(මනෝප්‍රිය ගුණසේකර)
ශ්‍රී ලංකාව අවට මුහුදේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම ඇතුළු චෝදනා 7573ක් යටතේ නීතිපතිවරයා විසින් ඇවන්ට්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුලු විත්තිකරුවන් 13දෙනෙකුට එරෙහි නඩුවට ඉදිරිපත් වූ මූලික විරෝධතාවක් සැලකිල්ලට ගනිමින් එම නඩුවේ චෝදනා 19ක් හැර සෙසු චෝදනා පවත්වාගෙනයාමට නොහැකි බවට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීරණය කළේය.
ඒ අනුව එම නඩුවෙන් චෝදනා ලැබ සිටි රක්නා ලංකා සමාගම, ඇවන්ට්ගාඩ් සමාගම, පාලිත ප්‍රනාන්දු මහතා, එගොඩවෙල මහතා, සුජාතා දමයන්ති ජයරත්න මහත්මිය නමැති විත්තිකරුවන් 5දෙනා සියලුම චෝදනාවලින් නිදහස් කළ විනිසුරු මඬුල්ල සෙසු විත්තිකරුවන් 8දෙනාට එරෙහි නඩුව ලබන පෙබරවාරි 10 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළේය.
එමෙන්ම මෙම සිද්ධියට අදාල මාස තුන හමාරක කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වූ ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා රුපියල් ලක්ෂ 5 මුදල් හා රුපියල් ලක්ෂ 25 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදාහැරීමට නියම කළේය.
මෙලෙස නියම කරන ලද්දේ ධම්මික ගනේපොළ, සභාපති මංජුල තිලකරත්න සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසිනි.