අපගේ නිවහන පෘථිවියයි. පෘථිවිය අයත් ග්‍රහ මණ්ඩලය හැඳින් වෙන්නේ සෞරග්‍රහ මණ්ඩලය යනුවෙනි. සෞරග්‍රහ මණ්ඩලය, ග්‍රහලෝක අටකින් සමන්විතය. කුරු ග්‍රහයන් සහ චන්ද්‍රයන් නැතිනම් උප ග්‍රහයන් ගෙන් සමන්විතය. ග්‍රහක ඇතුළු තවත් අභ්‍යවකාශ වස්තූන් ගෙන් සමන්විතය. සෞරග්‍රහ මණ්ඩලය අවසන් වන සීමාව තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබ ඇත. සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති කලාපය අන්තර් තාරකා අවකාශය ලෙස ඔවුහු හඳුන්වති.
මේ වනවිට අන්තර් තාරකා අවකාශයේ සිට අබිරහස් ආකාශ වස්තුවක් - අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී ඇති අතර, එය සෞරග්‍රහ මණ්ඩලය හරහා හිරු දෙසට වේගයෙන් ගමන් කරයි. මෙම වස්තුව රූගත කිරීමට පවා තාරකා විද්‍යාඥයන්ට හැකියාව ලැබී ඇත. මෙම වස්තුව පළමු වරට විද්‍යාඥයන්ට දක්නට ලැබුණේ පසුගිය ජූලි 1 වැනිදා ය. විද්‍යාඥයන් මේ ආගන්තුකයා නිල වශයෙන් නම් කර ඇත්තේ 3අයි/ඇට්ලස් යනුවෙනි.
මේ වස්තුව කි.මී. 20 ක් දිග වන අතර, එය පැයට සැතපුම් 135,000 ක වේගයකින් සූර්යයා දෙසට ගමන් කරමින් සිටී. නාසා අනුග්‍රහය ලබන, හවායි දූපත් ආශ්‍රිතව පිහිටුවා ඇති ප්‍රබල දුරේක්ෂයක් භාවිතා කරමින්, යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය මෙම 3අයි/ඇට්ලස් රූගත කර ඇත.
මෙම වස්තුව අතිශයින් දීප්තිමත් ය. එයින් අදහස් වන්නේ එය වෙනත් අන්තර් තාරකා වස්තුවකට වඩා බොහෝ ගුණයකින් විශාල බව යැයි විද්‍යාඥයන්ගේ අදහසය. විද්‍යාඥයන් බොහෝ දෙනකු මේ වනවිට අනුමාන කර ඇත්තේ, මෙම දීප්තියට හේතුව 3අයි/ඇට්ලස් සක්‍රිය ධූමකේතුවක් එසේත් නැතිනම් වල්ගා තරුවක් නිසා බවය. 3අයි/ඇට්ලස් කෙටි වල්ගයක් ඇති බව අධ්‍යයන වලින් පෙනී ගොස් ඇත. ධූම කේතුවක් එසේත් නැතිනම් වල්ගා තරුවක් සූර්යයාට ළං වන විට, එහි ඝන අයිස් සහිත හරය රත් වීමට පටන් ගනී. තාපය නිසා අයිස් සෘජුවම වායු බවට පත් වෙයි. මෙම වායු සහ දූවිලි අංශු ධූම කේතුවේ හරය වටා වලාකුළක් ලෙස පැතිරෙයි. මෙය කෝමා ලෙස හැඳින්වෙයි. කෝමා දිස්වන්නේ ධූමකේතුවේ දීප්තිමත් නොපැහැදිලි හිස ලෙසය. සූර්යාලෝකය මෙම වායු සහ දූවිලි අංශු මත පතිත වී පරාවර්තනය වන නිසා කෝමාව දීප්තිමත් ලෙස දිස් වෙයි.
ධූම කේතුවක් යැයි පෙනුනත් 3අයි/ඇට්ලස් එසේ නොවන බවට අනුමාන කරන විද්‍යාඥයෝ කිහිප දෙනෙක් ද වෙති. හාවඩ් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥයකු වන මහාචාර්ය ආවි ලෝබ් ඒ අතරින් කෙනෙකි. “3අයි/ඇට්ලස් ධූමකේතුවක් නොවේ වෙන්න පුළුවන්. එය ධූමකේතුවක් යැයි අපට නිවැරදිව කියන්න බැහැ. එසේ නොවේ නම්, එහි දීප්තිය අපට පුදුමයක් වනු ඇත. කවුරුද දන්නේ. එය පිටසක්වළ යානයක් වීමටත් බැරි නැහැ” යැයි මහාචාර්යවරයා පවසයි. මහාචාර්ය ආවි ලෝබ් යනු අන්තර් තාරකා වස්තූන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් ආන්දෝලනාත්මක අදහස් පළ කරන විද්‍යාඥයෙකි.
මේ වනවිට පෘථිවියේ සිට සැතපුම් මිලියන 420ක් (කිලෝ මීටර් මිලියන 670ක්) දුරින්, 3අයි/ඇට්ලස් ආකාශ වස්තුව ගමන් කරමින් සිටී. නාසා ආයතනය පුරෝකථනය කරන්නේ, එය මෙම වසරේ ඔක්තෝබර් 30 වන දින සූර්යයාට ආසන්නතම ලක්ෂයට ළඟා වන බවත්, එය සැතපුම් මිලියන 130ක් (කිලෝමීටර් මිලියන 210ක්) දුරින් - අඟහරුගේ කක්ෂයට මදක් ඔබ්බෙන් ගමන් කරනු ඇති බවත්ය. වාසනාවකට මෙම වස්තුව පෘථිවියට කිසිදු තර්ජනයක් එල්ල නොකරන අතර, එය ආසන්නතම ලක්ෂ්‍යයේ දී සැතපුම් මිලියන 150ක් (කිලෝමීටර් මිලියන 240ක්) පමණ දුරින් පෘථිවියට අනතුරක් නොමැතිව ගමන් කරනු ඇත.
අන්තර් තාරකා අවකාශයේ සිට අන්තර් තාරකා වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වූ පළමු අවස්ථාව මෙය නොවෙයි. මීට පෙර අවස්ථා දෙකකදී අන්තර් තාරකා වස්තූන් දෙකක් අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී සෞරග්‍රහ මණ්ඩලයේ සැරිසරා ආපසු ඒවා පැමිණි ස්ථානයට ගිය බව විද්‍යාඥයෝ පැහැදිලි කරති. එසේ පැමිණි වස්තූන් ගෙන් එකක් ද අබිරහසකි. එම වස්තුව අසාමාන්‍ය හැඩැති ග්‍රහකයකි. අනෙක නම් පැහැදිලිවම ධූම කේතුවකි. නැතිනම් වල්ගා තරුවකි.
ඕමුවාමුවා යනු දැවැන්ත සුරුට්ටුවක හැඩය ගත් එම ග්‍රහකය යි. 2017 වසරේ දී මෙය මුලින්ම නිරීක්ෂණය කරන ලදී. මෙය හඳුනාගත් පළමු අන්තර් තාරකා වස්තුව වන අතර, මෙහි හැඩය පමණක් නොව අසාමාන්‍ය දීප්තිය ද විද්‍යාඥයන් ගේ මවිතයට හේතුවක් විය. මහාචාර්ය ආවි ලෝබ් පවා ඕමුවාමුවා සම්බන්ධයෙන් විවිධ අදහස් පළ කර ඇත. විද්‍යාඥයන් බොහෝ දෙනකුගේ අදහස වන්නේ, අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වුණු මෙය පිටසක්වළ යානයක් විය හැකි බවය. ඕමුවාමුවා යන වදනෙහි අරුත, ඈත සිට ආ පණිවුඩකරුවා යන්නය.
අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වුණු දෙවනි අන්තර් තාරකා වස්තුව ලෙස සැලකෙන්නේ, 2අයි බොරිසොව් ය. මෙය 2019 දී තාරකා විද්‍යාඥයන් විසින් හඳුනා ගන්නා ලදී. මෙය නම් සැකයකින් තොරව, පැහැදිලිවම ධූම කේතුවක් ලෙස හඳුනා ගැනුණි. එහි කෝමාවක් සහ වල්ගයක් පැහැදිලිව දක්නට ලැබුණි. මෙය සොයාගත් බොරිසොව් නමැති ආධුනික තාරකා විද්‍යාඥයාගේ නමින් නම් කිරීම සිදුවිය.
සෞරග්‍රහ මණ්ඩලයේ සීමා ලෙස සැලකිය හැකි කලාප කීපයකි. කයිපර් පටිය එයින් පළමු වැන්නය. මෙය නෙප්චූන් ග්‍රහයාගේ කක්ෂයෙන් ඔබ්බට විහිදෙන, අයිස් සහිත වස්තූන් ගෙන් සමන්විත දැවැන්ත තැටියක් වැනි කලාපයකි. ප්ලූටෝ වැනි වාමන ග්‍රහලෝක බොහොමයක් පිහිටා ඇත්තේ මෙම කලාපයේ යි. දෙවැනි සීමාව වන්න ඌට් වළාව ය. මෙය කයිපර් පටියටත් වඩා ඈතින් පිහිටා ඇති, සෞරග්‍රහ මණ්ඩලය වටා ගෝලාකාරව විහිදෙන බවට උපකල්පනය කරන ලද අයිස් සහිත වස්තූන් ගෙන් සමන්විත දැවැන්ත වළාවකි. දිගුකාලීන ධූමකේතු බොහොමයක් ආරම්භ වන්නේ මෙම කලාපයෙන් බව විශ්වාස කෙරේ. තෙවැනි සීමාව වන්නේ හෙලියෝපෝසයයි. මෙය සූර්ය සුළඟ තාරකා මාධ්‍ය සමග ගැටෙන සෞරග්‍රහ මණ්ඩලයේ පිටතම මායිමය. මෙය සූර්යයාගේ බලපෑම අවසන් වන සීමාව ලෙස සැලකිය හැකිය.
සෞරග්‍රහ මණ්ඩලයේ අවසාන මායිම වන හෙලියෝපෝසය පසු කළ විට අන්තර් තාරකා අවකාශයට ඇතුළු වෙයි. මෙය මන්දාකිණියක් තුළ තාරකා අතර පවතින අවකාශයයි. මෙම අවකාශය හිස් යැයි සිතුවත්, එහි වායු (ප්‍රධාන වශයෙන් හයිඩ්රජන් සහ හීලියම්), දූවිලි අංශු, ප්ලාස්මා සහ විවිධ විකිරණ අඩංගු වේ. නිහාරිකා වැනි දේ මෙම අන්තර් තාරකා අවකාශයේ දක්නට ලැබේ.
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත වෙනත් තාරකා වටා කක්ෂගත වන ග්‍රහලෝක බාහිර ග්‍රහලෝක ලෙස හැඳින් වෙයි. මේ වන විට දහස් ගණනක් බාහිර ග්‍රහලෝක සොයා ගෙන ඇති අතර, ඒවායින් සමහරක් පෘථිවියට සමාන ලක්ෂණ පෙන්වන අතර ජීවය පැවතිය හැකි හිතකර කලාපවල පිහිටා තිබිය හැක. අප සූර්යයා මෙන්, අන්තර් තාරකා අවකාශය පුරා වෙනත් තාරකා මිලියන ගණනක් විහිදී ඇත. බොහෝ තාරකා තමන්ගේම ග්‍රහලෝක පද්ධති සමග පවතී. අපට ආසන්නතම තාරකා පද්ධතිය වන්නේ, ආලෝක වර්ෂ 4.2 ක් පමණ දුරින් පිහිටි ඇල්ෆා සෙන්චුරිය.
සෞරග්‍රහ මණ්ඩලය අයත් වන්නේ ක්ෂීරපථය නම් වූ දැවැන්ත මන්දාකිණියටයි. මන්දාකිණියක් යනු ගුරුත්වාකර්ෂණය මගින් එකිනෙක බැඳී ඇති තාරකා බිලියන ගණනක්, ග්‍රහලෝක, වායු, දූවිලි සහ අඳුරු පදාර්ථ වලින් සමන්විත දැවැන්ත පද්ධතියකි. ක්ෂීරපථය විශ්වයේ ඇති මන්දාකිණි මිලියන බිලියන ගණනකින් එකක් පමණි. මේවා විවිධ හැඩයන් ගෙන් යුක්තය. අපට ආසන්නතම විශාල මන්දාකිණිය වන්නේ ඇන්ඩ්රොමීඩා මන්දාකිණියයි. එය ආලෝක වර්ෂ මිලියන 2.5 ක් පමණ දුරින් පිහිටා ඇත.
ලුසිත ජයමාන්න
ඩේලිමේල් ඇසුරිනි