විද්‍යාඥයන්ට හමුවුණු ඩයිනෝසර් බිත්තරේ


බැලූ බැල්මට එය මේ දැන් දැමූ බිත්තරයක් බඳු ය. ඒත් මේ බිත්තරය, “අවුරුදු මිලියන70 කට වඩා පැරණි”ය.  ආර්ජන්ටිනාවේ කැණීමකින් සොයා ගත් මේ බිත්තරය - “ඩයිනෝසර් බිත්තරයකි.” 

පොසිල සමග හමුවුණු මෙම බිත්තරය - ඩයිනෝසර් ගැහැණු සතෙකු මිය යන විට ඇගේ “ඩිම්බ කෝෂ තුළ හෝ කූඩුවක” තිබෙන්නට ඇතැයි විශ්වාස කෙරේ.

ආර්ජන්ටිනාවට අයත් “පැටගෝනියාව” නමින් හැඳින්වෙන ප්‍රදේශයේ ඩයිනෝසර් පොසිල කැණීම් නිරතුරුව සිදු කෙරේ. පොසිල විද්‍යාඥයන්ට නව ඩයිනෝසර් විශේෂ බොහොමයක් සොයා ගැනීමට හැකි වී ඇත්තේ ද මෙම භූමියෙනි. පැටගෝනියාවේ, රියෝ නෙග්රෝ නමැති ස්ථානයේ සිදු කළ කැණීම් වලින් පොසිල විද්‍යාඥයන්ට මෙම බිජුව නැතිනම් බිත්තරය හමුවී ඇත. මේ ඩයිනෝසර් බිත්තරය කාගේත් පුදුමයට හේතුවක් වී ඇත.

දූවිලි තට්ටු අතරින් බිත්තරය සොයා ගැනීමට හැකි වූයේ පොසිල විද්‍යාඥ කණ්ඩායමට නායකත්වය දුන් “ෆෙඩරිකෝ ඇග්නොලින්”ය. එය සිදුවූයේ අහඹු ලෙස වීම ද විශේෂත්වයකි. 

මෙම ඩයිනෝසර් බිත්තරය පෙනුමෙන් සහ ප්‍රමාණයෙන් පැස්බර බිත්තරයක් හා සමානය. බිත්තරය සොයා ගත් ෆෙඩරිකෝ ඇග්නොලින් සහ කණ්ඩායම එය ආර්ජන්ටිනාවේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ “මහාචාර්ය ගොන්සාලෝ මුනෝස්” වෙත භාර දුන් අතර, බිත්තරය ගැන ලොවට හෙළි කළේ ඔහුය. බිත්තරය බොනපාටෙනිකස් වර්ගයේ ඩයිනෝසරයෙකුට අයත් බිත්තරයක් යැයි - ගොන්සාලෝ මුනෝස් ගේ අදහස වෙයි. බොනපාටෙනිකස් යනු ක්‍රිටෛයිසීය යුගයේ අවසානයේ, මෙම භූමියේ වාසය කළ කුඩා මාංශ භක්ෂක තෙරපෝඩා වර්ගයේ ඩයිනෝසරයෙකි. 

විද්‍යාඥයන්ට අනුව බොනපාටෙනිකස් යනු වසර මිලියන83.5 ත් 66 ත් අතර කාලයට පෙර පසුකාලීන ක්‍රිටේසියස් යුගයේ වර්තමාන ආර්ජන්ටිනාවේ ජීවත් වූ පිහාටු වලින් පිරුණු ඩයිනෝසරයෙකි. දිගින් මීටර2.5-3.3 (අඩි 8.2-10.8) පමණ වූ මොවුන්, ඇල්වරෙස්සෝරොයිඩ් නම් ඩයිනෝසර් විශේෂ කණ්ඩායමේ විශාලතම සාමාජිකයා ලෙස සැලකෙයි. මොවුන් ගේ ප්‍රධාන ආහාරය විශාල කෘමීන් වන්නට ඇතැයි විශ්වාස කරන අතර, කෙටි සහ ශක්තිමත් ඉදිරි පාද තිබීම කැපී පෙනෙන විශේෂිත ලක්ෂණයක් ලෙස හඳුනා ගැනේ. 

මෙම ඩයිනෝසරයන්ට කුඩා පක්ෂීන්ගේ හා සමාන දෑතක් - විශාල නියපොත්තක් සහිත එක් අතක් සමග තිබූ බව පැවැසෙයි. ඒවා කෘමීන් ඇතුළු කුඩා සතුන් දඩයම් කිරීමට හැකිවෙන අයුරින් කාලාන්තරයක් මුළුල්ලේ සිදුවූ අනුවර්තනයක ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වන්නට ඇතැයි සැලකේ. බොනපාටෙනිකස් බිම ගුල්වල සිටින සතුන්, හාරා පස් ඉවත් කර දඩයම් කිරීම ද කළ බව පොසිල විද්‍යාඥයන්ගේ විශ්වාසයයි.

ඩයිනෝසරයන් ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදා වෙන් කෙරෙනුයේ - ඔවුන්ගේ ශ්‍රෝණි අස්ථිවල සැකැස්ම පදනම්ව කරගෙන වේ. “සෝරිස්කියා”සහ “ඕර්නිතීස්කියා” යනු එම ප්‍රධාන වර්ග දෙකය. මින් සෝරිස්කියා වර්ගය, “තෙරපෝඩා” සහ “සෝරොපොඩෝමෝෆා” යනුවෙන් ප්‍රධාන උප කොටස් දෙකට වෙනේ කෙරේ. තෙරපෝඩා යනු සාමාන්‍යයෙන් මාංශ භක්ෂක, ද්විපාද ඩයිනෝසෝරයන්ය. උදාහරණ වන්නේ ටයිරැනසෝරස් රෙක්ස්, වැලොසිරැප්ටර්, ඇලෝසෝරස් ය. 

“මේ ආකාරයට බිත්තරයක් හමුවීම ඇත්තටම පුදුමයක්. මෙවැනි දෙයක් අප කිසිවකු අපේක්ෂා කළේ නැහැ.”  

යනුවෙන් බිත්තරය සොයා ගැනීම සම්බන්ධයෙන් මහාචාර්ය මූනෝස් “නැෂනල් ජියෝග්‍රැපි සඟරාව”ට ප්‍රකාශ කර ඇත. මෙම ප්‍රදේශයෙන් මීට පෙර ද ඩයිනෝසර් බිත්තර සොයා ගැනීමට හැකී වී තිබුණ ද, මෙතරම් හොඳින් සුරක්ෂිතව තිබූ බිත්තරයක් මින් පෙර හමුවී නැති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි. බිත්තරය තුළ කළල ද්‍රව්‍ය අඩංගු විය හැකි බැවින්, එය ගැඹුරින් ස්කෑන් පරීක්ෂණයකට ලක් කරන බව ද මුනෝස් ප්‍රකාශ කර ඇත.

මාංශ භක්ෂක ඩයිනෝසරයන්ගේ බිත්තර අතිශය දුර්ලභ යැයි මුනෝස් වැඩිදුරටත් කියා සිටී. ඊට හේතුව ලෙස ඔහු මෙසේ විග්‍රහ කරයි. 

“ශාක භක්ෂකයන්ට වඩා මාංශ භක්ෂකයන් අඩුයි. මාංශ භක්ෂක ඩයිනෝසර් වර්ග වලින් තමයි පක්ෂීන් බිහිවුණු බවට අප විශ්වාස කරන්නේ. එහෙයින් ඔවුන්ගේ බිත්තර පක්ෂීන්ගේ බිත්තර වලට වඩාත් සමානයි. ඒවා වඩාත් සියුම්. ඒ බිත්තරවල කවච ඉතා තුනී නිසා විනාශ වීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනවා. එවැනි ආකාරයේ බිත්තර සොයා ගැනීම වඩාත් අපහසුයි. මේ සොයා ගැනීම ගැන අපට මෙතරම් කතා කරන්න සිදුවී තියෙන්නේ, මෙය සුවිශේෂීතා නිසයි.” 

ආර්ජන්ටිනාවේ ස්වභාවික විද්‍යා කෞතුකාගාරයේ දී බිත්තරය ස්කෑන් පරීක්ෂාවන් සඳහා යොමු කිරීම සිදුවනු ඇත්තේ, එහි කලලයක් හෝ කලල කොටසක් හෝ අඩංගු වේ යැයි විශ්වාස කරන බැවිනි. ඩයිනෝසර් කලලයක් හමුවුව හොත්, ඩයිනෝසරයන් වර්ධනය වී බිත්තරයෙන් එළියට පැමිණි ආකාරය ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට ද හැකි වනු ඇති බව මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටී. ඒ අනුව - මෙම බිත්තරය සොයා ගැනීම දකුණු ඇමරිකානු ඉතිහාසයේ ඉතාමත් වැදගත්ම සොයා ගැනීමක් වනු ඇතැයි ද පැවැසෙයි.

ඩයිනෝසරයන් වසර මිලියන 66 කට පමණ පෙර පෘථිවිය පාලනය කළ නමුත්, ක්‍රිටේසියස්-තෘතීයික වඳවී යෑම ලෙස හඳුන්වන සිදුවීමක දී හදිසියේම අතුරුදහන් විය. වසර ගණනාවක් තිස්සේ විශ්වාස කෙරුණේ දේශගුණික විපර්යාස හේතුවෙන් මෙම දැවැන්ත උරගයන්ගේ ආහාර දාමය විනාශ වූ බවය. කෙසේ වෙතත් 1980 ගණන්වල දී පාෂාණ විද්‍යාඥයෝ ඉරිඩියම් නම් මූලද්‍රව්‍ය තට්ටුවක් සොයා ගත්හ. ඉරිඩියම් යනු පෘථිවියේ දුර්ලභ නමුත් අභ්‍යවකාශයේ බහුලව දක්නට ලැබෙන මූලද්‍රව්‍යයකි. පස් තට්ටු කාලනිර්ණ වාර්තාවෙන් ප්‍රකාශිත කාලයත්, ඩයිනෝසරයන් මිහිපිටින් තුරන් වූ කාලයත්, එකිනෙක සමපාත විය. දශකයකට පසු විද්‍යාඥයන් විසින් මෙක්සිකෝවේ යුකටාන් අර්ධද්වීපයේ කෙළවරේ ඇති දැවැන්ත චික්සුලු‍බ් ආවාටය සොයා ගත් අතර එය ද මෙම සිදුවීම සිදු වූ කාලයට අයත් වෙයි.

ඒ අනුව මෙම සාධක දෙක එකිනෙකට සම්බන්ධ බවත්, ඒවා දෙකම පෘථිවියට කඩා වැදුණු දැවැන්ත ග්‍රහකයක් මගින් ඇති වන්නට ඇති බවත්, වර්තමාන විද්‍යාත්මක පිළිගැනීමය. ගණනය කර ඇති ප්‍රමාණය සහ ගැටීමේ ප්‍රවේගය අනුව, මෙම ගැටීමෙන් විශාල කම්පන තරංගයක් ඇති වන්නට ඇති අතර - භූමිකම්පා ක්‍රියාකාරීත්වය ද ඇති වන්නට ඉඩ ඇත. 

එහි අතුරු ඵලයක් ලෙස මුළු ග්‍රහලෝකයම ආවරණය වන්නට ඇතැයි සැලකෙන අළු දුම්රොටු ඇති විය. එමගින් ඩයිනෝසරයන්ට දිවි ගලවා ගැනීම අසීරු විය. අනෙක් සතුන් හා ශාක විශේෂවල පරම්පරා අතර කාලය කෙටිවීම නිසා ඒවාට දිවි ගලවා ගැනීමට හැකි විය. ඩයිනෝසරයන් වඳ වී යාමට හේතු වූ ආකාරය සම්බන්ධයෙන් තවත් අදහස් කීපයක් ද ඇත. එක් පැරණි අදහසක් වන්නේ, කුඩා ක්ෂීරපායින් ඩයිනෝසර් බිත්තර ආහාරයට ගැනීම ය. තවත් න්‍යායකින් යෝජනා කරන්නේ විෂ සහිත ඇන්ජියෝස්පර්ම් (මල් හට ගන්නා ශාක) මගින් ඔවුන් මරා දැමූ බවය.

ලු‍සිත ජයමාන්න
නැෂනල් ජියෝග්‍රැපි ඇසුරිනි