එංගලන්තයේ අගනුවර වන ලන්ඩන්හි සුප්‍රකට පෞරාණික ඉදිකිරීමක් වන ලන්ඩන් ටවර්ස් නමැති ඓතිහාසික බළකොටුව තේම්ස් නදී තෙර දකුණු ඉවුර ආසන්නයේම පිහිටා ඇත. උස් කුලුන යන අරුතැති “ටවර්ස්” යන නාමය මෙම ගොඩනැගිල්ල සඳහා භාවිත වෙතත් ඇත්ත වශයෙන්ම එය තැන් තැන්හි මහල් දෙක තුනකින් යුක්තව විශාල භූමි පරාසයක් පුරා පැතිරී ඇති ගාම්භීර බළකොටුවකැයි කිව හැකිය. බළකොටුවකැයි කීවද හමුදා භට කණ්ඩායම්වලට ලැගුම්ගැනීම සඳහා ඉදිකරනු ලැබූ ස්ථානයක්ද නොවන්නේය. රාජකීය ගණයේ සිරකරුවන් රඳවා තබා ගැනීමටත්, ඔවුන්ට වධ හිංසා පැමිණවීමටත්, අවශ්‍ය වූ විටෙක ඔවුන් හිස ගසා දැමීමට හෝ එල්ලා මරා දැමීමටත්, අවසානයේ බළකොටුව ආසන්නයේම පිහිටුවා තිබූ “ටවර් හිල්” නමැති සුසාන භූමියේ මිහිදන් කිරීමටත් සියවස් ගණනාවක් මුළුල්ලේ එංගලන්ත රාජාණ්ඩු පුරුද්දක් කොටගෙන පැවැතී ඇත.
ඓතිහාසික ලන්ඩන් කුලුන ලක්ෂ සංඛ්‍යාත සංචාරකයන් ආකර්ෂණය කළ ඉදිකිරීමක් බවට පත් වී ඇත්තේ එහි හාත්පසින් පිහිටි යෝධ ප්‍රවේශන දොරටු, ආරක්ෂක භට ප්‍රතිමා ආදිය නිසාම පමණක් නොවේ. එසේම එය ඓතිහාසික රජ මාලිගයක් ද නොවන්නේය.
රජවරුන්, බිසෝවරුන් හා රාජ කුමාරවරුන් එහි ආ ගිය බවට සාධක ඇතත් ලන්ඩන් කුලුන වනාහි වඩාත් ප්‍රචලිතව ඇත්තේ රාජකීය සිරමැදිරියක් මෙන්ම වධකාගාරයක්ද වශයෙනි. මෙහි සිරකරුවන් බවට පත් කරන ලද්දේ රාජකීය වරදකරුවන්, උසස් ප්‍රභූන් මිස රටේ සාමාන්‍ය ජනයා නොවූ බවට ද සාධක බහුලව ඇත.
“ලන්ඩන් කුලුන” (Tower of London) යන ව්‍යවහාරයෙන් යෝධ උස් කුලුනක්, එනම් ශ්‍රී ලංකා අගනුවර මෑත අතීතයේ ඉදිකර ඇති “නෙළුම් කුලුන” වැනි උස් ස්තම්භයක් සිත්හි මැවෙන්නට පිළිවන් වුවද ඇත්ත වශයෙන්ම එය විශාල ඝනකම සහිත ශක්තිමත් ප්‍රාකාරවලින් සමන්විත වූ ආරක්ෂක බළකොටුවකි. ප්‍රාකාරය දිගටම තැන් තැන්හි අහස දෙසට විහිදී ගිය පත්තිරිප්පු වැනි උස් ඉදිකිරීම් සමූහයක් ද වෙයි. ඒවාට වෙන්වූ විවිධ නම් ද තිබීම සුවිශේෂය. “සෝල්ට් ටවර්”, බෝෂෑම්ප් ටවර්, ග්‍රීන් ටවර්, වයිට් ටවර්, ස්පර් ටවර්, මාර්ටින් ටවර්, ශාන්ත තෝමස් ටවර්, වෙල් ටවර් ආදී වශයෙන් ඒවා නම් කරනු ලැබ ඇත්තේය. මෙම සෑම කුලුනක්ම පුද්ගලයන් සිරකොට තබාගත හැකි මැදිරිවලින් යුක්ත වීමද විශේෂත්වයකි.
කුලුනට අනුබද්ධ විවිධ ශාලා, කාමර සහ සිරමැදිරි ආදිය සුපරික්ෂාකාරී ලෙස නරඹන සංචාරකයන් තුළ භීතිය දනවමින්, එහි මගපෙන්වන්නන් විසින් සිදුකෙරෙන ඇතැම් විස්තර බ්‍රිතාන්‍ය දේශයේ ඉතිහාසයට බද්ධ වී ඇති ත්‍රාසජනක සිද්ධීන්මය. බ්‍රිතාන්‍ය තුළ බෙහෙවින් රුධිරය ගලා ගියැයි සැලකෙන වධකාගාරය ද මෙම ලන්ඩන් කුලුන වූ නිසාම “ලෝහිත කුලුන (BLOODY TOWER) යන අන්වර්ථ නාමයක්ද ඊට යෙදී ඇත. මේ නිසාම සියවස් හතක් මුළුල්ලේ එහි හොල්මන් සහ අවතාර සුලභව ගැවසී ඇති බව ද ප්‍රකට කරුණකි.
ඒවා අතර පළමුවැන්න ක්‍රි.ව. 1241 දී වාර්තා වී ඇත. ඊට වසර හැත්තෑ එකකට ඉහතදී ඝාතනය කරනු ලැබී යැයි කියැවෙන ශාන්ත තෝමස් බෙකට් පූජකවරයාගේ අවතාරයයි. එතුමා ඝාතනයට පත් කරනු ලැබූ ස්ථානය බ්‍රිතාන්‍යයේ සුප්‍රකට කැන්ටබරිහි දේවස්ථානය වුවද ලන්ඩන් නගරවැසියකු වූ හෙතෙම ක්‍රි.ව. 1162 දී කැන්ටබරි දේවස්ථානයේ ආච්බිෂොප් පදවියට පත් කරනු ලැබීමට ප්‍රථමයෙන් ලන්ඩන් කුලුනේ ප්‍රධාන ආරක්ෂක නිලය වූ “කොන්ස්ටබල්” තනතුර හොබවා ඇත. ඝාතනයට ලක්වූ ආච්බිෂොප්තුමන්ගේ අවතාරය ප්‍රථම වරට දැක ඇත්තේ බුද්ධිමත් හා ශ්‍රද්ධාසම්පන්න පූජකතුමකු විසිනැයි ද වාර්තා වී තිබේ. කුලුනට අනුබද්ධව ඉදිකෙරෙමින් පැවැතියේ යැයි කියනු ලබන අලුත් බිත්ති කිහිපයක් විනාශ කිරීමට තෝමස් බෙකට් අවතාරය පැමිණ ඇත්තේ ප්‍රහාරක අවියක් වශයෙන් විශාල ලෝහමය කුරුසයක් සුරතින් දරාගෙනය. බිත්ති බිඳ හෙළීමට හේතුව වූයේ කුලුනේ එම ව්‍යාප්තිය නිසා අසල්වාසීන් සතු වටිනා දේපළ ඔවුන්ට අහිමිවීමක් සිදුවූ නිසා බවද කියනු ලැබේ. කුරුස ප්‍රහාර ගත් බිත්ති භූ චලනයකදී මෙන් දෙදරා බිම පතිත වූයේ යැයි ද එම අවතාරය දුටු පූජකතුමා විසින් පවසා ඇත.
පසුකාලීනව වාර්තා වී ඇති කුලුන ආශ්‍රිත අවතාර සියල්ලම පාහේ පෞද්ගලික ප්‍රශ්නවලට සම්බන්ධ වූවන් පිළිබඳවය.
අටවැනි හෙන්රි රජතුමාගේ භාර්යාවන් හය දෙනා අතුරින් දෙවැන්නිය වූ ඈන් බොලීන් බිසව නිරන්තරයෙන් කුලුන ආශ්‍රිත අවතාරයක් වී ඇත. වසර ගණනාවක් මුළුල්ලේම එම අවතාරය කුලුනේ අභ්‍යන්තර ආරක්ෂාව භාර භටයන් විසින් දක්නා ලදැයි වාර්තා වෙයි. අවතාරය දැක බියට පත්ව සිහිමුර්ජා තත්වයට පත් එක් අහිංසක භටයකු යුද අපරාධ විනිශ්චය මණ්ඩලයක් හමුවට යොමු කරනු ලැබී යැයි වාර්තා වී ඇත්තේ ‘රාජකාරි වේලාව තුළ නින්දට පත්වීම’ යන චෝදනාව මතය. කෙසේ වුවද නඩු විභාගය අවස්ථාවේදී එම භටයා විසින් පැහැදිලි ලෙස පවසා ඇත්තේ කුලුනේ වූ රාජකීය කාමරය අසල එළිමහනේ තමා සේවයෙහි යෙදී සිටියදී හිමිදිරියේ මීදුම් පටල මැදින් සුදු පැහැති විස්මිත රුවක් මතු වී ආ බවකි. එම රුවෙහි හිස කොටස වසා වස්ත්‍රයක් තිබුණද එහි හිසක් නොතිබුණු බවද එම භටයා විසින් පවසා තිබේ. රජතුමාගේ රයිෆල් භට හමුදාවට අනුයුක්තව සේවය කරමින් සිටි මෙම භටයා තමාගේ රයිෆලයේ බයිනේත්තුවෙන් එල්ල කොටගෙන අවතාරය ඉදිරියේ සිටිමින් තෙවරක්ම අභියෝග කළේ නමුත් අද්භූත රුව ඔහු දෙසටම එමින් සිට ඇත. ඔහු තම බයිනේත්තුවෙන් ආගන්තුක රුව වෙතට ඇනීමේදී රයිෆල් බටය ඔස්සේ ගිනි දලුවක් ගමන් කරත්ම භටයා සිහිසුන්ව බිම ඇදවැටී ඇත.
වෙනත් සෙබළුන් දෙදෙනෙක් සහ නිලධාරියෙක්ද ලෝහිත කුලුනේ කවුළුවක් තුළින් එම අවතාරය දැක ඇති බවක් ද සාක්ෂි විභාගයේදී හෙළි වී තිබිණ. ඈන් බොලීන් බිසවුන්ගේ හිස ගසා දැමීමට පෙර දින එම බිසව රාත්‍රිය ගත කළ කාමරයට පහළින් වූ ස්ථානයේදී එම අවතාරය දිස්වී ඇති බවත් හෙළිවීමෙන් අනතුරුව යුද අධිකරණය විසින් එම අවාසනාවන්ත මුර භටයා සියලු චෝදනාවලින් නිදහස් කළ බවද වාර්තා වී ඇත. ඈන් බොලීන් බිසවුන්ගේ හිස ගසා මරණයට පත් කරනු ලැබූ දිනය ක්‍රි.ව. 1536 මැයි මස 19 වැනිදාය.
දින දහසක් පමණක් රජුගේ බිසව් තනතුරේ පසුවූ ඈන් බොලීන් බිසව ඉංග්‍රීසි කගපත් කෙරෙහිත් ඉංග්‍රීසි ජාතික ගහලයන් කෙරෙහිත් මහත් භීතියක් පළ කිරීමේ හේතුවෙන් ඇගේ හිස ගසා දැමීමේ කාර්යය සඳහා ප්‍රංශයේ නිෂ්පාදිත කගපතක් මෙන්ම ප්‍රංශ ජාතික වධකයකුගේ සේවය රජුගේ අණ පරිදි සපයා දී තිබුණද ඉන් ඔබ්බේ කිසිදු රාජකීය අනුකම්පාවක් මෙම රජ බිසවට හිමි වී නොමැත්තේ යැයි ද කියනු ලැබේ. බිසවුන්ගේ හිස සුන් සිරුර පරණ ඊතල පෙට්ටියක් තුළ බහා ශාන්ත පීතර දේවස්ථාන භූමියේ මිහිදන් කරනු ලැබ ඇත්තේද අසාමාන්‍ය කඩිමුඩියේ බවට ද වාර්තා පළ වී ඇත.
ස්ථානීය මුර සේවයේ නියුතු භටයන් කිහිප දෙනකු විසින්ම ඈන් බොලීන් බිසවුන්ගේ අවතාරය දැක ඇත්තේ ‘ලෝහිත කුලුනු බිමට’ අයත් තණ බිමේ කෙළවරක පිහිටි කුඩා දේවස්ථාන භූමියේදී යැයි ද කියනු ලැබේ.
එක් රාත්‍රියක රාජකාරියේ නියුක්තව සිටි සෙබළකු විසින් දැක ඇත්තේ දේවස්ථානය තුළ බියකරු ආලෝකයක් පැතිරී ගිය බවකි. නිරීක්ෂණය පිණිස ඉනිමගකට නැඟගත් සෙබලා විසින් දැක ඇත්තේ බ්‍රිතාන්‍යයේ ටියුඩර් රාජ පරපුර බලයේ සිටි සමයට අයත් වස්ත්‍රාභරණවලින් සැරසීගත් වංශාධිපතින් සහ ආර්යාවන් පිරිසක් දේවස්ථානය තුළ මධ්‍යගත ගමන් තීරුවේ ඉදිරියට ගමන් කරමින් සිටි විලාශයයි. පිරිස අතර ඉදිරියෙන්ම ගමන්ගත් කාන්තාව ඈන් බිසව සේ පෙනී ගිය බව ද කියනු ලැබේ. ප්‍රභූ පිරිස දේවස්ථානයේ පූජාසනය වෙතට ළඟා වෙත්ම සියල්ලෝම ක්ෂණයකින් අතුරුදන් වූහයි ද කියනු ලැබේ. එසේම දෙව් මැදුර යළිත් අන්ධකාරයේ ගිලී ඇත.
ඈන් බොලීන් අවතාරය ඇගේ අවසානය සිදුවූ ලන්ඩන්හි ලෝහිත කුලුන පරිසරයට පමණක් සීමා නොවූ බවට ද වාර්තා ඇත. ඇය ඝාතනයට ලක්වී සෑම වසරක් ගෙවී ගිය දා ඇගේ හිස රහිත අවතාරය ඇය ළමා අවදිය ගත කළ නෝෆෝක් ප්‍රදේශයේ බ්ලික්ලිං හෝල් නමැති ග්‍රාමීය ප්‍රදේශයේදී අශ්ව රියකින් ගමන් කරනු එහි ගැමියන් කිහිප දෙනකු විසින්ම දැක ඇතැයි පැවසේ. තවද එසෙක්ස් ප්‍රාන්තයේ වූ රොච්ෆෝර්ඩ් හෝල් ගමෙහිද නත්තල ඉකුත් වී දින දොළස ඇතුළත මෙම බිසවගේ හිස සුන් අවතාරය සැරිසරනුයේ යැයි වාර්තා වී තිබේ.
එහෙත් ඈන් බොලීන් අවතාරය සුලභ දසුනක් බවට පත්වී ඇතැයි ප්‍රචලිතව ඇත්තේ ලන්ඩන්හි ලෝහිත කුලුන පරිශ්‍රයේමය. වෙනත් පුද්ගලයන් සඳහා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වීමට ආසන්න දිනයන්හිදීත් ඈන් බොලීන් අවතාරය දෘෂ්‍යමාන වෙතැයි ද මතයක් පවතී.
1915 වසරේ පෙබරවාරි මාසයේ දිනෙක අලුයම 2.00 ට සාජන්ට් විලියම් නිකොල්ස් ඔහුගේ මුර භටයන් විසින් දැක ඇත්තේ දුඹුරු පැහැති ඇඳුමකින් සැරසීගත්, ගෙල වටා ලොවිච්චියක් පැළැඳි ස්ත්‍රියකි. ඈන් බොලීන් බිසවුන්ගේ අවතාරය ලෙසට මුර භටයන් විසින් හඳුනාගනු ලැබූ එය තේම්ස් ගංගාව දෙසට ගමන් කර පාෂාණමය තාප්පයක් තුළට අතුරුදන් වූ සෙයක් පෙනී ඇත. මෙකී දසුනට පැය පහකට පසුව අසල වූ දිය අගල ආසන්නයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබ ඇත්තේ ප්‍රථම ලෝක සංග්‍රාම අවධියෙහි සිර භාරයට ගන්නා ලද ජර්මන් ජාතික ඔත්තුකරුවන් එකොළොස් දෙනා අතුරින් එකෙකි. ඈන් බොලීන් බිසවුන්ගේ අවතාරය අවසන් වරට දර්ශනය වූ බවට වාර්තා වී ඇත්තේ 1993 වසරේ පෙබරවාරි මාසයේ දිනකය. තමන් දෙසට කවන්ධ රූපයක විලාශයෙන් පාවී එන්නාක් වැනි වූ ස්ත්‍රී රූපය දැක ඇත්තේ ද මුර භටයකු විසිනි.
ලන්ඩන් කුලුන ආශ්‍රිත භූමියෙන් වාර්තා වී ඇති 16 වැනි සියවසට අයත් කාන්තා අවතාර ත්‍රිත්වයක් ද වෙයි. ඔවුන්ද ලෝහිත කුලුනේදීම හිස් ගසාලනු ලැබූවන්ගේ අවතාරමය.
අටවැනි හෙන්රි රජුගේ පස්වැනි බිසවුන් වූ කැතරීන් හොවාර්ඩ් හිස ගසා මරනු ලැබ ඇත්තේ 1542 වසරේ දිනකය. ඇගේ අවතාරය ලන්ඩන් කුලුනේ බිත්ති මත ඇවිද යනු දුටු බව ප්‍රකාශ කළවුන් කිහිප දෙනෙකි. 1541 වසරේදී හිස ගසා මරණයට පත් කරන ලද සැලිස්බරි ප්‍රාන්තයේ මාග්‍රට් නමැති සිටුවරියගේ අවතාරයක් සිද්ධියට පසුව වර්ෂ පූර්ණ අවස්ථාවන්හිදී කුලුන තුළ සැරිසරා ඇත. ඇය ඝාතනයට ලක් කරනු ලැබූ අවස්ථාව පිළිබඳව ද විස්තර වාර්තා ඇත. සිටුවරිය මරහඬ දෙමින් සිටියදී දං ගෙඩිය වෙත ඇදගෙන ආ ගහලයාගේ ග්‍රහණයෙන් මිදුණු ඇය වධකස්ථානය වටා තෙවරක්ම වේගයෙන් දිවගොස් ඇත. තෙවරක්ම ස්වකීය එල්ලය වරද්දාගත් ගහලයාගේ සිව්වැනි කඩු පහරින් සිටුවරියගේ හිස කඳෙන් වෙන් වී වැටී ඇත්තේය.
දින නවයක් තරම් කෙටි කාලයක් පමණක් එංගලන්ත කිරුළ දරන ලද බවට වාර්තා වන ජේන් ග්‍රේ රාජිනිය ද ලෝහිත කුලුනේ දී හිස ගසා මරා දමනු ලැබීමෙන් අනතුරුව අවතාරයක් බවට පත් වී ඇතැයි කියනු ලැබේ.
පනස් හය හැවිරිදි වයසේ පසුවූ අටවැනි හෙන්රි රජු ක්‍රි.ව. 1537 දී මිය යන විට රාජ්‍යත්වය සඳහා නම් කරනු ලැබ ඇත්තේ එවකට නව වසරක් වයසැති ලාබාල දරුවාය. වැඩිහිටි ප්‍රභූන්ගේ අභිලාෂය පරිදි I වැනි එඩ්වර්ඩ් නමින් රාජ්‍යත්වයට පත් වූ ඔහු ක්ෂය රෝගියකු වශයෙන් මිය යන විට රජ කිරුළ සඳහා නම් කරන ලද්දේ තම අර්ධ සොයුරිය වූ කතෝලික දහම ඇදහූ මේරි කුමරිය වෙනුවට ප්‍රොතෙස්තන්ත ලබ්ධික ජේන් ග්‍රේ ආර්යාවගේ නාමයයි. ඉන් උද්ගත වූ ජනතා කැළැඹිලි මධ්‍යයේ ජේන් ග්‍රේ ආර්යාව දින නවයකට පසුව ලෝහිත කුලුනේදී එසේ හිස ගසා මරා දමනු ලැබුවාය.
ස්ථානීය ආරක්ෂාව පිණිස සේවයේ නිරතව සිටි මුර භටයන් (Sentries) දෙදෙනකු විසින් දැක ඇතැයි වාර්තා වී ඇති ජේන් ග්‍රේ ආර්යාවගේ අවතාරය 1954 පෙබරවාරි මස 12 වැනි දින ලෝහිත කුලුනේ අභ්‍යන්තර තාප්පයට පිටතින් වූ ගෙමිදුල ඔස්සේ “ලුණු කුලුන” (Salt Tower) අසලින් ධාවනයේ යෙදී ඇත්තේ අලුයම 3.00 ට බව ද වාර්තා වී තිබේ. ඒ අවස්ථාව වන විට ආර්යාව ඝාතනය කරනු ලැබී හාරසිය වසරක් ඉකුත් වී තිබීමත් විශ්මය දනවන කරුණකි. මෙම අවතාරය දර්ශනය වූ ස්ථානයේ සිට ඇය ඝාතනය වූ තැනට තිබූ දුර ප්‍රමාණය යාර 150 ක් පමණ වෙතැයි ද කියනු ලැබේ. මෙම සිද්ධියෙන් වසර තුනකට පසුව වේල්ස් ජාතික මුර භටයන් දෙදෙනකු විසින් ද “ලුණු කුලුන” මතදී දුටු බව කියැවෙන අවතාරය ගැවසී ඇති ස්ථානය එදා දාහත් හැවිරිදි වියෙහි පසුවූ ජේන් ග්‍රේ බිසවුන් ඝාතනයට පෙරාතුව සිරගත කොට සිටියා වූ ස්ථානය වීමද විශ්මයට තුඩු දෙන කරුණක් වී ඇත.
(මතු සම්බන්ධයි)
අධ්‍යාපනවේදී, ශාස්ත්‍රවේදී
සෝමපාල මල්ලවආරච්චි