හැරී පෝටර් ලියා බිලියනපතියක වූ ජේ කේ රෝලින්ගේ කතාව


  • හැරී පෝටර් 1997 සිට 2007 දක්වා කාලයේදී වෙළුම් හතක් ප්‍රකාශයට පත්වූ අතර මිලියන 500 ක් පිටපත් අලෙවි විය.
  • හැරී පෝටර් භාෂා 70 කට පරිවර්තනය වී ප්‍රකාශයට පත් කර ඇත.
  • රොබර්ට් ගැල්බ්‍රේක් නමින් ඇය අපරාධ කතා මාලාවක් ද ලියා ඇත.

 

වාර්තාවල සඳහන් වන පරිදි ලෝකයේ පොහොසත්ම ලේඛිකාව වන්නේ එලිසබත් බැඩින්ටර්ය. ඇය ප්‍රංශ ජාතික කාන්තාවකි. ස්ත්‍රීවාදීත්වය හෙවත් කාන්තා අයිතීන් උදෙසා ප්‍රබල මතයක් ගොඩ නැගූ ද‌ාර්ශනික චරිතයක් මෙන්ම ප්‍රබුද්ධ කාන්තාවක ලෙස සැලකේ. ස්ත්‍රීවාදීත්වය මෙන්ම කාන්තා අයිතීන් උදෙසා ඇය සටන් කළේ දේශපාලන හෝ සමාජ ක්‍රියාකාරකම් ඔස්සේ නොව, ඇයගේ ලිවීම ඔස්සේය. ඒ ලියැවිල්ල, ඒ කියැවිල්ල හරහා එනම් ඇයගේ ලිවීම හරහා අඩසියවසකට ආසන්න කාලයක් පුරා ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ මාතෘත්වය පිළිබඳව පුළුල් ලෙස අදහස් සමාජගත කළ කාන්තාවකි. වාර්තාවල සඳහන් වන පරිදි ඇය සහ ඇයගේ පවුලේ වත්කම ඩොලර් බිලියන 1.6 ක් පමණ වේ. නමුදු අද අප කරුණු ගෙන ඒමට සූදානම් වන්නේ මෙම එලිසබත් බැඩින්ටර් ගැන නම් නොවේ. 

‘හැරී පෝටර්’ නිසා ලෝකයේම 
ජනප්‍රිය වූ ජේ.කේ. 
රෝලින් කවුද?

 

ජාඈන් රෝලින් උපත ලැබුවේ 1965 ජූලි 31 වැනිදා ග්ලෝෂ්ටර්යර්හි යේට් නගරයේදීය.   
මම උපන්නේ මධ්‍යම පාන්තික පවුලකට අයත්ව, මගේ මවගේ නම ඈන්. තාත්තගෙ නම පීටර් නොහොත් පීට් ජේම්ස් රෝලින්. අම්මා මුලින්ම සේවය කළේ බ්‍රිතාන්‍ය රාජකීය නාවුක හමුදාවේ කාන්තා අංශයේ, තාත්තා සේවය කළේ බ්‍රිතාන්‍ය රාජකීය නාවුක හමුදාවේ. අපේ සීයාට එනම් තාත්තාගේ පියාට එකල මැෂින් සෑදීමේ ව්‍යාපාරයක් සහ පසුව සිල්ලර වෙළඳාම් සැලක් තිබිලා තියෙනවා. අපේ අම්මයි තාත්තයි මුලින්ම මුණගැසිලා තිබුණෙ කිංග්ස් ක්‍රොස් ස්ටේෂන් එකේදී. 1965 මාර්තු 14 වැනිදා එයාලා විවාහ වන විට දෙදෙනා පසුවූයේ වයස අවුරුදු 19 දී කියලා අම්මා මට කියලා තියෙනවා. මේ තරුණ යුවළ පදිංචියට ‘යේට්’ නගරයට ආවලු. පසුව තාත්තා වරලත් ඉංජිනේරුවරයකු ලෙස රෝල්ස් රොයිස් කම්පැණි එකේ සේවය කළ අතර අම්මා විද්‍යා අංශයේ තාක්ෂණික නිලධාරිනියක ලෙස සේවය කර තිබෙනවා. හැබැයි දෙදෙනාටම උපාධි නම් නැහැ. මට ඉන්නේ මට වඩා වයස අවුරුදු දෙකක් බාල නැගණියක්. ඇයගේ නම ඩියෑන්.’ 

 
මෙසේ පවසන ජොඈන් රෝලින් පාසල් ජීවිතය පටන් ගත්තේ වයස අවුරුදු 5 දී පමණය. එකල ඇය ජීවත් වූ නිවෙස අසල පවුලක් සිටියහ. ඔවුනගේ පෙළපත් නාමය වූයේ පෝටර් (Potter) ය. කුඩා ජොඈන් ඒ නමට බෙහෙවින් ප්‍රිය කළාය. ජොඈන්ගේ මව ඈන් කියවීමට බෙහෙවින් රිසි තැනැත්තියක වූ බැවින්, ඔවුනගේ නිවස පොත්වලින් පිරී තිබිණි. දිනෙක පියා වූ පීට් දියණියන් දෙදෙනා ළංකරගෙන පොතක් කියවමින් සිටියේය. ද වින්ඩ් ඉන් ද විෂෝස් (විලෝ ගස් අතරින් හමා එන සුළඟ) එහි නම වීය. රිචඩ් ස්කේරිගේ පොත් ගෙනැවිත් දුන් මව, තම දියණියන් හට වනසතුන් ගැන බොහෝ දේ කියා දුන්නාය. ජොඈන් රෝලින් හට වයස අවුරුදු 9 සපිරී තිබිණි. මව්පියන් විසින් ටුට්ෂිල් පළාතේ ඓතිහාසික දේවස්ථානයට අයත් ගෘහ මිලදී ගැනීමත් සමග එම කලාත්මක නිවසේ පදිංචියට රෝලින් පවුල ගියහ. එහි පදිංචියට යාමට පෙර මේ කුඩා දැරිවිය පොතක් ලිවීමට උත්සාහ ගත්තේ වයස අවුරුදු 6 දී පමණය. 

‘රැබිට්’ යනුවෙන් ඊට නම් තබා තිබිණි. පාසලේදී අංක ගණිතයට එතරම් දක්ෂතා නොදැක්වූ ශිෂ්‍යාවක වූ ඇයගේ සිත බැඳී තිබුණේ සාහිත්‍ය කලාව හා පොත පත වෙනුවෙනි. වයස අවුරුදු 12 දී පමණ ශාපලත් දියමන්ති පොත (The Seven Cursed Diamonds) පොත ලිව්වාය. මෙලෙසින් ජීවිතය ගෙවමින් සිටි ඇය, ද්විතියික සහ සරසවි අධ්‍යාපනය නිම කළාය. ඒ හිස් අතින් නොවේය. කුතුහලය සහ විවිධ අභිරහස් තේමා රැගත් දේ ලිවීමට ප්‍රයන්ත ගනිමිනි. ඇයගේ ලිවීමේ කලාව වෙනුවන් මවගෙන් සහ නැගණියගෙන් ලැබුණේ ලොකු අත්වැලකි. ලේඛිකාවක වීමේ අරමුණ ඇතිව ඇය ප්‍රංශ භාෂාව ද ප්‍රගුණ කළාය. 
උසස් පෙළට ජර්මන්, ඉංග්‍රීසි යන භාෂා සඳහා ඒ සමාර්ථ දෙකක් සහ බී සාමාර්ථයක් ලබා සිටි ඇය ඔක්ස්ෆර්ඩ් සරසවියට යාමට උත්සාහ ගත්තද එය ව්‍යවර්ථ වී තිබේ. කෙසේ නමුත් ඇය උපාධිධාරිනියක වූයේ 1987 දීය. සරසවි ජීවිතයෙන් පසුව ජොඈන් රෝලින්, තම මිතුරියන් සමග මහල් නිවසක පදිංචියට ආ බව සඳහන් වේ. භාෂා පරිවර්ථක අංශයේ පාඨමාලාවක් හදාරා ලේකම්වරියක වීමේම අරමුණක් ඇයට තිබිණි.   

ජේ.කේ. රෝලින්

ජොඈන් රෝලින් වූ ඇයගේ ජීවිතය ගෙවී ගියේ දුක සැප අතරේ දෝලනය වුවාක් ලෙසය. යොවුන් වියේදී පාසල් ජීවිතයේ මෙන්ම පෞද්ගලික දිවියේ විවිධ දුෂ්කර අවස්ථාවලට මුහුණ දීමට ඇයට සිදුවිය. එකී සියල්ල අතරේ මව මෙන්ම ඇයගේ නැන්දා ඇතුළු බොහෝ දෙනාගේ දිරිගැන්වීම් මත ඇය පෑනේ නාමය ලෙස ජේ.කේ. රෝලින් ලෙස දිගටම ලේඛන කටයුතුවල නිරත වූවාය. 
නැන්දා ගෙනැත් දුන් ජෙසිකා මිට්ෆෝර්ඩ්ගේ පොත් කියවීම ජොඈන්ගේ පුරුද්දක් වී තිබිණි. ඇයගේ වයස අවුරුදු 15 දී පමණ තම මව ඈන් හට සුසුම්නාවේ සහ ස්නායුගත ආබාධයක් වැළඳී ඇති බව දැනගත් පසු ඇය පත්වූයේ ඉමහත් වේදනාවකටය. ඇය මෙන් නැගණිය ද වඩා සමීප වූයේ තාත්තාට වඩා අම්මාටය. 
තාත්තා දියණියන්ට වඩා පුතුන්ට කැමැත්තෙන් සිටියේ යැයි ඇය විශ්වාස කළාය. මේ නිසා මව ඇය කළ රස්සාවෙන් පවා ඉවත්ව සිටියාය. ලන්ඩනයේ විවිධ ස්ථානවල තාවකාලික රැකියා කරන අතරේ ජොඈන් විටෙක ඇම්නෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනයේ පවා සේවය කළේ කුලී පදනම මතය. එකී කාලයේදී වැඩිහිටියන් සඳහා පමණක් නවකතා ලියුව ද ඒවා පළ කිරීමට උත්සාහ ගත්තේ නැත. 1990 දශකය එළැඹි පසු ඇයගේ පෙම්වතා සමග මැන්චෙස්ටර් වෙත යාමට උනන්දු වූ ඇය දිනෙක දුම්රිය එනතෙක් බලා සිටිය ද එය පැය 4 ක් ප්‍රමාද වුණි. මේ වන විට හැරී පෝටර් කතාව ලිවීමේ සංකල්පය රඳවා ගෙන සිටි ඇයට ඒ මොහොතේදී එහි චරිත පෙළගස්වා ගැනීමට හැකි වූ බව සඳහන් කරයි. හැරී පෝටර්, රොන් වියස්ලි, හර්මියෝන් ග්‍රැන්ගර් වැනි නම් චරිත සඳහා යොදා ගත්තා ඒ සියල්ල ගැන සටහන් කරගැනීමට පෑනක් කඩදාසියක් ඒ මොහොතේ ඇය සතු නොවීම නිසා. වහා නිවසට ආ පසු ඒ සියල්ල සටහන් කර ගත්තාය. 
මේ පොත ලෝකය ග්‍රහණය කර ගන්නා බවට ඇයට ඉවක් තිබෙන්නට ඇත. නමුදු 1990 දෙසැම්බරයේදී ඇයගේ ලේඛන කලාවට මහා පවුරක්ව සිටි ජීවිතයට හොඳම මිතුරියක් සේ සිටි, ආදරණීය මව අකලට මිය යාම ඇය හට ගෙන දුන්නේ දැඩි කම්පනයකි. මවගේ වියෝවත් සමග ඇයට දැනුණේ ජීවිතයේ මහා පාළුවකි. මේ වන විට මැන්චෙස්ටර් සරසවිය ඇතුළු වාණිජ මණ්ඩලයේ පවා ඇය තාවකාලිකව සේවය ලබා දෙමින් සිටියාය. මවගේ මිය යෑම නිසා කම්පනයට පත්ව සිටි ඇය තවත් කම්පනයට පත් කළේ මව ඇය හට උරුම කළ ආත්ම ශක්තිය වෙන කිසිවකගෙන් හෝ නොලැබූ බැවිනි. මෙකී සියලු දේ අතරේ ඇයගේ පෙම් සබඳතාවය ද බිඳ වැටිණි. ‘හැරී පෝටර්’ සංකල්පය රඳවාගෙන සිටිය ද මවට ඒ ගැන කිසි විටෙකත් නොකියීම නිසා ඇය බෙහෙවින් කනස්සල්ලට පත්වූවාය.  

 

‘අම්මා මැරෙන්නට
පෙර මට 
මේ ගැන කියන්න තිබුණානේ’

තමාටම මුමුණා ගනිමින් ඇය සුසුම් හෙලමින් කාලය ගත කළේ හැරී පෝටර් ලිවීම ආරම්භ කරමිනි. මෙකී කාලයේදී ඇය පෘතුගාලයට ගොස් සිටියේ පොර්ටෝ නගරයේ සිට විදේශ භාෂා ඉගෙන්වීම වෙනුවෙනි. පෝර්ටෝවේ සිටියදී පෘතුගීසි ජාතික ටෙලිවිෂන් මාධ්‍යවේදියකු වූ ජෝජේ ඇරන්ටස් සමග පෙමින් බැඳුණාය. ජෙන් ඔස්ටන් නවකතාවරිය ගැන කැමැත්තක් ඇතිවූයේ මෙකී කාලයේදීය. ඒ ඇරන්ටස් නිසාය. 
1992 දී පමණ ඇරන්ටස් අපි ලන්ඩනයට යමු, මට ඔයාව අපේ පවුලේ අයට හඳුන්වලා දෙන්න ඕනැ යැයි ජොඈන් ඇරන්ටස් හට කීවාය. මේ අතරේදී දරු ගැබ අහිමිවීමක් ද සිදුවිණි. එතෙක් විවාහ නොවී පෙම්වතා සමග සිටි ඒ ජීවිතය ඇයට සැනසිලිදායක නොවූ වග සඳහන් කළ හැකිය. 1992 ඔක්තෝබර් 16 දා ඇරන්ටස් සමග විවාහ වූ පසු දියණියක ලැබුණු අතර ජොඈන් රෝලින් හෙවත් ජේ.කේ. රේලින් ඇය හට නම් තැබුවේ ජෙසිකා මිට්ෆෝර්ඩ් ලෙසය.  

 

 

විවාහ දිවියේ නීරස සහ දික්කසාදය

එතෙක් ගත කළ කෙටි විවාහ ජීවිතය ලස්සන එකක් වුණේ නැහැ. ගෘහස්ථ හිංසනයට මම මුහුණ දුන්නා.  
එසේ පැවැසූ ඇය දියණියගේ භාරකාරත්වය උදෙසා පොලිසි ගියාය. තීන්දුව ලැබෙන තෙක් සති කීපයක් සැඟව සිටීමට ඇයට සිදුවිණි. දියණිය සිටියේ පියා බාරයේය. පසුව දියණියගේ අයිතිය ලැබූ ඇය ලන්ඩනයට ආයේ අලුත් ජීවිතයක් ගත කිරීමේ අරමුණ ඇතිවය. දියණියගේ වගකීම් ද දරාගෙන තම නැගණියගේ පවුලට බරක් වීමට ජේ.කේ. රෝලින් අකමැති වූවාය. ඒ නිසා රජයෙන් ලැබෙන සහනාධාර ලබමින්, කුලී මහල් නිවසක පදිංචියට ගිය ඇය එහි සිට දුෂ්කර කාලයක් ගත කළ බව කිව හැකිය. 


එම මහල් නිවාස පදිංචියට එතරම් පහසු තැනක් නොවුණි. මීයන්ගෙන්, කැරපොත්තන්ගෙන් පිරී අපිරිසිදු තැනක් විය. මේ අතරේ තමා අතැර ස්කොට්ලන්තයට පැමිණ සිටි බිරිඳ සහ දියණිය සොයා ඇරන්ටස් එහි ආවේය. අයිතීන් ඉල්ලා ඔහු උසාවි ගිය ද එයින් ඵලක් නොවුණි. ඇරන්ටස් හිස් අතින් නැවත පෘතුගාලය බලා පිටත්වීය. 


රෝලින්ගේ විවාහ ජීවිතය කෙළවර වූයේ එලෙසින් දික්කසාද නඩු පැවැරීමෙනි. දික්කසාදය ලැබීමට පෙර ඇය මානසික ආතතියට පත්ව සිටි අතර විටෙක සිය දිවි නසා ගැනීමට පවා ගිය බව සඳහන් වේ. කෙසේ වෙතත් ප්‍රතිකාර වලින් පසුව ටිකෙන් ටික නැවතත් ඇය යහපත් තත්වයට පත්වෙමින් සිටියාය. ඇයට දික්කසාදයේ තීන්දුව ලැබුණේ 1995 දීය. ජේ.කේ. රෝලින් යනු විෂාදය නිසා මියෙන්නට ගොස් උපන් චරිතයක ලෙස හැඳින්වීම වඩා සුදුසුය. දීර්ඝ කතාවක් වූ ඇයගේ ජීවන චරිතයේ අප මේ කියැවූවේ අතරින් පතර පිටු කීපයක් පමණකි.  

 

හැරී පෝටර් (Harry Pottar)  

‘හැරී පෝටර්’ පොත එළිදැක්වීම දක්වා ජේ.කේ. රෝලින් හට ගෙවීමට සිදුවූයේ දුෂ්කර ජීවිතයකි. එතෙක් ගුරුවරියක ලෙස ද සේවය කළේ පුහුණු පාඨමාලාවකින් පසුවය. ජේ.කේ. රෝලින් හට ජීවිතය සැමදා ඉගෙනීමට සිදු වූ මොහොතක් ලෙස ගත කිරීමට සිදුවිණි. අවසාන එනම් 1997 දී මනඃකල්පිත කතා වස්තුවක් රැගත් හැරී පෝටර් ළමා නවකතා මාලාව එළිදැක්වීමත් සමග එතෙක් රාහුගේ දසාවේ පසු වූ ජේ.කේ. රෝලින් හට සියලු ග්‍රහයින්ගේ වාසනාව උදාවිණි. ‘හැරී පෝටර්’ ලිවීමත් සමග මුළු ලෝකයම වගේ මේ නවකතාකාරිය ගැන කතා කිරීමට පටන් ගත්තේය. 


1997 සිට 2007 කාලය දක්වා පමණක් හැරී පෝටර් ළමා නවකතාවේ වෙළුම් 7 ක් මුද්‍රණය වී තිබිණි. මිලියන 500 පිටපත් අලෙවි වී තිබිණි. කොච්චර නම් ජනප්‍රිය වී ද යත් හැරීපෝටර් කතාව රටවල් 70 ක භාෂාවලට අදාළව පරිවර්තනය වී මුද්‍රණය කර ඇති වග සඳහන්ය. එපමණක් ද නොව චිත්‍රපට, වීඩියෝ ගේම්ස් සහ වෙළෙඳ ප්‍රචාරක කටයුතු සඳහා ද ‘අවසරලත්’ චරිතයක් (හැරී පෝටර්) බවට පත්ව තිබිණි. එය අදට ද එසේමය. ලෝකයේ මෙතෙක් රචිත මනඃකල්පිත ළමා නවනකා අතරින් අතිශය ජනප්‍රිය වූ නිබන්ධය මෙම හැරී පෝටර් කතාව යැයි කිව හැකිය. එයින්ද නොනැවතී ඇය, අපරාධ තේමාව රැගත් 'Cormoran strika කතා මාලාව ප්‍රකාශයට පත්කළේ අන්වර්ත නාමයකිනි. රොබට් ගැල්බ්‍රේක් යනු එම නාමයයි. 


2012 දී ‘දී කැෂුවල් වේකන්සි (The Casual Vacancy) පොත ලියුවේ වැඩිහිටියන් සඳහාමය. 2001 දී නීල්මරේ සමග විවාහ වූ ඇය දරුවන් තිදෙනෙකුගේ මවකි. ජේ.කේ. රෝලින් යනු ජීවිතයට මහා පොතක, වටිනාකම දුන් ගැහැණියකි. ඇය ඇයගේ ලිවීම නිසා උපයා ගත් මහා ධනය පොදිගසා පැත්තකට වී සිටි චරිතයක් නොවේ. සමාජයේ ආධාර උපකාර සඳහා අවැසි පුණ්‍යාධාර කටයුතු මෙන්ම සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් ප්‍රමුඛත්වය දී කටයුතු කරන චරිතයකි. ලුමෝස් පදනම පසුව ඇය නම් කළේ තම මවගේ නාමයෙනි. සමාජයේ හඬක් අවැසි මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නිර්භය චරිතයකි. 


සංක්‍රාන්ති ලිංගිකයින්ගේ අයිතිවාසිකම් මෙන්ම, ස්ත්‍රීන්ගේ අයිතිවාසිකම් උදෙසා පෙනී සිටි ප්‍රමුඛ චරිතයකි. බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට ලැදිව කටයුතු කරන ඇය ස්කොට්ලන්තයේ ස්වාධීනත්වය අපේක්ෂා කරන චරිතයක් වූවාය. ඇයගේ ලිවීමේ කිවීමේ කටයුතු උදෙසා මෙතෙක් ලැබූ සම්මාන ගෞරව බොහෝය. බ්‍රිතාන්‍ය රජයේ ශ්‍රේෂ්ඨ පිළිගැන්මකට ලක්වූ ගෞරවය ලද කාන්තාවකි. ලෝකයේ පොහොසත්ම ලේඛිකාව ලෙස සඳහන් වන එලිසබත් බැඩ්න්ටර්ගෙන් අප මෙම සටහන ආරම්භ කළේ ජේ.කේ. රෝලින්ගේ චරිතය මොන වගේද කියා පැවසීමටය. ජේ.කේ. රෝලින් යනු මොනතරම් නම් ශක්ති සම්පන්න.


මොන තරම් නම් ධෛර්යවන්ත කාන්තාවක් ද යන්න මේ මගින් ඔබට සසඳාගත හැකිය. සැබැවින්ම ජේ.කේ. රෝලින් බිලියන පතිනියක වීම යනු අරුමයක් හෝ වාසනාවක් නොවේ. සැබෑ ලෙස ජීවිතයට මුහුණ දී යථාර්ථයක් කරගත් සැබෑ අරුතක් කාන්තා පරපුරට ලබා දුන් අපූරු චරිතයකි. 

 

පරිවර්තන සටහන : සඳුන් ගමගේ  
[email protected]