
මේ එක්තරා සත්‍ය සිදුවීමකි. රාජ්‍ය බැංකුවක සේවය කළ මහතෙකුගේ බිරිඳ ක් සූනියම් දෙවියන්ට පහන් තබන අතර, දිනක් ඇයගේ සැමියා රිය අනතුරකට ලක් වී රෝහල්ගත කිරීමට සිදු විය. ඇයට මේ පුවත සැළවීත් සමග නිවසේ ජනෙල් දොරවල් වැසීමට පවා අමතක ව සිය දරැවා ද සමග ඕ මහ රැයේදීම රෝහලට දිව ගියාය.
ශල්‍යකර්මයකින් පසුව ඇයගේ සැමියාට ජීවත්වීමට හැකි විය. පසුදින නිවසට පැමිණි බිරිඳ අසල්වාසීහු වටකර ගත්හ. “අක්කේ ඇයි ඊයෙ රෑ අපි කතා කළ විට ඔයා කතා කළේ නැත්තේ?’ ගෙවල් දොරවලුත් එලිවෙනකම් ම ඇරලා, අපි සමග අමනාපයෙන් දැයි” අසල්වැසියෙක් විමසුවේය. “අනේ මල්ලි එහෙම දෙයක් නැහැ. මහත්තයා අනතුරක ලක් වෙච්ච හින්දා මම කලබලෙන්ම ඉස්පිරිතාලෙට ගියා. දොරවල් වහන්නත් අමතක උණා.” යනුවෙන් ඇය සඳහන් කළාය.
එවිට අයෙකු පැවසුවේ, “අක්කෙ පුදුමයි. දොරවල් ඇරලා, ඔයා මෙතන වාඩිවෙලා හිටියා අපි දැක්කා.” යනුවෙනි.
මෙවැනි සිදුවීම් විරල නැත. සූනියම් දෙවියන්ට පහන් තැබීමේදී විවිධ හාස්කම් දැක ගැනීමට හැකිය. පිච්චමල් සුවඳ ඳ හමන බව කියැවේ. රාත්‍රී කාලයේ දී සුදු හැඳගත් තාපසයන් ලෙස දර්ශනය වීම් ද සිදුවේ යැයි කියැවේ. ඒ සූනියම් දෙවියන්ගේ බලයයි.
කතරගම, විෂ්ණු, ගනපති, ශිව යන දෙවිවරැ හා පත්තිනි මැණියන් අප රටේ ජනතාව වැඩිපුරම දෛනිකව අදහන දෙවිවරු වෙති. ඉන් පැහැදිලි වන්නේ මානවයා විද්‍යාවෙන් ලබාගත නොහැකි පිහිට, ආරක්ෂාව, මානසික තෘප්තිය, ආදිය යහපත් හෝ අයහපත් අරමුණු පෙරදැරිව දෙවියන් ගෙන් අපේක්ෂා කරන බවයි.
බොහෝමයක් දේව විශ්වාසයන් අතරේ පවතින සූනියම් හෙවත් ගම්භාර දෙවියන් පිළිබඳව පවත්නා විශ්වාසය සහ භක්තිය ඉතා ප්‍රබල වන අතර, ඒ නිසාම ලාංකීය ගැමි ජනතාව එම දෙවිඳුන් අරබයා සුවිශේෂිත වූ ආදර භක්ති ගෞරවයක් දක්වමින් අදහනු ලබයි.
කතරගම දෙවියන්ගේ පරිවාර දෙවියෙක් ලෙසින් හඳුන්වන දැඩිමුණ්ඩ දෙවියන්ගේ මහා අධිකාරම් ධුරය දරණ හා උපුල්වන් දෙවියන්ගේ පණිවිඩකරුවාණන් වශයෙන්ම ගම්භාර දෙවියන් ජනතාව ගේ විශ්වාසය දිනාගත් දෙවියෙකි. බුදුබව පතන දෙවියෙක් වශයෙන් හඳුන්වන සූනියම් හෙවත් ගම්භාර දෙවියන් දස අවතාරයකින් පෙනී සිටින අත ර- නාග ඔඩිස,ගරුඬ ඔඩිඩිස,සන්නි ඔඩ්ඩිස,වෙළෙඹ ඔඩිස, කුමාර ඔඩිස, සූනියම් යකා,දෙමල ඔඩිස, දේව ඔඩිස,
ගම්බාරු මුත්තා, සිද්ධ සූනියම්, වඩිග සූනියම්, ඔඩ්ඩි වඩිග සූනියම්, මස්සිනා, කැබැල්ලෑ මුත්තා , සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ උන්වහන්සේ, ගම්භාර අප්පච්චි සහ ගම්භාර දෙවියන් ආදී තවත් බොහෝ නම් වලින් ගැමි ජනතාව මෙන්ම යකදුරෝ හඳුන්වති.
ගම්භාර දෙවියන්ගේ උත්පත්ති කතාව
මේ සම්බන්ධව ජනප්‍රවාද රැසක් ඒ හා බැඳී ඇති අතර, ගම්මඩු ශාන්ති කර්මයේ එන දළුමුර කවි වලට අනුව සූනියම් දෙවියන් යනු උතුරු ඉන්දියාවේ පඬුවස් නිරිඳුන්ගේ පුත්‍ර රත්නයයි. ලංකාවාසී ජන බැතිමතුන් නිරන්තරයෙන් වන්දනාමාන කරන විශ්වාසයට සහ භක්තියට පාත්‍රව සිටින කතරගම දෙවියන්, සමන් දෙවියන්, පත්තිනි මෑණියන් සහ නාථ දෙවියන් හා සමානවම ගම්භාර දෙවියන් ද වැඳුම්පිදුම් ලබයි. සූනියම් දෙවියන්ට පුද පූජා පවත්වන ඕනෑම අයෙකුට අමනුෂ්‍ය බිය, රාජ බිය ඇතුළු ව්‍යසනයන් ගෙන් මිදීමට හැකි බව බැතිමතුන් ගේ විශ්වාසයයි.
තවද , මහකොළ නා රජුන් ගේ නාස් පුඩයෙන් පිට වූ විෂ දුම ඔඩිස නමින් ද හඳුන්වයි. ගරුඬ ලොවගිරි කන්ද යක්ෂණිය ගේ කුසින් ගරු ඔඩිස කුමරු උපන් බව ද තවත් පොත පතක සඳහන් වේ. යක්ෂණිය ගේ කුසින් වෙළෙඳ ඔඩිස නමින් උප්පත්තිය සිදු වූ බවව කියැවේ. වජ්ජාපති ගොපුළු යක්ෂණී ගේ කුසින් රාජ්‍ය ඔඩිස කුමරු බිහි වූ බවද සඳහන්වේ. මෙයට අමතරව ආයුපාල කුමරිය ගේ මිනිය දැවෑලු සොහොනින් ඔඩ්ඩිස උප්පත්තිය සිදුවූ බව තවත් ජනප්‍රවාදයක සඳහන්වේ.
එමෙන්ම දේව සංකල්පයට අනුව කතරගම දෙවියන්ගේ අණින් ගම්භාර දෙවියන් තේවා 18 කට සේවය කරනු ලබයි . ඉන් ප්‍රධාන රාජකාරිය ලෙස කතරගම දෙයියන්ගේ අණ ඇතිව ගම් නියම්ගම් වල සැරිසරා ජනතාවගේ දුක් දොම්නස් දුරුකර ජනතාවට යක්ෂ ප්‍රේතාදීන් ගෙන් සිදුවන අතුරු ආන්ත්‍රා වලින් ජනතාව බේරා සෙත්ශාන්තිය සලසා දෙනු ලබයි. මේ අනුව ගම්භාර සිද්ධ සූනියම් දේවතා හාමුදුරුවන් රාත්‍රී නමයයි පහ (9.05)හෝරාවට ගම් නියම්ගම් වෙත දිවස් හෙලන බව ගැමි ජනතාවගේ මතයයි. ගැමි ජනතාව ගම්භාර දෙවියන් වෙත පහන් තබා තම දුක් දොම්නස් පැවසීමට ක්‍රියා කරන අතර, ගම්භාර දේවතා උන්වහන්සේ රාත්‍රී සුදුපිරිවට හැඳ සුදුඅසු පිටින් ගම්බිම් දෙස දිවැස් හෙලන බව බොහෝ ගැමි ජනතාවගේ විශ්වාසයයි. එමෙන්ම ගම්භාර දේවතා පුර පක්ෂයට දෙවියන් ලෙසත්, අව පක්ෂයට යක්ෂයකු ලෙසත් වෙස් මාරු කර සිටින බව ගම්භාර දෙවියන් පිළිබඳව කියවෙන කතිකාවත් වල සඳහන්වේ.
ගම්භාර සිද්ධ සූනියම් දෙවියන්ට පහන් තිබ්බොත් මොකද වෙන්නේ?
සර්ව සාධාරණ විනිශ්චයක් ලබා දෙනු ලබන යුක්තිය පසිඳලන්නා වූ ද - යහපත කරනවුන්ට යහපත ද, අයහපත කරනවුන්ට අයහපත ද උරුම කර දෙන්නා වූද, මිනිසුන්ගේ ගෞරවයටත් භක්තියටත් පාත්‍ර වූ අර්ධ දේව ස්වරූපයක් ද, අර්ධ යක්ෂ ස්වරූපයක් ද සහිත භයංකාර පෙනුමකින් හා ආඩම්බරකමකින් යුත් තේජස් බලයකට හිමිකම් කීමට ගම්භාර දෙවියන් සමත් ය. දිගු රැවුලකින් සහ නිරාවරණ උඩුකයකින් යුතු ළය තෙක් පැතිරගත් ජටාවක් බඳු සුදු පැහැති රැවුලකින් ද, ගෙළෙහි ජප මාලයක් හෙවත් නවගුණ වැළක්ද, අතේ සෝලු ලීයක් හෙවත් සැරයටියක් ද වන අතර - සුදු වස්ත්‍රයක් හැඳ සිටියි. මීට අමතරව තුරඟ වාහනය ද තුළින් ගම්භාර දෙවියන් සංකේතවත් කරනු ලබයි. ගම් දනව් සිසාරා ගෙයින් ගෙට ගොස් දුකට පිහිටවනු ලබන දේවතාවක් ලෙසින් පැරැණි ජන විශ්වාසයේ එන ගම්භාර දෙවියන්ට පහනක් තැබීම අතීත ජනයාගේ සිරිතක් ලෙසින් පැවති බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.
සූනියම් දෙවියන්ට පමණක් නොව ඕනෑම දෙවියෙකුට පහන් තබන විට නිරන්තරයෙන් පිරිසිදු විය යුතුය.ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් අදහනවා නම් එම නිවසේ පිරිසිදු පරිසරයක් තිබීම අතවශ්‍යය. ගම්භාර සිද්ධ සූනියම් දෙවියන් වෙනුවෙන් නිවසින් පිට පහන් ආලෝකය දල්වා ආශීර්වාදය ලබා ගැනීම සිදු කරන අතර, රාහු ග්‍රහයා ගෙන් සිදුවන අපල දුරුකර දෙන ලෙස ඉල්ලා ගම්බාර දෙවියන් යැදීම නිරන්තරයෙන්ම සිදුවේ.
ගම්භාර සිද්ධ සූනියම් දේවතාවුන් වහන්සේ වන්දනාමාන කරන ප්‍රධාන දේවාලය වන්නේ කුලියාපිටිය කැබැල්ලෑව දේවාලය වන අතර - ඇඹව දේවාලය, වර්තමානයේ මිනුවන්ගොඩ ගලේ දේවාලය මෙන්ම කතරගම ගම්භාර දේවාලය, සිද්ධ සූනියම් සූනියම් දෙවියන් අදහන අයගේ ප්‍රධාන පුජනිය ස්ථාන වේ.
සුනියන් දේවතා විත්ති කතාව
සූනියම් යන වචනයට අප රටේ ජනයා බියක් දැක්වුවත්, සූනියම් දේවතා යනු ලෝකයේ මුල්ම කොඩිවිනය කැපු දේවතාව වීම මත සූනියම් යන නම මෙම දෙවියන්ට ලැබී තිබේ. සුනියන් දේවතා විත්ති කතාවේ සඳහන් පරිදි මහා සම්මත රජ කාලය තෙක් විහි දී යන කතා වස්තුවකි. මහා සම්මත රජුගේ බිසව වු මහීපාල බිසව අතිශය රූමත් කාන්තාවකි. ඇගේ රූ සපුව දැක ගත් වසවර්ති මාරයා ඇයට වශී විය.
ඇය හිමිකර ගැනීමට මාන බැලූ වසවර්ති මාරයා, මහා සම්මත රජුට හොර රහසේ මහීපාල දේවියගේ කුටියට ගොස් ඇය හාද කර ගන්නට උත්සාහ ගත්තේය. ඊට ඇය ගෙන් ලැබුණේ සෘණාත්මක ප්‍රතිචාරයකි. ඊට උරණ වූ වසවර්ති මාරයා පළිගැනීමට සිතා සැලසුමක් ක්‍රියාවේ නැංවීය. අවිචී මහා නරකාදියෙන් පැන් ගෙන දපා, (18) රියනක් දිග පොළඟෙකු සිය බලය යොදා මවා, සැතපී සිටි දෙවියගේ තණ පුඩුවකට දෂ්ට කරවීය. දේවිය විෂමාත්‍රා විය. ඇය අසාධ්‍ය තත්ත්වයට පත්විය. සොවට පත් රජතුමා විෂ්ණු දෙවියන්ට සිද්ධිය පවසා දේවිය බේරා දෙන ලෙස ඉල්ලා ද සිටියේය. දේවියගේ කොඩිවිනය කැපීමට නේකවිධ බමුණන් කැඳ වු නමුත්, ඒ කිසිවෙකුට මෙම කොඩිවිනය කැපීමට නොහැකි විය. පසුව අජාකූඨ පර්වතයේ සිටින සූනියම් යක්ෂයා මෙම කොඩිවිනය කැපීමට සිටින සුදුසුම කෙනා බව බමුණෝ රජුට දැන්වූහ. ඒ අනුව රජු මාළිගයට පැමිණෙන්නැයි සූනියම් යක්ෂයාට ඇරියුම් කර පණිවුඩකරැවෙක් යැවූව ද, එය භාර ගැනුණේ නැත. ඔඩිස යක්ෂයා තෙදකාර, බලකාර, නම්බුකාර, ඒ නිසාම අහංකාර අයෙකි.

අවසානයේ විෂ්ණු දෙවියන්ගේ ආරාධනාව මත සූනියම් දේවතාවන් වහන්සේ විසින් ලෝකයේ මුල්ම කොඩිවින කැපීම සිදුකරන ලදහ.
තකිරිමකරි, යමදුති, කාලරාක්ෂි, අසෙනි, විසෙනි, ඉරුගල්කණ්ඩි, නාගරැපි, පුෂ්පරෑපි, තිලෝකදෙවි ඇතුළු නාග කන්‍යාවන් තිස්දහසක් පිරිවරා ගෙන – වමතෙන් ගිනිකබලක් ද, අතකින් කඩුවක් ද, මුඛයෙන් ලේ පොළඟෙකු සපාගෙන ද, මහීපාල බිසවට තමා විසින්ම කළ හූනියම සූනියම් දෙවියෝ කපා දැමූහ. සූනියම් කැපීම සඳහා දෙහිගෙඩි හතක් යොදා ගත් මුල්ම අවස්ථාව වූ නිසා - ඔඩ්ඩිස කුමරු සූනියම් දෙවියන් ලෙස එතැන් පටන් හඳුන්වන්නට යෙදුණි.
අදත් අප රටේ පමණක් නොව ඉන්දියාවේ ද යක්ෂ ප්‍රේත දෝෂ වලදී මෙන්ම, යාගවල දී ද සූනියම් දේවතාව මුල් කරගෙන සියලු කටයුතු සිදු කරනු ලබයි.
මහීපාල බිසවගේ කොඩිවිනය කැපීම නිසා සූනියම් යක්ෂයා ලෙස හැඳින්වූ ඔඩ්ඩිස කුමාරයා වෙත කතරගම හා විෂ්ණු දෙවියන් විසින් තේවා18 කට සේවය කරන්නට අණ කර, මිනිස් බිළි නොගන්නා ලෙස අණ කළහ. මිනිසුන් රැකීමටත්, ඔවුන්ට සේවය කරන්නටත්, වරමක් ලෙස බලය දුන් බව දේව සංකල්පවල සඳහන්වේ.
නියම් දේවතාව ලක්දිවට වැඩම කිරීම
විදේශයකින් මෙරටට සැපත්ව, මෙහි අණසක පතුරවන තවත් දෙවි කෙනෙකු වන්නේ කැබැල්ල දෙවියන්ය. ඉන්දියාවේ තෙළිඟු රටේ සිට ලංකාවට පැමිණි බව කැබලෑ පටුනේ සඳහන් වේ. සීතාවක රාජධානියේ රජ කළ පළමුවන රාජසිංහ රජු ශිව ආගම වැළඳගෙන ආඬි ගුරුන්ගේ උපදෙස් මත රට පාලනය කළ බව සඳහන්වේ. මෙම පිරිස් ද ඔඩ්ඩිස දේවතාව පිදූ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. මහනුවර වඩිග රජුගේ කාලසීමාවේ දී සූනියම් දේවතා පිදීම සිදුකර, ඉන්දියාවේ සිට රැගෙන ආ බිසවුන් රෝගාතුර වූ විට සූනියම් යාග හෝම සිදුකර තිබේ. ලාංකික ජනතාව ලංකාවේ ප්‍රාදේශීය දෙවිවරයකු ලෙස හඳුන්වයි. සත් කෝරලයට අයත් කුලියාපිටිය,කුඹල්වල හා ඇඹව යන දේවාල ප්‍රධාන ස්ථානයක් ගනු ලබයි.
සූනියම් දේවතාව ගැන ඔඩ්ඩිස කවි නැමති ග්‍රන්ථයේ හා කතිකාවත් තුළ සඳහන් වන්නේ - ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ දරුණු යක්ෂයෙකු ගෙන් ජනතාවට දැඩි පීඩනයක් ඇති වූ බවත්, එහිදී මන්ත්‍රකරුවන් විසින් මෙම යක්ෂයා මන්ත්‍ර පොතක තබා බැඳ ලංකාවට නැව් මගින් එවූ බවත්, නැව මාතරට පැමිණෙන ලදුව මන්ත්‍ර පොතේ බැඳ සිටි යක්ෂයා පොතද සමග ගොඩ බස්සවා ගෙන ඇති බවත්, ය.
මෙම පොත රජුට පිළිගැන්වීම සඳහා රාජදූතයන් වෙත ලබාදුන් බවත්, පොත රැගෙන ගිය රාජදූතයන් පොත තුළ ඇත්තේ මොනවා දැයි බැලීමට පොත පෙරළා ඇති බවයි. එහිදී පොත තුළ බැඳ සිටි යක්ෂයා එළියට පැන ගමේම සිටි පිරිමි පුද්ගලයන් මරා දමමින් කලබල කරන්නට විය. සිල්වත් උපාසකවරයකු විසින් බුදුගුණ කියා නව ගුණ මාලයක් යක්ෂයා කරට දැමුවත්, එය ද කඩා දමා ගමට වින කරන්නට විය.
පසුව ගම්වාසින් පුදපූජා තබා මෙම දරුණු යක්‍ෂයා ගෙන් ගම බේරා දෙන ලෙස පත්තිනි මැණියන් ගෙන් අයැද සිටින්නට විය.
පත්තිනි දේවියන්ගේ අනුහසින් මෙල්ල වු යක්ෂයා කැබැල්ල මුත්තා නමින් ජනතාවට සෙත් ශාන්තිය ලබාදෙමින්, ගම්භාරව සේවය කරන බැව් ජනප්‍රවාදයේ සඳහන් වේ.
සුනියම් දේවතාවන්ට පහන් තබා කඩ වුවහොත් දඩුවම් ලැබෙනව ද?
සූනියම් දෙවියන්ට පහන් තැබීමේ දී එම පහන් නිවස තුළ දැල්වීමක් නොකරයි. එහිදී නිවස ඉදිරිපිට පහන් පැලක් තනා, නිවසට ආලෝකය නොවිහිදෙන පරිදි දැල්වීම කළ යුතුය. බොහෝ දෙනා සුනියම් දෙවියන්ට පහන් තබා, යම් හේතුවක් නිසා එය අඛණ්ඩව සිදුකිරීමට නොහැකිවී ගියහොත් - හිරිහැර කරදර සිදුවෙන බව සඳහන් කරති. එය දේව සංකල්ප නොදන්නා කට්ටඩියන් ඇදුරන් විසින් පතුරවන අසත්‍ය කරුණකි. කෙසේ වෙතත් එය අසත්‍ය බව දන්නා ඇතැම් අය ද, සූනියම් දෙවියන්ට පහන් තැබීමට බියක් දක්වති.
සූනියම් දෙවියන්ට පහන් තැබීමේ දී “රාත්‍රී නමයයි පහ” වේලාව වඩා යෝග්‍ය වන අතර - පිච්චමල්, විළඳ, මීපැණි තැබීම තුළින් දෙවියන් පහදා ගැනීමට හැකිය. වෙනත් දෙවියන් පුදන අයුරින් වැඳ නමස්කාර කර දෙවියන්ට පින්දීම තුළින්, ගම්බාර අප්පච්චිගේ පිහිට ලබා ගැනීමට හැකි වේ.
මිනිසුන් නැසීමට සූනියම් දෙවියන් ඉදිරියේ පොල් ගැසීමට අපේ රටේ ඇතැම් පිරිස් ක්‍රියා කිරීම ද දැක ගත හැකිය. එහෙත් එවැනි ක්‍රියා දෙවියෝ අනුමත නොකරති.
කතරගම කේ. ඩි දේවප්‍රිය
(තෙරතුරු ලබා ගැනිම කබලැපටුන. ඉන්දියාවේ සමයවපුරම්.මදුරවිර කෝවිල තෙරතුරැ. ගැම් කතිකා .ජනප්‍රවාද .බලි තෙවිල් කවි තුලින්)

