භූ කම්පනවලට හුණුගල් බලපෑමක් නෑ
- 1615 දී කොළඹ සිදු වූ භූ කම්පනයකින් 2000ක්මිය ගිහින්
- කඳුකරයේ භූ කම්පනයක් වුවහොත් ජලාශවලට දැඩි බලපෑමක්
ලංකාවට භූ කම්පන අලුත් දෙයක් නොවේ. මෙහෙම කියනවිට සමහර අයට පුදුම හිතෙනු ඇත. ඇත්තෙන්ම පුදුම වීමට දෙයක් නැත. එයට හේතුව ලංකාවේ ජනතාවට භූ කම්පන ගැන දැනුම අල්ප හෙයිනි. 80 දශකයේ සිට අද දක්වාම ලංකාවේ සහ ලංකාව අවට භූ කම්පන ගැන පුළුල්ව පර්යේෂණ සිදු කරමින් විද්‍යාත්මකව කරුණු පහදා දෙන ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයෙකු අපට හමුවිය. ඒ මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නලය. රටවල් ගණනාවක සංචාරය කරමින් භූ කම්පන ගැන පුළුල්ව පරීක්ෂණ කටයුතු කර ඇති මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල මහතා මේ වන විට දකුණු අප්‍රිකාවේ බොස්ට්වානා විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි. ලංකාවේ හන්තාන මූලික අධ්‍යාපන ආයතනයේ කෙටි කලක් සේවය කර ඇති මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල මහතා එම කාලය තුළ භූ කම්පන ගැන සහ භූ තලයේ වෙනස්කම් ගැන පර්යේෂණ 50කට වඩා සිදු කර ඇත. අතීතයේ සිට අද දක්වාම ලංකාවේ සිදුවෙන භූ කම්පනවලට හේතුව ගැන පරීක්ෂණ කොට විද්‍යාත්මකව ඊට බලපාන හේතු සෘජුවම හෙළිදරව් කරන මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල මහතා සමග කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසුණි.
මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල මහතා 1999 අප්‍රේල් 21දා මිඩ්වීක්මිරර් පුවත්පතට ලබා දුන් සාකච්ඡාවකදී අනාවරණය කළේ අනාගතයේදී සුනාමි ව්‍යසනයකින් ලංකාව විනාශ වෙන බවය. මහාචාර්යවරයා එම ප්‍රකාශය සෘජුවම ප්‍රකාශ කර තිබුණි. එදා එම ප්‍රකාශය ගැන පසු විපරමක් කිරීමට කිසිවෙක් උනන්දු වූයේ නැත. මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල පවසපු ආකාරයටම සුනාමි ව්‍යසනයෙන් ලංකාවට දැඩි බලපෑම් ඇති විය. 1999 දී මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල මහතා එම ප්‍රකාශය කළේ භූ කම්පන ගැන සිදුකළ පුළුල් අධ්‍යනයකින් පසුව විද්‍යාත්මක කරුණු පදනම් කර ගනිමිනි. සුනාමි ව්‍යසනය එන විට ලංකාවේ භූ කම්පන මාන සවි කර තිබුණේ නැත. එනිසා ලංකාව තුළ ඊට පෙර සිදු වූ භූ කම්පන ගැන සොයා බැලීමක් කර නොතිබුණි.
ලංකාවේ පසුගිය කාලයේ සිදු වූ භූ කම්පන දෙස බලන විට කිව හැකි දෙයක් ඇත. එම කම්පනවලින් ලොකු බලපෑමක් නැති බවය. නමුත් රිච්ටර් පරිමාණ 5.0කට වැඩි භූ කම්පනයක් සිදුවුවහොත් එය මුළු ලංකාවටම දැනෙනු ඇත. ගොඩනැගිලි වලට දැඩි හානි සිදු විය හැක. යම් හෙයකින් රිච්ටර් පරිමාණ 7කට වැඩි භූ කම්පනයක් සිදුවුවහොත් එය සුනාමි තත්ත්වයක් දක්වා වර්ධනය වෙයි.
නමුත් මම 80 දශකයේ සිට ඉන්දියානු කලාපයේ භූ කම්පන ගැන පුළුල් අධ්‍යනයක් කළා. එහිදී මම ලේබනාරක්ෂක දෙපාර්තමේන්තුව සතුව තිබූ පැරණි ගැසට් ගැන අධ්‍යනයක් කළා. එම ගැසට්වල අඩංගු තොරතුරු මත අතීතයේ සිටම ලංකාවේ භූ කම්පන සිදුවූ ආකාරය ගැන නිරීක්ෂණය කළා. ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කළා.
මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල පවසයි.
එම තොරතුරු වලට අනුව ලංකාවේ භූ චලනයක් සිදු වූ බවට වාර්තා තිබුණි. ඒ 1800 ගණන් වලදීය. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රිච්ටර් පරිමාණ 6.2ක භූ චලනයක් එලෙස සිදු වී ඇත. එහි තොරතුරු සොයා ගැනීමට සාක්ෂි නැත. එම කාලයේ ජනාවාස අවම වීම ගොඩනැගිලි නොමැතිවීම මත එහි දැඩි බලපෑමක් නැති වූවා විය හැකිය. පෘතුගීසි පාලන කාලයේ එනම් 1615 අප්‍රේල් 14 වැනිදා කොළඹට ආසන්නව රිච්ටර් පරිමාණ 6ක භූ කම්පනයක් සිදු වූ බවට තොරතුරු ඇත. නිවාස 200ක් පමණ විනාශ වූ බවත් මිනිසුන් 2000කට ආසන්න ගණනක් මියගිය බවත් එම තොරතුරුවල සඳහන්‍් ය. 1881 දෙසැම්බර් 31 දා උදෑසන 7ට පමණ රිච්ටර් පරිමාණ 6.3ක භූ කම්පනයක් සිදු වී තිබේ. එම භූ කම්පනය මදුරාසියට ද දැනී ඇත. 1882 ජනවාරි 10 දින සිලෝන් ඔබ්සර්වර් පුවත්පතේ එම භූමිකම්පාව වාර්තා කර තිබුණේ ‘‘ලංකාවම කම්පනයෙන් සෙලවෙයි ” යනුවෙනි. එම භූ කම්පනයෙන් සිදු වූ දේපොළ හානි හෝ ජීවිත හානි ගැන දක්වා තිබී නැත. 1823 පෙබරවාරි 9 දින රිච්ටර් පරිමාණ 5.7 ක භූමිකම්පාවක් සිදු වූ බව සඳහන් වෙයි. එම කම්පනය කොළඹ අවට සිදු වී ඇති බවට වාර්තාවේ සඳහන් වෙයි. 1823 මාර්තු 23 දින රිච්ටර් පරිමාණ 5.0ක භූ කම්පනයක් මහර අවට ප්‍රදේශයේ සිදු වූ බවට තොරතුරු ඇත. එම භූ කම්පනය දකුණු ඉන්දියාවට ද දැනී ඇත. මහර ප්‍රදේශයේම රිච්ටර් පරිමාණ 3.7 ක භූ කම්පන දෙකක් සිදු වූ බවටද තොරතුරු ඇත. තවද රිච්ටර් පරිමාණ 3.0 ක භූ කම්පන 4ක් කොළඹ කළුපලුවාව ප්‍රදේශයේ සිදු වූ බවට තොරතුරු ඇත. මහියංගනය ප්‍රදේශයේ භූ කම්පන තුනක් සිදු වී ඇත. ඒ 1871 දෙසැම්බර් සහ 1891 අප්‍රේල් 1 සහ 18 දින වලදීය. අප්‍රේල් 18 සිදු වූ භූ කම්පනය බලංගොඩ, ගුරුතලාව, මස්කෙළිය, හැටන්, ලක්ෂපාන, බගවන්තලාව, පස්සර, තෙල්දෙණිය, මාතලේ, හඟුරන්කෙත, මහ ඉලුප්පල්ලම, තංගල්ල ආදි ප්‍රදේශවලට දැනී ඇත. 2004 වසරේ සුනාමියට මාස හයකට පෙර ලංකාවේ භූ කම්පනයක් සිදුවිය. එසේම 2004 නොවැම්බර් 19 දින ද ලංකාව තුළ තවත් භූ කම්පනයක් සිදු වී තිබෙන බව මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල පෙන්වා දෙයි.
1980 කාලයේ ලංකාවේ භූ තලයේ ඇති වී තිබෙන විභේද ගැන තමන් අධ්‍යනය කිරීමට පටන් ගත් බව මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල කියා සිටියි. එහිදී සොයා ගනු ලැබුවේ ලංකාව පිහිටි පෘෂ්ඨයේ පාංශු පැලුම් ඇති බවය. එවායේ විශාල විභේද ප්‍රමාණයක් ඇත. එම විභේද සිතියම් ගත කොට ඇත. ඒවා සිතියම් ගත කළේ 1983 වසරේ සිටය. ඒ කාලයේද ලංකාවේ භූ කම්පන සිදුව තිබුණි. මම සොයාගත් කරුණු අඩංගු ලිපියක් 2004 දී සකස් කර නැෂනල් ඇට්ලස් පොතෙහි පළ කළ බවද මහාචාර්යවරයා කියා සිටියි.
ලංකාවේ භූ චලන ඇති වෙන්නේ ඇයිද යන්න මුලින්ම විමසා බැලිය යුතුය. එය විහේද චලනය වෙන ආකාරය නිරීක්ෂණය කිරීමෙන් දැනගත හැකිය. එලෙස සොයාගත් දත්ත මත නිගමනය කළේ ලංකාව සම්පීඩනයකට ලක්ව ඇති බවකි. මේ සම්පීඩනය උතුරු සහ දකුණු දිශාවට සම්පීඩනය වෙයි. ඒ හේතුවෙන් උතුරු දිශාවට ලංකාව තෙරපුමකට ලක් වෙයි. මෙම සම්පීඩනය ගැන පරීක්ෂණ සිදු කර ඇත. එම සම්පීඩනය දැනුදු ක්‍රියාත්මක වෙයි. මෙය හේතුකොටගෙන ලංකාවේ විභේදන සමපීඩනයකට ලක්වෙයි. එම සම්පීඩනය හේතු කොටගෙන සමහර විභේද චලනය වීමට පටන් ගනියි. කාලයක් තිස්සේ විභේද අතර පැවති ඝර්ෂණය එකිනෙකට වෙනස් වී ගැබ්වී ඇති ශක්තිය විස්ථාරනය වීමට පටන් ගනියි. එමගින් විභේද චලනය වීමට පටන් ගනියි. එවිට ගැබ් වූ ශක්තිය භූ චලනයක් ලෙස ක්‍රියාත්මක වේ. ලංකාවේ භූ චලන ඇති වෙන්නේ ඒ ආකාරයටය. මේ භූ කම්පන ලංකාවේ ඕනම තැනක සිදුවිය හැක. එසේ නම් ලංකාවේ භූ කම්පන ඇති වීමට හුනුගල්වල බලපෑමක් නැති බවද මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල පෙන්වා දෙයි.
ලංකාව අවට සමහර විහේද මුහුදු පතුල දක්වා විහිදී ඇත. ඒවා දිගේද චලනය වීම් ඇති වෙයි. පසුගියදා අම්පාර පානම ප්‍රදේශයේ රිච්ටර් පරිමාණ 4 වැඩි භූ කම්පනයක් ඇතිවූයේ එලෙසය. මීට පෙරද පානම නැගෙනහිරට වෙන්නට රිච්ටර් පරිමාණ 5.2 ක භූ කම්පනයක් සිදු වී තිබේ. පානම ප්‍රදේශයේ හුණුගල් පිහිටා නැත. ලංකාවේ මෙතෙක් සිදු වූ භූ කම්පන සිතියම්ගත කළ විට දැකගත හැකි වූ කරුණක් වූයේ භූ කම්පන රාශියක් ලංකාවේ මධ්‍යම කලාපයේ සිදු වී ඇති බවය. එය ලංකාවේ බටහිර සිට නැගෙනහිර දිශාවට මධ්‍යම කදුකරය හරහා විහිදෙන කලාපයකි. එම කලාපයේ වැඩිපුර භූ කම්පන ඇතිවෙයි. එලෙස බලන කල ලංකාව හරහා භූ කම්පන කලාපයක් විහිදී ඇති බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.
මේ කාරණා කියන්නේ ජනතාවට බිය වීමට නොවේ. භූ කම්පන ගැන නිසි දැනුමක් ලබා ගැනීමටය. මධ්‍ය කඳුකර ප්‍රදේශයේ පසුගිය කාලයේ සිදුවූ සියලු භූ කම්පනවලට හේතුව එයයි. සම්පීඩනය, විභේදන සහ චලනය ගැන පෙර කී ක්‍රමවේදයට එම කම්පන සිදු වී තිබෙන බවද මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල කියා සිටියි.
ලංකාව සම්පීඩනයකට ලක්වෙන්නේ කෙසේද කියා විද්‍යාත්මකව ඉදිරිපත් කළ යුතුය. 1980 අග සහ 1990 මුල් වකවානුවේදී අන්තර් ජාතිකව හඳුනා ගත්තේ ලංකාවේ දකුණු දෙසින් විශාල භූ කම්පන කලාපයක් ඇති බවය. ලංකාවේ දකුණු දෙසින් කිලෝ මීටර 300-350 වන්නට මුහුදු පතුලේ විශාල භූ කම්පන සිදුව ඇත. එම කම්පන රිච්ටර් පරිමාණ 5 සහ 7 වැඩි ඒවාය. මෙම භූ කම්පන කලාපයේ විභේද සහ චලන, භූ කම්පන රටාව පරීක්ෂණ කළ භූ විද්‍යාඥයින් නිගමනය කළේ ලංකාවට දකුණු දෙසින් අලුත් භූ කම්පන කලාපයක් ඇති වී තිබෙන බවය. මෙම අලුත් භූ කම්පන කලාපය ඇතිවෙන්නේ වසර මිලියන ගණනකට පෙර සිටය. මීට පෙර ලංකාවේ භූ චලන ඇතිවූ කලාපය ලෙස හැඳින්වූයේ ඉන්දියානු සහ ඕස්ට්‍රේලියානු භූ තලය කියාය. නමුත් දැන් ලංකාවේ දකුණු දෙසින් අලුත් භූ කම්පන කලාපයක් බිහි වී ඇත. මෙම කලාපය දැන් වෙන් වීම ඇරැඹී තිබේ. එය අද හෙට වෙන් වන්නේ නැත. එම වෙන්වීම සිදු වෙන්නේ තවත් වසර මිලියන ගණනකිනි. සුමාත්‍රා කලාපයේ වෙන්වීමේ සිදුවීමට සමාන සිදු වීමක් දකුණු කලාපයේ සිදුවීම දැන් පටන් ගෙන ඇත. එමගින් එම කලාපයේ වෙන්වීමක් අපේක්ෂා කළ හැකිය. අලුත් භූ කලාපයක් ඇති වීමේ ප්‍රතිඵලයක් ලෙස ඉන්දියානු කලපය තෙරපීමකට ලක්වීමට පටන් ගෙන ඇත. හිමාලය ඇත්තේ ද භූ තල පැලුමකය. එය ඉන්දියානු තලය හා උතුරින් ඇති යුරේෂියානු තලය සමග තල ගැටීමක්ද සිදුවෙයි. එම නිසා ඉන්දියානු තලය දකුණු දෙසට තෙරපුමකට ද ලක්වෙන බව මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල පෙන්වා දෙයි.
හිමාලය සහ දකුණු භූ තලය අතර පිහිටි ඉන්දියානු තලය ලංකාවද ඇතුළුව සම්පීඩනයකට ලක්වී ඇත. මේ සම්පීඩනය හේතු කොටගෙන ඉන්දියානු තලයේ විභේද උතුරට සහ දකුණට චලනය වෙයි. එමගින් ලංකාව තුළ සහ අවට ඇති විභේද ද චලනය වීමට භාජන වෙයි. මේ හේතුවෙන් ලංකාව තුළත් අවටත් භූ චලන ඇති වෙයි.
පසුගිය කාලය පුරාවට ලංකාවේ ඇති වූ භූ කම්පන වලට හේතුව ලෙස භූ විද්‍යාඥයින් පෙන්වා දුන්නේ හුණුගල් කැඩීමය. එක දිගට හුණුගල් කැඩීමට ඩයිනමයිට් යොදා ගැනීම නිසාත් එකම ස්ථානයක බෝර දමන නිසාත් පැළීම් ඇතිවෙන බවකි. නමුත් භූ කම්පනයක් බෝර දැමීම නිසා සිදුවෙන්නේ නැත. සාමාන්‍යයෙන් බෝර දැමීමට හෑරීමක් සිදු කරන්නේ මීටරයක් පමණ ගැඹුරටය. එමගින් කිසිම විටෙක භූ කම්පනයක් ඇතිවීමක් සිදු නොවේ. භූ පර්ෙය්ෂණ වලදී විශාල ඩයිනමයිට් ප්‍රමාණයක් යොදාගෙන මීටර 25ක් පමණ ගැඹුරට හාරයි. ඉන් පොඩි කම්පන සිදුවෙයි. එමගින් නිකුත් කරන තරංග භූ කම්පන තරංගවලට සමානය. එම තරංග නිර්මාණය කළ එකකි. නමුත් එම තරංගවලට කිසිම විටෙක භූ කම්පන තරංග කිට්ටුවටත් පැමිණිය නොහැකිය. එම තරංගවලට රිච්ටර් පරිමාණ 1 කට වත් ළඟාවිය නොහැකිය. එනිසා එක තැනක දිගු කලක් බෝර දැම්මා කියා භූ කම්පන ඇති වෙන්නේ නැත. භූ කම්පනයක් ඇති වීමට පොළව අභ්‍යන්තරයේ විභේදයක් තිබිය යුතුමය. නමුත් විද්‍යාත්මක මේ ගැන පරීක්ෂා කරනවා වෙනුවට ලංකාවේ සිදුවෙන්නේ මිථ්‍යා මතවල රැඳෙමින් ඊට ගරු කිරීමකි. යම් දෙයක් තර්කානුකූලව විද්‍යාත්මකව විමසා බලන්නේ නැත. එය බරපතළ ගැටලුවක් බවද මහාචාර්යවරයා කියා සිටියි.
සුනාමියට පෙර අපේ රටේ භූ කම්පන මාන ස්ථාපිත කර තිබුණේ නැත. ලංකාවේ නවීන භූ කම්පන මාන සවිකළ යුතු බව භූ පරීක්ෂණ වලින් පසුව තමන් නිර්දේශ කළ බව මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල කියා සිටියි. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය නවීන භූ කම්පන මාන ලංකාව ආවරණය වන පරිදි ස්ථාපිත කර ඇත. වික්ටෝරියා ජලාශයේද භූ කම්පන මාන දැන් අලුතින් සවි කර ඇත. සමහර භූ කම්පන මානවල සටහන් වෙන්නේ විශාල භූ චලන පමණි. සමහර මානවල සුළු කම්පන පවා සටහන් වෙයි. එලෙස සටහන් වෙන තරංගයක් සටහන් වී ඇති ආකාරය පරීක්ෂා කර බලා භූ කම්පනයේ විශාලත්වය පැවසිය හැකි බව මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල පෙන්වා දෙයි.
පසුගිය කාලයේ සිදු වූ භූ කම්පන ගැන නිරීක්ෂණය කිරීමේදී පෙනෙන්නේ හුනුගල් නිධි ආශ්‍රිතව පමණක් නොව හුණුගල් නැති ප්‍රදේශවලද භූ කම්පන සිදුවිය. පානම ප්‍රදේශයේ සිදු වූ කම්පනය ඊට හොඳම උදාහරණයකි. ජාතික ඇට්ලස් පොතෙහි ලංකාවේ භූ කම්පන ගැන පැහැදිලිවම මම ලියා ඇත. (එහි පරිච්ඡේද 3.4 හි පිටු 30-33හි ලංකාවේ භූ කම්පන ගැන සවිස්තරාත්මකව ලියා තිබේ. ලංකාවේ සිදුවෙන පොඩි පොඩි භූ කම්පන ගැන බිය විය යුතුද නැද්ද කියා විමසා බැලිය යුතුය. ඒ සඳහා කාරණා දෙකක් බලපායි. පෙර කී පරිදි ලොකු භූ කම්පනයක් ඒමට පෙර පොඩි පොඩි කම්පන ඇති විය හැක. ඒවා පෙර කම්පනය. විශාල විභේදයක් සහිත පාෂාණ පෘථිවි පෘෂ්ඨයේ ඇති විට ඒවා දෙපැත්තට චලනය වෙයි. එය කිහිප ආකාරයකට සිදු වෙයි. සිරස් චලනය වීම තිරස්ව චලනය වීම සිදු වෙයි. මීට අමතරව විභේදයක් දිගේ තිරස්ව සහ සිරස්ව චලනයට අමතරව විභේද දිගේ පැත්තට චලනය වෙයි. එය ‘‘ඕප් ලීක්” ලෙස හඳුන්වයි. මේ සෑම අවස්ථාවකම චලනයන් සමග විභේද චලනය වෙයි. එය භූ කම්පනයක් බවද මහාචාර්යවරයා පෙන්වාදෙයි.
තැන තැන සිදුවෙන භු කම්පන භයානක නැති අවස්ථාද තිබේ. භූ කම්පනයක් ඇති වීමට පෙර ශක්තිය එකතු වීමක් සිදුවෙයි. එලෙස කාලාන්තරයක් තිස්සේ එකතුවෙන ශක්තිය ඕනෑම අවස්ථාවක නිකුත් වීමක් සිදුවෙයි. ගැබ් වූ ශක්තිය වසර 10, 15, 20, 30, 40, 50 හෝ වසර 100 කින් වුවද නිකුත් වීමක් සිදුවිය හැකිය. නමුත් කෙටි කලකදි ගැබ් වූ ශක්තිය නිකුත් වෙන විට සුළු භූචලන ඇති වෙයි. එය වසර 20 - 30ක කාලයක දී වුවද විය හැකිය. වසර 50-60 කාලයකදි ගැබ් වූ ශක්තිය නිකුත් කරන විට එය මධ්‍ය භූ චලනයකි. වසර 100කින් පමණ ශක්තිය නිකුත් කරන විට එය අධික ශක්තියකින් නිකුත් වෙයි. එය විශාල භූ කම්පනයකි. පොඩි භූ කම්පනවල අධික ශක්තියක් ගැබ් වී නැත. නමුත් අධික ශක්තියක් සමග විශාල භූ කම්පනයක් ඇති වීමට පෙර සුළු භූ කම්පන ඇතිවිය හැකි බවද මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල පෙන්වා දෙයි.
ලංකාවේ මෑත කාලයේ භූ කම්පන තැනින් තැන සිදුවෙයි. එය එක් කලාපයක එකම දිශාවට විභේදයක් දිගේ සිදුවෙනවා නම් ලොකු භූ කම්පනයක් ඇති විය හැකි බවට අනතුරු හැඟවිය හැක. සිදු වී තිබෙන කම්පන එකම දිශාවකට එකම කලාපයක සිදු වී නොමැත. එනිසා බිය විය යුතු නැති බවද මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල කියා සිටියි.
එහෙත් මේ ගැන පුළුල් විමර්ශනයක් කළ යුතුය. ලංකාවේ පසුගිය කාලයේ සිදු වූ භූ කම්පන දෙස බලන විට කිව හැකි දෙයක් ඇත. එම කම්පනවලින් ලොකු බලපෑමක් නැති බවය. නමුත් රිච්ටර් පරිමාණ 5.0කට වැඩි භූ කම්පනයක් සිදුවුවහොත් එය මුළු ලංකාවටම දැනෙනු ඇත. ගොඩනැගිලි වලට දැඩි හානි සිදු විය හැක. යම් හෙයකින් රිච්ටර් පරිමාණ 7කට වැඩි භූ කම්පනයක් සිදුවුවහොත් එය සුනාමි තත්ත්වයක් දක්වා වර්ධනය වෙයි. ලංකාවේ කඳුකර ප්‍රදේශයේ රිච්ටර් පරිමාණ 5.5 වැඩි භූ කම්පනයක් සිදුවුවහොත් එමගින් කදුකර ප්‍රදේශයේ පිහිටා ඇති ජලාශවලට දැඩි බලපෑමක් ඇති කරණු ඇත. ලංකාවේ සිදුවෙන භු කම්පන හුණුගල්වලට ලඝු නොකොට පුළුල් විමර්ශනයක් කළ යුත්තේ එහෙයිනි. භූ කම්පන නැවතිය නොහැක. නමුත් ඉන් සිදුවිය හැකි හානිය අවම කර ගැනීමට පුළුවන. අප එය තේරුම් ගත යුතු බවද මහාචාර්ය විල්බට් කෙහෙල්පන්නල පෙන්වා දෙයි.
ප්‍රගීත් සම්පත් කරුණාතිලක
[email protected]