‘රජයේ අර්බුද ඇති බව ඇමතිවරුන්ගේ ප්‍රකාශවලින් තහවුරු වෙනවා‘


(ඩයනා උදයංගනී)

වත්මන් රජය තුළ දැඩි අර්බුදයක් පවතින බව එහි ඇමතිවරුන්ගේ ප‍්‍රකාශවලින්ම පැහැදිලි වන්නේ යැයි එක්සත් ජාතික පක්‍ෂ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවසීය.
 
රාජ්‍ය ඇමතිවරුන් වන විදුර වික‍්‍රමනායක, වාසුදේව නානායක්කාර, විමලවීර දිසානායක යන රාජ්‍ය ඇමතිවරුන් මාධ්‍ය හමු පවත්වමින් තමන්ගේ දුක් ගැනවිලි කියා තිබෙන බව කී මන්ත‍්‍රීවරයා ඇතැමුන් තම ඉල්ලීම් ඉටුනොවුවහොත් ඉල්ලා අස්වන බව පවා කියා තිබෙන බව ද පැවසීය.
 
19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සියයට සියයක් සර්ව සම්පූර්ණ සාධාරණ එකක් නොවන බව තමන් පිළිගන්නා බව කී මන්ත‍්‍රීවරයා එසේ වුවත් එයින් රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය තහවුරු වූ බව   සඳහන් කළේය.
 
පසුගිය රජය දින 100 ආණ්ඩුව තුළ ජනතාවට සහන රැසක් ලබාදුන් බව කී මන්ත‍්‍රීවරයා වත්මන් රජය බලයට පත්වී දින 58ක් ගතව ඇතත් ජනතාවට කිසිවක් ලැබී නැතැයි ද කීවේය.
 
හඬ පට පෙන්වමින් ජනතා ප‍්‍රශ්න අමතක කරවීමට රජය උත්සාහ ගන්නා බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.
 
කාවින්ද ජයවර්ධන මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූප -ශාන්ත රත්නායක)