුණා. ඒකෙන් අපට මූලිකම හානිය වුනේ අපේ තවාන්වලට. අපේ තවාන් තියෙන්නේ ගඟ අයිනේ. උඩවැඩියා තවාන සහ එළිමහන් තවානත් එතැන තියෙනවා. අපි පැල හදන්න ගන්න රෝපණ මාධ්‍යවලට කොම්පෝස්ට් ගන්නවා. ඒ කොම්පෝස්ට් අංගණය, ඒ වගේම අපේ සංචාරක බංගලාව ආශ්‍රිතව තියෙන දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගත් සංගිලි පාලමත් තියෙනවා. මේ සංගිලි පාලමට සම්පූර්ණ වශයෙන්ම හානි සිද්ධ වෙලා තියෙනවා. සංගිලි පාලම මතට ගහක් කඩා වැටීම නිසා විශාල වශයෙන්ම හානි සිද්ධ වෙලා තියෙනවා.උද්භිද උද්‍යානයේ තුන් පැත්තෙන්ම මහවැලි ගඟට විවර වෙච්ච ප්‍රදේශයේ රොන්මඩ විශාල ප්‍රමාණයක් ඇවිත් තිබෙනවා. ඇතැම් පාරවල්වල අඩි එක හමාරක් දෙකක් විතර රොන් මඩ තැන්පත් වෙලා තියෙනවා. මේ වන විටත් ඒවා සම්පූර්ණ වශයෙන් සුද්ද පවිත්‍ර කරගෙන යමින් තියෙනවා. මේ තත්වය යටතෙත් උද්භිද උද්‍යානය එක දිනයක්වත් වැහුවේ නෑ. 28 වනදා විතරක් සංචාරකයින් ආවේ නෑ. එදා අධික වැසි පැවැති නිසා.නමුත් පසු දින සිට විදෙස් සංචාරකයින් උද්භිද උද්‍යානයට පැමිණෙනවා. විදෙස් සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන කාලයයි. විදේශීය සංචාරකයින් අදටත් උද්භිද උද්‍යානයට එනවා. මේ වන විට උද්භිද උද්‍යානයේ යම් ප්‍රමාණයක් ඔවුන්ට නැරඹීම සඳහා සකස් කරල තියෙනවා. ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ නිලධාරින් රාජකීය උද්භිද උද්‍යානයේ නිලධාරින් පරිසර අමාත්‍යාංශයේ නිලධාරින්, පරිසර අමාත්‍යාංශයට අයත් වෙනත් දෙපාර්තමේන්තුවල නිලධාරින්ගේත් සහාය ඇතිව උද්භිද උද්‍යානය පිරිසිදු කිරීම් සිදු කළා. නමුත් පැල තවාන් යථා තත්වයට පත් කිරීමට මාස හතක අටක පමණ කාලයක් ගත වෙයි. නමුත් සංගිලි පාලම අලුත්වැඩියා කරන්න ආරක්ෂිත වැටවල් හදා ගන්න අවුරුද්දක විතර කාලයක්වත් යයි.‍

මේ වෙලාවේ අපි ඇස්තමේන්තු ගත කරල තියෙනවා රුපියල් මිලියන 130 ත් 135 ත් අතර ප්‍රමාණයක අලාභයක් සිද්ධ වෙලා තියෙනව කියලා යැයිද නියෝජ‍්‍ය අධ්‍යක්ෂවරිය මෙහිදී සඳහන් කළාය. ආපදාව කෙමෙන් කෙමෙන් පහව යමින් පවතින මෙම අවස්ථාව වන විට උද්භිද උද්‍යානය නැරඹීමට දෙස් විදෙස් සංචාරකයින්ගේ පැමිණිම ක්‍රමක්‍රමයෙන් වැඩි වන අයුරුද දක්නට ලැබිණ.

මොහොමඩ් ආසික්

උද්භිදඋද්‍යානයේ  නවතම දසුන්

කැඩීගිය සංගිලි පාලම