‘දකුණු පළාත් සභාව සම්ප්‍රදායට පටහැනිව කටයුතු කළා‘


(අමල් වික්‍රමරත්න)

දකුණු පළාත් සභාව අද කටයුතු කළේ සම්ප්‍රදායට පටහැනිව බලහත්කාරකමින් බවත් දකුණේ ආණ්ඩුකාරවරයා බලහත්කාරකම්වලට යටවෙන ආණ්ඩුකාරවරයකු නොවන බවත් දකුණු පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර මහතා පවසයි.

“20 වැනි සංශෝධනය අද දින සාකච්ඡාවට නොගන්නා ලෙස  ඉල්ලම්න් මා විසින් දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට සහ ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක් යවමින් ඉල්ලා සිටියා .ඒ 20 වැනි සංශෝදනයට ඉදිරිපත් කළ යෝජනාවලට තවත් සංශෝධන කිහිපයක් එක්කිරීමට  නියමිත බව අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මට දැන්වූ නිසා.“

“එම සංශෝධන  පාර්ලිමේන්තුවෙන් සම්මත කර නැවත අපිට දන්වන බවත් සැප්තැම්බර් 12 වැනිදා මෙම යෝජනාව ගැන අවශ්‍ය කටයුතු කිරීමට සුදානම් වන ලෙසත් අද දින එය විවාදයට නොගන්නා ලෙසත් මා වෙත දැනුම් දී තිබූණා.මම ඒ පිළිබඳ දකුණු පළාත් සභාවේ සභාපතිවරයාට සහ ප්‍රධාන අමාත්‍යවරයාට පිටපතක් යවමින් දැනුම් දුන්නා.“

“එත් අද පළාත් සභා සභාපතිවරයා එම දැනුම්දීම පිළිඅරගෙන නැහැ.සබරගමුව පළාත් සභාවේ සභාපති වරයා සහ එම පළාත් සභිකයින් එම කාරණය පිළිඅරගෙන සභා නීති රීතිවලට අවනත වෙමින් එය පිළිපැද තිබුනා. නමුත් දකුණු පළාත් සභාවේ අද සිදුවුණේ වෙනත් දෙයක්.“