ෂැංග්‍රිලා හෝටල් ජාලය හිකළ ව්‍යාපාරිකයාගේ කතාව


ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි

  • ෂැංග්‍රිලා බිහිකළ රොබට් කෝක් මුලින්ම කටයුතු කර ඇත්තේ ඔෆිස් බෝයි කෙනෙකු ලෙස
  • චීන සම්භවයක් ඇති රොබට් කෝක් උපන්නේ මලයාසියාවේදී
  • පන්තියේ මිතුරා අගමැති ලී ක්වාන්යූ

 

අද ලෝකයේ බොහෝ තරු හෝටල් පිරී ඉතිරී යන්නේ වෙනද‌ා මෙන් සංචාරකයින්ගෙන් නම් නොවේ. අද ලෝකයේ බොහෝ හෝටල් ක්‍රියාත්මක වන්නේ නිරෝධායන මධ්‍යස්ථාන ලෙසය. එනම් ‘කොරන්ටයින්’ සෙන්ටර්ස් ලෙසය. මොන දේ වුවද තරු හෝටල්වලට ඇති ඉල්ලුම එක ලෙස පවතින බව කිව හැකිය. ප්‍රකට සමාගම් ලොව දිනූ හැටි විශේෂාංගය අද ලියැවෙන්නේ ලෝප්‍රකට ‘ෂැංග්‍රිලා’ හෝටල් සමාගමේ කතාවය. ෂැංග්‍රිලා මේ තරමටම ලොව ප්‍රකට වූයේ ඇයි? ෂැංග්‍රිලා මොන රටකට අයත් හෝටල් සමාගමක්ද, කවුද ෂැංග්‍රිලා නිර්මාණය කළේ? ඒ විස්තර සියල්ල අද අපි දැන ගනිමු.   


රොබට් කෝක්   


මෙලෙසින් ලෝ ප්‍රකට වී ඇති ‘ෂැංග්‍රිලා’ හෝටල සමාගම නිර්මාණය කළ ව්‍යවසායකයා වන්නේ රොබට් කෝක් හොක් නීන් නොහොත් රොබට් කෝක් ය. 1923 ඔක්තෝබර් 6 වැනිද‌ා රොබට් කෝක් මලයාසියාවේ ජොහෝර් බාහ්රු හිදී උපත ලැබුවේ මලයාසියාවේ ජීවත්වන චීන ජාතික පවුලකට අයත්වය. කෝක්ගේ පියා මලයාසියාවට සංක්‍රමණය වී සිටියේ චීනයේ ‘ෆුජියාන්’ පළාතේ සිටය. විසිවැනි සියවසේ මුලදී එලෙසින් මලයාසියාවට පැමිණ සිට කෝක් කොංග් කැංග් සහ ඔහුගේ බිරිඳ වූ ෂෙංග් ගේරූ හට දරුවෝ සතර දෙනෙක් වූහ. ඒ සියලු දෙනාම පිරිමි දරුවන් වූ අතර මෙම රොබට් කෝක් පවුලේ බාලයා වූවේය. කුඩා කල මේ අය තම මව සහ පියාගේ මව් බස කතා කිරීමට හුරුපුරුදුව සිටිය ද පසුව ඉංග්‍රීසි, ජපන් සහ මලයාසියානු බස ද පරිහරණය කිරීමට සමත්වූහ.   


ලී ක්වාන් යූ සමග ඉගෙනීම   


රොබට් කෝක් උගත්තේ සිංගප්පූරුවේ ස්ථාපිත පැරණිතම පාසලක් වන රැෆල්ස් ඉන්ස්ටිටියුෂන් අධ්‍යාපනික ආයතනයෙනි. සිංගප්පූරුවට මහා අරුතක් ගෙන දුන්, ලී ක්වාන් යූ නැමැති මහා මිනිසා උගත්තේ ද මෙම පාසලේය. එමෙන්ම ලී ක්වාන් යූ රොබට්ගේ පන්තියේ සිටි මිතුරකු විය. ඔවුන් උගත්තේ එකම පන්තියක යැයි කිව හැකිය. රොබට් පසුව ‘ජොහෝර් බාහ්රු’ හි ඉංග්‍රීසි කොලීජියට ගොස්, ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීය.   


පටන් ගැන්ම කාර්යාලයේ සාමාන්‍ය සේවකයකු ලෙස   


රොබට් තමාගේ වෘත්තීය ගමන පටන් ගත්තේ කාර්යාලයක ඔෆිස් බෝයි හෙවත් කාර්යාල සහායකයකු ලෙස යැයි සඳහන් වේ. ඉන්පසුව ඔහු ඥ‌ාතියෙකුගේ සහයෝගය ඇතිව ව්‍යාපාරයක් ඇරඹීය. කෝක් පසුව ජපානයේ මිට්සුබිෂි සමූහය සතු මලයාසියාවේ ස්ථාපිතව තිබූ සහල් අලෙවි සමාගමක ලිපිකරුවකු ලෙස සේවය කළේය. ටික කලක් යාමට මත්තෙන් ​ෂෝජි කායිෂා නම් වූ එම සමාගමේ සහල් නිෂ්පාදන අංශයේ ප්‍රධානියා ලෙස උසස්වීම් ලැබීය. ඔහු මෙලෙසින් සියල්ල කළේ ව්‍යාපාරික පවුලක චරිතයක් ලෙස වීම ද විශේෂත්වයකි. සමහර විට වෙනත් ආයතනවල සේවය කරමින් පළපුරුද්ද ලබා ගැනීම සහ අත්දැකීම් ලබා ගැනීම ඔහුගේ අරමුණ වන්නට ඇත. කෝක් පවුලේ වැඩිමල් සහෝදරයා 1948 දී මිය ගියේය. ඉනික්බිතිව, රොබට් ඔහුගේ අනෙක් සහෝදරයින් දෙදෙනා සහ ඥ‌ාති සහෝදරයකු වූ කෝක් හොක් චින් සමග එක්ව ‘කෝක් සහෝදරයෝ’ නමින් ව්‍යාපාරයක් ඇරඹීය. මලයාසියාව 1957 දී නිදහස් ස්වෛරි රාජ්‍යයක් ලෙස නිදහස ලැබීමෙන් පසුව 1959 දී කෝක් සීනි නිෂ්පාදන සමාගමක් ඇරඹීමට සමත් වුණි. එය වඩාත් ශක්තිමත් සමාගමක් බවට පත්වූයේ ජපානයේ ශක්තිමත් ව්‍යවසායකයින් දෙදෙනකු සමග හවුල්කාර සමාගමක් ලෙස ඇරඹි නිසාය. ජපන් අණසකට නතුව සිටි වෘත්තීයමය කාලයේ සිට තිබූ සබඳතා කොහොමටත් රොබට් දිගටම පවත්වාගෙන ගියේය. එමෙන්ම රොබට්ගේ විශේෂත්වය වූයේ ඔහුගේ ව්‍යාපාර වෙත මලයාසියාවේ ප්‍රභූ චරිත මෙන්ම පිළිගත් චරිත සම්බන්ධකර ගැනීමය. එලෙසින් සම්බන්ධ කරගත්තේ ප්‍රභූ මෙන්ම බලගතු චරිතය. රාජකීය චරිතවලට තම සමාගමේ අධ්‍යක්ෂ තනතුරු මෙන්ම කොටස්වල හිමිකාරිත්වය ද ලබා දීමට කටයුතු කළේය. 1961 දී පමණ ඉන්දියාවේ සිට ඉතා අඩුමිලට සීනි ආනයනය කළේ එවකට මලයාසියාවේ සීනි මිල ඉහළ වූ නිසාය. එලෙසින් ලාබෙට ගෙනා සීනි ඔහු සතු සීනි නිෂ්පාදන (පිරිපහදු) සමාගමේ සිට නව නිෂ්පාදන බවට පත් කිරීමට කටයුතු කළ අතර ඒ ගමන නතර වූයේ එනම් ඔහුගේ සීනි නිෂ්පාදන කර්මාන්තය ඉදිරියට ආවේ ‘ආසියාවේ සීනි රජු’ යන අන්වර්ථ නාමය ලබමිනි. ලෝක සීනි නිෂ්පාදන ක්ෂේත්‍රයේදී රොබට්ගේ සීනි නිෂ්පාදන ආයතනය ලෝක නිෂ්පාදන ක්‍රියාවලියෙන් 10% ක කොටසකට උරුමකම් කීවේය.   


ආසියාවේ සීනි රජා ෂැංග්‍රිලා ඇරඹීම   


එලෙසින් මලයාසියාවේ සාර්ථක ව්‍යවසායකයකු ලෙස ව්‍යාපාරික ක්ෂේත්‍රය ජය ගනිමින් සිටි ආසියාවේ සීනි රජා නොහොත් රොබට් කොක් 1971 දී ස්වකීය තරු හෝටල ව්‍යාපාරයට මුල්ගල තැබීය. ‘ෂැංග්‍රිලා’ නාමයේ ප්‍රථම තරු හෝටලය නිර්මාණය කළේ සිංගප්පූරුවේදීය. ෂැංග්‍රිලා තම අණසක හොංකොං රාජ්‍යයට ගෙන ගියේ 1977 දී පමණය. හොංකොං රාජ්‍යයේ ක්සිම් ෂා ක්සුයි නැගෙනහිර කලාපයේ පිහිටි බිම් කැබැල්ලක් මිල දී ගැනීමට රොබට් හට හැකිවිණි. හොංකොං රාජ්‍යයට දීප්තියක් ගෙන දෙමින් ‘කොව්ලුන් ෂැංග්‍රිලා’ 1981 දී ස්ථාපිත කරවීමට ඔහුට හැකිවිණි. එය සිදුකළේ දේපළ සංවර්ධන සමාගමක් ලෙස ස්ථාපිත කර තිබූ රොබට් සතු (කොටස් වැඩි ප්‍රමාණයක් රොබට් පවුල සතුවිණි) කෙරී ගෲප් සමාගම යටතේය. 1993 දී රොබට් කෙරී සමූහයෙන් විශ්‍රාම ගැනීමට පෙර කලාපයේ බොහෝ රටවල ව්‍යාපාර දියත් කිරීමට කටයුතු කළේය. සිංගප්පූරුවට අමතරව පිලිපීනය, තායිලන්තය. චීනය, ඉන්දුනීෂියාව, ෆීජි, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කීපයකදීම එලෙසින් ව්‍යාපාර දියත් කළ රොබට්ගේ ව්‍යාපාර ජාලය සතුව කොකාකෝලා බෝතලවලට අසුරණ ස්ථාන දහයක් පමණ සතු විණි. බීජිංහි වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් හෙවත් බීජිංහි ලෝක වෙ​ෙළඳ මධ්‍යස්ථානයට හිමිකම් දරන්නේ ද රොබට් කෝක් පවුලේ 'Kuok' සමූහය වීම තවත් විශේෂත්වයකි.   
රොබට් කෝක් යනු විටෙක සක්‍රීය දේශපාලකයකුට, රාජ්‍ය තාන්ත්‍රිකයකුට එහා ගිය චරිතයකි. මලයාසියාව සහ හොංකොං සමගත්, සිංගප්පූරුව, චීනය යන රටවල් සමගත් මලයාසියානු චරිතයක් ලෙස එම රටවල් අතර ශක්තිමත් ව්‍යවසායක පවුරක් තැනූ මිනිසෙකි. සිංගප්පූරුවෙ ප්‍රකට සමාගමක් වන විල්මාර් සමග ද සම්බන්ධ වී ව්‍යාපාර දියත් කළ චරිතයකි. වෙසෙසින්ම මලයාසියාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික හමු සඳහා පාලමක් තනා දුන් මිනිසා මේ රොබට්ම විය. චීන සම්භවය රැගෙන මලයාසියාවේ ඉපි ද ලෝකය ජයගත් ඔහු අද දිවි ගෙවන්නේ හොංකොං හි Deep Watar Bay (ඩීප් වෝටර් බේ) නමැති ​අතිශය රමණීය ප්‍රදේශයේය.   


රොබට් කෝක්ගේ සහෝදරයකු වන පිලිප් කෝක් හොක් හී ජර්මනිය, යුගෝස්ලොවියාව ඇතුළු රටවල් කීපයක තානාපතිවරයකු ලෙස මලයාසියාව නියෝජනය කළ චරිතයකි. ඔහු 2003 මිය ගියේය. තවත් සහෝදරයකු වූ විලියම් කෝක් හොක්, මලයාසියානු කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වූ අතර මලයාසියානු ගරිල්ලා සටනේ දී (1952) මැරුම් කෑ වග සඳහන්ය. සහෝදරයා එලෙසින් මියගිය පුවත ඇසූ දිනය තරම් තමා මෙන්ම අනෙකුත් සහෝදරයන් මෙන්ම තම මව කම්පාවට පත් වූ තවත් දිනක් ජීවිතයේ නොතිබි බව රොබට් සඳහන් කර තිබේ.   


ෂැංග්‍රිලා තැනූ ඒ අපූරු මිනිසා, රොබට් කෝක් හට දෙවතාවක දී විවාහ කර ගැනීමට සිදුවිණි. පළමුව විවාහ වූයේ ජෙයිස් චීනා සමගය. ඇය මියගිය පසු පව්ලීන් හෝ ජෝලින් සමග විවාහ විය. මෙම විවාහ දෙකෙන් ලද දරුවෝ 8 දෙනෙකි. ඔවුන් ලොව ප්‍රකට සරසවි වෙතින් උසස් අධ්‍යාපනය ලද අධ්‍යාපනික දැනුමැති මොළකාර චරිත වේ. 2018 දී රොබට් කෝක් ස්වකීය චරිතාපදානය ලියූ අතර එය වසරේ හොඳම ග්‍රන්ථය ලෙස සම්මානය හිමිකර ගත්තේ සිංගප්පූරුවේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සම්මාන උළෙලේදීය.   


මලයාසියාවේ කැබිනට් මණ්ඩලයට අමතරව මලයාසියාවේ ‘තරුව’ වන ආචාර්ය මහාතිර් මොහොමඩ් රාජ්‍ය නායකයා විසින් කීර්තිමත් පුද්ගලයන්ගෙන් සමන්විත සභාව හෙවත් වැඩිහිටි කවුන්සලය යනුවෙන් උපදේශන සභාවක් 2018 වසර සඳහා පිහිට වූ අතර රොබට් කෝක් එහි ගෞරවනීය සාමාජිකයෙකු විය. ආර්ථිකමය සහ මූල්‍යමය කටයුතු වලදී රජයට උපදෙස් දීම මෙම කවුන්සිලයේ ප්‍රධාන අරමුණ වේ. 2021 දී රොබට් කෝක්ගේ දළ වත්කම ලෙස ෆෝබ්ස් සඟරාව වාර්තා කළේ ඩොලර් බිලියන 12.6 ක් වශයෙනි. ඊට අනුව 97 වියැති මේ මහා ව්‍යවසායකයා මලයාසියාවේ ධනවත්ම මිනිසා ලෙස ද හැඳින් වේ. කාර්යාලයක අත්උදවුකරුවකු හෙවත් ඔෆිස් බෝයි නොහොත් අපට හුරු විදියට පියන් කෙනෙකු ලෙස ජීවිතය පටන් ගෙන රොබට් කෝක් (කුඕක්) ගිය දුර ලෝකවාසී බොහෝ දෙනාට මහා ආදර්ශයක් ගෙන දෙන්නක් නොවේ ද? සැබැවින්ම ඔහු සියවසේ මිනිසෙකි. 2018 දී පමණ ලොව 53 වැනි ධනවතා ලෙස ස්ථානගතව සිටියේ මේ මහා ව්‍යවසායකයාය. මහා ප්‍රකෝටිපතියකු වුව ද මාධ්‍ය හමුවේ පෙනී සිටීමට ඉතා මැලි වූ චරිතයකි. අප රටේ සිටින මාධ්‍ය සංදර්ශන පවත්වන සහ නිතර මාධ්‍ය හමුවේ පෙනී සිටින ව්‍යවසායකයන් යැයි කියා ගන්නා සමහර අයට මෙම ෂැංග්‍රිලා බිහිකළ මහා මිනිසාගේ ජීවිතය වෙතින් ගත හැකි සරල, ගැඹුරු දේ බොහෝය.   


ලෝකයම නතුකර ගත් ෂැංග්‍රිලා   


රොබට් කෝක්ගේ අපූරු ජීවිත රිද්මයෙන් එහාට ගොස් ඊළඟට අපි ෂැංග්‍රිලා හෝටල මොන වගේ ද කියා බලමු.   


ලෝකය පුරා ස්ථාන 100 ක පමණ ෂැංග්‍රිලා සමූහය සතු තරු හෝටල ස්ථාපිතව තිබේ. රටවල් වශයෙන් ගතහොත් රටවල් 25 කට ආසන්න සංඛ්‍යාවක් ෂැංග්‍රිලා ව්‍යාප්තව තිබේ. චීනයේ පමණක් ඇති ෂැංග්‍රිලා තරු හෝටල් ගණන 51 කි. ඉන්දියාවේ 2ක්, ඉන්දුනීසියාව, 3 ක්, මලයාසියාවේ 5 ක්, ජපානයේ 1 ක්, සිංගප්පූරුවේ 3 ක් සහ ආසියාවේ තවත් රටවල් කීපයක මෙන්ම යුරෝපයේ ප්‍රංශය. බ්‍රිතාන්‍යය, තුර්කිය, ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව, අප්‍රිකාවේ මුරුසි දිවයිනේ සහ ලංකාවේ ෂැංග්‍රිලා හෝටල රැසකක් ඇත. ෂැංග්‍රිලා කොළඹ ෂැංග්‍රිලා හම්බන්තොට හෝටල පිහිටි ස්ථාන වේ. ෂැංග්‍රිලා නාමයේ තරු හේටල වර්ගීකරණ හෙවත් වෙළඳ නාම 5 ක් යටතේ පවත්වාගෙන යයි. ෂැංග්‍රිලා හෝටෙල්ස්, ෂැංග්‍රිලා රිසෝර්ට්ස්, ට්‍රේඩර්ස් හොටෙල්ස්, කෙරී හොටෙල්ස් සහ ජෙන් යනු එම හෝටල්ය.

 
ෂැංග්‍රිලා සතු ලොව පුරා ඇති හෝටල සියල්ල සතු සමස්ත කාමර ගණන 40,000 කට වඩා වැඩිය. ෂැංග්‍රිලා හොටෙල් පැරිසිය, ලන්ඩන්, ඉස්ථාන්බුල්, ටොරොන්ටෝ, වැන්කුවර්, ෆිජියාන්, චෙන්ග්දු, සුරාබයා, හොංකොං සහ ෂෙන්ෂෙන් යන නගරවල පිහිටි ෂැංග්‍රිලා තරු හෝටල ෂැංග්‍රිලා නාමයේ හොඳම හෝටල 10 වේ. 
පැරිසියේ අයිෆල් කුලුනට මුහුණලා තනා ඇති ෂැංග්‍රිලා එම නාමයේ අංක එකේ හෝටලය වේ. හම්බන්තොට පිහිටි ෂැංග්‍රිලා හෝටලයට ලෝක සංචාරකයන්ගේ වඩාත් ප්‍රියතාවයට පත් ෂැංග්‍රිලා හෝටලයක් ලෙස සඳහන් කළ හැකිය. කැනඩාවේ ඇති ෂැංග්‍රිලා හෝටලය් 'AAA' ක් හෙවත් දියමන්ති තරු 5 ක් රැගත් වර්ගීකරණයට ලක් වූවකි.   


අද වන විට රොබට් කෝක් මහතාගේ වයස අවුරුදු 98 ක් වේ. මෙම වයසේදීත් ලෝකයේ ධනවත්ම පුද්ගලයකු ලෙස ඔහු වැජඹෙන්නේ ජීවිතයේ කෙටි මාර්ග සොයා නොගිය නිසාවෙනි. ඕනෑම ක්ෂේත්‍රයක දිගු ගමනක් යෑමට යමෙකු අපේක්ෂා කරන්නේ නම් මේ රොබට් කෝක්ට මෙන් හික්මීමක්, සංයමයක් සහ ඉවසීමත් තිබිය යුතුය. එමෙන්ම කෙටි මාර්ග ඔස්සේ ජීවිතයට පැවැත්මක් නැත. ෂැංග්‍රිලා බිහි කළ මේ මිනිසා වෙතින් ගතයුතු පාඩම් වන්නේ ඒවාය.

 

 

පරිවර්තන සටහන : 
සඳුන් ගමගේ