
කෞතුකාගාරය ගුවනට දිස්වන අයුරු |
ලොව විශාලතම ගුවන් හමුදා කෞතුකාගාරය ලෙස හැඳින්වෙන මෙය, වසර 101 ක ඉතිහාසයකට හිමිකම් කියන අතර, මේ වෙනවිට ගුවන් යානා 360 කට වැඩි ප්‍රමාණයක් මෙන්ම - ඇමෙරිකානුවන් නිපදවූ අභ්‍යවකාශ යානා, චන්ද්‍රිකා සහ මිසයිල රැසක ආකෘති ද මෙම කෞතුකාගාරය තුළ සංරක්ෂණය කර තිබේ.

ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයා භාවිත කළ බෝයිං වීසී-137සී වර්ගයේ ගුවන්යානයක්
විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය ආවරණය කිරීම සඳහා ඇමෙරිකාවට ගිය මා හට - ආවරණ කටයුතු අතරතුර ලද විවේකයකදී, මෙම කෞතුකාගාරය සියැසින් දැක බලාගැනීමට අවස්ථාව උදා වූයේ, ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකික ගුවන් යානා ඉංජිනේරුවරයෙකු වෙන ජීවක කොස්තා මහතාගේ සහයෝගය හේතුවෙනි.

ප්‍රහාරක ගුවන් යානයක් නරඹන ශ්‍රී ලාංකිකයන් පිරිසක්
මෙම කෞතුකාගාරය ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට වෙන්කර ඇති අතර, ඊට පළමු ලෝක මහා සංග්‍රාමය, දෙවැනි ලෝක මහා සංග්‍රාමය, සීතල යුද්ධය, අභ්‍යවකාශ ගැලරිය, ගුවන් උද්‍යානය සහ ජනපතිවරුන්ගේ ගුවන් යානා ගැලරිය යන කොටස් ඊට අයත්වේ.
ඇපලෝ 15 යානයේ මෙහෙයුම් පද්ධතියේ අාකෘතියක් |
කෞතුකාගාරය නැරඹීමට යන පුද්ගලයන්ට - නිශ්චිත ස්ථානයක ඔවුන්ගේ වාහන ගාල් කර, කෞතුකාගාරයට ඇතුළුවීම සඳහා මීටර් 200 ක පමණ දුරක් පා ගමනින් යාමට සිදුවෙනු ඇත. පා ගමනින් යන මාර්ගය දෙපස, එක් එක් යුද සමයන්හි දී ඇමෙරිකානු ගුවන් හමුදාව වෙනුවෙන් දිවි පිදූ විරුවන්ගේ ස්මාරක ඉදිකර ඇත්තේ, ඔවුන්ට ලබාදිය හැකි උපරිම ගෞරවය ලබාදීමේ අරමුණෙනි.
කෞතුකාගාරයට ඇතුළුවීමේදී, ඊට අනුයුක්තව සේවය කරන මාර්ගෝපදේශකයන් විසින් එහි ඉතිහාසය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදුකරනු ඇත. එහෙත්, කෞතුකාගාරය පිළිබඳව එකින් එකට විස්තර කිරීමක් අවශ්‍ය නම්, යම් ගෙවීමක් සිදුකර එම ස්ථානයෙන් මාර්ගෝපදේශකයකු වෙන්කරවාගැනීමට ඔබට සිදුවෙනු ඇත. කෙසේ වුවත්, මෙම කෞතුකාගාරයට ඇතුළුවීම සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ.
එම මාර්ගෝපදේශකයන් පවසන පරිදි, මෙම කෞතුකාගාරය සඳහා ගුවන් යානා එකතු කිරීම ආරම්භ කර ඇත්තේ, 1923 වසරේ සිටය. 1927 වසරේදී - එය එවකට ‘‘විල්බර් රයිට්’’ ගුවන් හමුදා කඳවුරේ ගොඩනැගිල්ලක් වෙත ගෙනැවිත් ඇති අතර, 1932 වසරේ සිට යුද හමුදා ගගන කෞතුකාගාරය ලෙස නම් කර තිබේ. දෙවැනි ලෝක මහා සංග්‍රාමයෙන් පසුව- 1948 වසරේදී, මෙය ගුවන් හමුදා තාක්ෂණික කෞතුකාගාරය ලෙසද හඳුන්වා තිබේ.
2004 වසරේදී මෙම ගුවන් හමුදා කෞතුකාගාරය - ඇමරිකාවේ ජාතික වස්තුවක් බවට පත්කරමින්, ඊට ‘‘ඇමරිකානු ගුවන් හමුදාවේ ජාතික කෞතුකාගාරය’’ යන නාමය ලබාදී ඇත. 2016 වසරේදී මෙම කෞතුකාගාරයට තවත් වර්ග අඩි 224,000 ක භූමි ප්‍රමාණයක් අලුතින් එක්කර ඇති අතර, ඒ අනුව මේ වෙනවිට - එය පිහිටා ඇති මුළු භූමි ප්‍රමාණය, වර්ග අඩි 1,120,000 කි.
අධිතාක්ෂණයන් යුත් ප්‍රහාරක ගුවන් යානාවලට අමතරව, රයිට් සහෝදරයන් 1909 වසරේදී ඇමෙරිකානු ගුවන් හමුදාව වෙනුවෙන් නිපදවූ ගුවන් යානා ද, දෙවැනි ලෝක මහා සංග්‍රාමයේ දී - 1945 අගෝස්තු මාසයේ දිනෙකදී, ඇමෙරිකානු ගුවන් හමුදාව ජපානයේ නාගසාකි වෙත පරමාණු බෝම්බ හෙළුෑ ’‘බොක්ස්කාර්’ ගුවන් යානය ද මෙම කෞතුකාගාරයේදී දක්නට ලැබෙන, සුවිශේෂී ගුවන් යානා ලෙස හැඳින්විය හැකිය.
දෙවැනි ලෝක මහා සංග්‍රාමය
රයිට් සෙහා්දරයන් ඇමෙරිකානු ගුවන් හමුදාවට නිපදවූ ගුවන් යානයක් |
අභ්‍යවකාශ යානා
දෙවැනි ලෝක මහා සංග්‍රාම යුද පිටියේ සිට අසීමිත අභ්‍යවකාශ යානා ප්‍රමාණයක් දක්වා සංක්‍රමණය වෙන අභ්‍යවකාශ ගැලරිය, විශ්වය කෙරෙහි මානව වර්ගයාගේ ආකර්ෂණය ගවේෂණය කිරීමට නරඹන්නන්ට අවස්ථාව සලසා දෙයි. එහි අභ්‍යවකාශ යානා, චන්ද්‍රිකා සහ අභ්‍යවකාශ ගවේෂණ කෞතුක වස්තු රාශියක් ප්‍රදර්ශනය කර ඇති අතර, ඇපලෝ මෙහෙයුම් සඳ වෙත ගෙන ගිය සැටර්න් 5 වැනි රොකට් පිළිබඳවද, එහිදී මනා අවබෝධයක් ලබාගත හැකිය. නොදන්නා දේ වෙත යාමට එඩිතර වූ ගගනගාමීන් පිළිබඳ තොරතුරු රාශියක් ද, එහි සංරක්ෂණය කර තිබේ.
ගුවන් උද්‍යානය
ඇමෙරිකානු ගුවන් හමුදාව සතු ප්‍රහාරක ගුවන් යානා කිහිපයක් |
ජනාධිපතිවරුන්ගේ ගුවන් යානා ගැලරිය
කෞතුකාගාරයේ අවසන් කොටසට ගමන අවසන් කරන විට, ජනාධිපති ගැලරිය ගවේෂණය කිරීමට අවස්ථාව උදාවෙන අතර, එය හිටපු සහ වත්මන් එක්සත් ජනපද ජනාධිපතිවරුන් සහ ගුවන් හමුදා ප්‍රධානීන් ගමන් ගත් මෙන්ම - ඔවුන් හා සම්බන්ධකම් ඇති ගුවන් යානා සහ පුරාවස්තුවලින් සමන්විත වේ.
ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයාගේ සිට බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයා දක්වා භාවිත කළ ගුවන් යානා මෙහි සංරක්ෂණය කර ඇති අතර, “බෝයිං වීසී-137සී” ගුවන් යානා ඉන් ප්‍රධාන තැනක් ගනී. ජනාධිපතිවරයාගේ සංචාර සඳහා සහාය වීමේදී ඇමෙරිකානු ගුවන් හමුදාව ඉටු කර ඇති තීරණාත්මක කාර්යභාරය සහ එම යානා පිටුපස ඇති ඉතිහාසය පිළිබඳ එහිදී නරඹන්නන්ට අවබෝධයක් ලබා ගත හැකිය.

ජපානයේ නාගසාකි වෙත හෙළුෑ න්‍යෂ්ටික බෝම්බයේ අාකෘතියක්

ජපානයේ නාගසාකි වෙත න්‍යෂ්ටික බෝම්බය හෙළුෑ බොක්ස්කාර් ගුවන්යානය
විශේෂ ස්තුතිය : ගුවන් යානා ඉංජිනේරු ජීවක කොස්තා මහතාට
- ශානුක අරවින්ද