සුමිහිරි රස ගෙනෙන මලක්කාවේ වීදි ආහාර


ෙජාන්කර් වීදියේ නර්තන ලීලා

නිරක්ෂයට ආසන්නව ගිනිකොන දිග ආසියාවේ පිහිටි මැලේසියාව සෞම්‍ය දේශගුණයකින් පිරි සුන්දර දේශයකි. ලංකා ජනගහනයෙන් සියයට දශම 2ක් වන මැලේවරුන් මෙරටට ගෙන එනු ලැබුවේ ජාවා බෝර්නියෝ හා සුමාත්‍රා යන අතීත මලයානු ප්‍රදේශයෙනි. ඒ නිසා මැලේසියාව ශ්‍රී ලාංකිකයන්ට සමීප සබඳතා ඇති දේශයකි.

මැලේසියාව හා ඉන්දුනීසියාව අතරින් පිහිටි මුහුදු ප්‍රදේශය හැඳින්වෙන්නේ මලක්කා සමුද්‍රසන්ධිය වශයෙනි. පැසිපික් හා ඉන්දියානු සාගර යා කරන නැව් මාර්ගය වැටී ඇත්තේ මලක්කාව අසලිනි.

මලක්කාව කලක් ආසියාවේ ප්‍රකට ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් විය. මලක්කාවේ කුළුබඩු යුරෝපයේ රටවලට සුඛෝපභෝගී භාණ්ඩයක් වූ අතර, එම කුළුබඩු නිපදවන ප්‍රදේශ අල්ලා ගැනීම සඳහා ස්පාඤ්ඤ සහ පෘතුගීසි දේශ ගවේශනය ආරම්භ විය. ඔවුන්ගේ පැමිණීමට පෙර චීන, අරාබි සහ ඉන්දියාව යන රටවලින් පැමිණි වෙළෙඳුන් තම යාත්‍රා දිගු කාලයක් මලක්කා වරායේ නැංගුරම් දමා ජාත්‍යන්තර වෙළෙඳාම එහි සිට ආරම්භ කළහ. විදේශීය ජාතීන් ගණනාවක් තම තාවකාලික වාසස්ථානය බවට මලක්කාව පත්කර ගත් හෙයින් වර්තමානය වන විට විවිධ ජනවර්ගවල මිශ්‍රණයක් මලක්කාවේ දක්නට ලැබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවය මැලේසියානු සංචාරක මණ්ඩලය සමග එළැඹුණු සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් යටතේ මැලේසියාවේ සංචාරක ඉසව් ගණනාවක සංචාරය කිරීමට අපට ඉකුත්දා අවස්ථාව උදාවිය. මාධ්‍යවේදීන් කණ්ඩායමක් සමග මෙම ගමනට සහභාගි වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන කළමනාකරු දීපාල් පෙරේරා මහතා පැවසුවේ, මෙම සංචාරය හවුල්කාරිත්වය මගින් දෙරටටම වැඩි සංචාරක ආකර්ශනයක් අපේක්ෂා කරන බවය. මැලේසියානු ජාතිකයන් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හා ලාංකිකයන් මැලේසියාවේ සංචාරය කිරීමට මෙම වැඩසටහන යටතේ නැඹුරුවක් ඇතිවනු ඇතැයි දීපාල් පෙරේරා මහතා විශ්වාසය පළ කළේය.

දහවල් කාලයේ මලක්කාවේ ඓතිහාසික ස්ථාන නරඹමින් ඇවිද ගිය අපි මලක්කාවේ පටු සමුද්‍ර තීරයට ඔබ්බෙන් හිරු බැස යද්දී අලුත්ම නගරයක් සේ පණ ලබන රාත්‍රී නගරයට ඇතුළු වීමු. දිවා කල රථවාහන වලින් පිරී තිබූ නගරය සැන්දෑව ළංවෙද්දී රස ආහාර සොයා එන ජනතාවට ඉඩදී රථවාහනවලට දොර වසයි. එතැන් සිට නගරයේ මැවෙන්නේ ඝෝෂාවෙන්, සංගීතයෙන්, නර්තනයෙන් සහ ආහාර සුවඳින් පිරී යන සුන්දර ලෝකයකි.

පලතුරු වලින් පිරුණු රාක්ක

මලක්කාවේ ජොන්කර් වීදිය ආශ්‍රිත භෝජන ශාලා අතරින් ඇවිද යන සංචාරකයකුට බොහෝ විට දැනෙන්නේ පිසෙන කුළු බඩු සුවඳය. බොහෝ නූඩ්ල්ස් වර්ග පිළිගන්වන්නේ කුළුබඩු මිශ්‍ර කර පිසීමෙනි. ඒ නිසා ලාංකිකයන්ට වඩාත් හුරු පුරුදු බවක් දැනෙයි. ‘‘දිවා කාලයේ අසල ඇති ඓතිහාසික ස්ථාන නරඹා සැඳෑ කාලයේ ජෝන්කර් ආහාර වෙළෙඳපොළට එන්න. මතක ඇතිවම කුස හිස්ව තබාගෙන එන්න’’ සංචාරක මගපෙන්වන්නන් පැහැදිලි කරන්නේ ඒ අයුරිනි. නර්තන ශිල්පීන්, ගායකයන්, සංචාරකයන් ප්‍රවාහනය කරන ට්‍රයිසිකල්කරුවන්ගෙන් යුතු ජෝන්කර් වීදිය මධ්‍යම රාත්‍රිය වන තුරුම අවදියෙනි.

මලක්කාවේ වීදි දිගේ ඇවිද යන විට මා මනැසේ මැවුණේ සියවස් කිහිපයකට පෙර පෙරදිග කුළුබඩු රසය සොයා පැමිණි පෘතුගීසි සහ ලන්දේසි නාවිකයන් මා මෙන්ම එහි ඇවිද ගිය අයුරුය. පොල් රුප්පාවෙන් හෙබි දේශීය වෙරළ තීරය දිග ඔවුන්ගේ නැව් නැංගුරම් ලා තිබූ අයුරුය. ඉන්පසුව එහි පැලපදියම් වී ඔවුන් ගෙන ආ ආහාර පාන වර්ග දේශීය ජනයාගේ ආහාර සමග මිශ්‍රව ආහාරයට ගත් අයුරුය. ඉනික්බිතිව ඔවුන්ගේ සංස්කෘතිය සහ ආහාර පාන එහි ඉතිරි කර තම මව්බිම කරා නික්ම ගිය අයුරුය. ඉන් සියවස් ගණනකට පසු එහි යන අප භුක්ති විඳින්නේ ඔවුන් මේ බිමට හුරු කර ගිය එම ආහාරපාන ය.

ඇතැම් භෝජන ශාලාවල පිසෙන්නේ ඈත අතීතයේ මෙහි පදිංචිව සිටි අරාබි ජාතිකයන් හුරු කළ ආහාරය. එහිම තවත් භාජනයක ඉන්දියානු ශ්‍රමිකයන් නිසා මලක්කාවට දායාද වූ ඉන්දියානු ‘පූරි’ සැකසෙයි. ඒ අසලම චීන, මැලේ මිශ්‍ර ජනයාගෙන් උරුම වූ චීන ආහාර වර්ගයක් දුම් දමන්නේ හාත්පසම සුවඳ විසිරුවමිනි. ඔබ විවිධ ආහාර සොයන ආහාර ලෝලියකු නම් නොපමාව යා යුතු වන්නේ මැලේසියාවේ ‘‘මලකා’’ ලෙස වර්තමානයේ හඳුන්වන පැරණි මලක්කා පුරවරය වෙතය.

මලක්කාවේ ප්‍රධානතම සංචාරක ආකර්ශනයක් වන ‘‘ජොන්කර් වීදිය’’ ප්‍රකටව ඇත්තේ විවිධත්වයකින් යුතු ආහාර වර්ග වෙනුවෙනි. රාත්‍රියේ ජොන්කර් ස්ට්‍රීට් හෙවත් ජලාත් ටොකොන් ආශ්‍රිත ප්‍රදේශය දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් පිරීයයි. ආපන ශාලා මෙන්ම සිසිලසෙන් යුතු වීදි ද සංචාරකයන්ගෙන් පිරී යන්නේ සංස්කෘති ගණනාවකින් මිශ්‍ර වූ ආහාර වේලක් භුක්ති විඳීමේ ආශාවෙනි. මුහුදු බෙල්ලන් සහ රාබු, සුදුලූනු, බිත්තර හා බෝංචි මිශ්‍රිත සලාදයක්ද, බාබකියු කළ සොසේජස් කූරු, බාබකියු කළ වටු බිත්තර මලක්කාවේ ප්‍රකට ආහාර වේ.

​ෙජාන්කර් ආහාර වෙළෙඳපොළ

ජොන්කර් වීදිය වඩාත් කාර්යබහුල වන්නේ සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවලටය. සවස හයේ සිට මධ්‍යම රාත්‍රිය දක්වා ගමනාගමනය අවහිර වී වීදි ජොන්කර් වෝක් රාත්‍රී වෙළෙඳපොළ බවට පරිවර්තනය වේ. චීන සංස්කෘතියට විදහාපාමින් වීදි උඩින් රතු කඩදාසි පහන් සවිවෙයි. භෝජන ශාලාවල කුළු බඩු සුවඳ පැතිරෙයි. වීදි කොනක දූරියන් අයිස් ක්‍රීම් විකුණන්නේ දූරියන් සුවඳ ප්‍රදේශය පුරාම පැතිරී යද්දීය. මලක්කා ඇතුළු මැලේසියාව දූරියන් සඳහා ප්‍රසිද්ධය. රසකැවිලි විකුණන කඩ පේළිවල උණු උණුවේම දොදොල් හැඳිගාන සේවකයන් දෙස සංචාරකයන් බලා සිටින්නේ පුදුමයෙනි. ලංකාවට ද දොදොල්, කොකිස්, අච්චාරු වැනි ආහාර පැමිණියේ පෘතුගීසි සමයේ මෙහි ගෙන එන ලද මැලේ ජාතිකයන් මගිනි. චීන සහ මැලේ ආහාර, චීන සහ මැලේ මිශ්‍ර වූ ආහාර, අරාබි ආහාර, ඉන්දියානු ආහාර එහි සුලභය.

මලක්කාව වසර සිය ගණනක් තිස්සේ මුහුදු යාත්‍රිකයන් වූ අරාබි, ඉන්දියා, චීන අප්‍රිකානු ජාතීන්ගෙන් ජනාවාස වූවා සේම ඔවුන්ගෙන් උරුම වූ විවිධ ආහාර වර්ග රස බැලිය හැකි අපූරුතම සංචාරක ගමනාන්තයකි.

‘‘ටෙමින් සාරි කුලුන’’ මලක්කාවේ රාත්‍රී සුන්දරත්වය අලංකාර කරන එක් සුවිශේෂී ස්ථානයකි. මීටර් එකසිය දහයක උසින් යුතු එය බිම සිට ඉහළට යාන්ත්‍රිකව ගෙන යන නැරඹුම් මැදිරියකින් යුතුය. එම නැරඹුම් මැදිරිය ආරක්ෂිත වීදුරු තහඩුවලින් යුතු වන අතර, මැදිරිය වටා ආසනද සවිකර තිබේ. එහි වාඩි ගත් විට යාන්ත්‍රිකව කුලුන මුදුනට ගමන් කරන අතර, රාත්‍රී විදුලි එළියෙන් ආලෝකවත් වූ නගරයේ සුන්දර දර්ශන කුලුන මුදුනේ සිට දැක බලා ගත හැකිය. පුද්ගලයන් අසූ දෙනකුට එක් වරකට ගමන් කළ හැකි එම ගමන අපට ද චමත්කාරජනක මතක සටහනකි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය දිගු කලක් තිස්සේ දෙරට යා කරන ප්‍රධාන ගුවන් පාලම ලෙස අතිමහත් සේවයක් සපයයි. කලාපයේ ආරක්ෂිත ගුවන් සේවා අතර මුල් පෙළේ වැජඹෙන්නේද ශ්‍රී ලංකන් ගුවන් සේවයයි. මෙම වසරේ සැප්තැම්බර් 27 වැනිදාට යෙදෙන ලෝක සංචාරක දිනය වෙනුවෙන් මැලේසියාව විවිධ සංචාරක වැඩසටහන් සූදානම් කර ඇති අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයට එහිදී මැලේසියානු රජයෙන් ප්‍රමුඛ තැනක් ලැබී තිබේ. සුමිහිරි ආහාර සමග සොඳුරු සති අන්තයක් ගත කිරීමට මැලේසියාව ආරක්ෂිත නවාතැනකි.

ප්‍රේමකීර්ති රණතුංග