- රජ කුමරියක සාමාන්‍ය වැසියකු සමග විවාහ වෙන්නේ නම් ඇයට රජ සැප අහිමි වෙයි
ජපානයේ මකෝ කුමරිය සහ ඇගේ විශ්වවිද්‍යාල පෙම්වතා කෙයි කොමුරෝ ගේ විවාහ මංගල උත්සවය පසුගිය 26 වැනිදා සිදු විය. ඉතාමත් චාම් ආකාරයෙන් පැවැති එම මංගල උත්සවය පුවත් මවන්නක් විය. ඒ, විවාහයත් සමඟ මකෝ කුමරියට ඇගේ රාජකීයත්වය අහිමි වූ නිසාය. “ආදරය වෙනුවෙන් රජ පවුලෙන් සමුගත් කුමරිය” ලෙස මකෝ කුමරිය ප්‍රසිද්ධියට පත් වූවාය.
කුමරියගේ දීර්ඝ කාලීන පෙම්වතා කෙයි කොමුරෝ සාමාන්‍ය ජපන් පුරවැසියෙකි. ජපන් රජ පවුලේ නීතියට අනුව, රජ කුමරියක සාමාන්‍ය පුරවැසියකු සමඟ විවාහ ෙවන්නේ නම්, ඇයට රාජකීයත්වය අහිමි වෙයි. මකෝ කුමරියට ඇගේ රාජකීයත්වය අහිමි වූයේ ඒ අනුවය. මෙම නීතිය ජපානයේ කුමාරයන්ට අදාළ වන්නේ නැත.
කුමරියක එසේ සාමාන්‍ය වැසියකු සමඟ විවාහ වී, රජ පවුලෙන් නික්මී යද්දී, රජ පවුලේ සෙසු සාමාජිකයන්ගේ කැමැත්ත අනුව, කුමරියට රාජකීය මංගල උත්සවයක් සඳහා අවස්ථාව ලබාදීම සිදු වෙයි. එහෙත්, මකෝ කුමරිය රාජකීය විවාහ මංගල උත්සවයක් ප්‍රතික්ෂේප කළාය. රජ කුමරියක සාමාන්‍ය වැසියකු සමඟ විවාහ වී රාජකීයත්වය අත්හරින අවස්ථාවේදී එම කුමරියට රජ මැඳුරෙන් පිට වී යෑම වෙනුවෙන් ජපන් යෙන් මිලියන 150ක මුදලක් හිමි වෙයි. මකෝ කුමරිය එම මුදල ද ප්‍රතික්ෂේප කළාය.
මකෝ කුමරිය මෙන්ම කෙයි කොමුරෝ ද 30 වැනි වියෙහි පසු වෙති. මකෝ කුමරියගේ මාපියන් වන්නේ, ඔටුන්න හිමි ෆුමිහිතෝ කුමරු සහ කිකෝ කුමරියයි. ෆුමිහිතෝ කුමරු සහ කිකෝ කුමරියගේ වැඩිමහල් දියණිය මකෝ වන අතර, ඔවුන්ට තවත් දියණියක සිටී. ජපානයේ අධිරාජ්‍යයා නරුහිතෝ ය. මොහුට ද පුතුන් නොමැති අතර, සිටින්නේ එකම එක දියණියක පමණි. එහෙයින්, ජපානයේ මීළඟ අධිරාජ්‍යයා බවට පත් වීමට නියමිත මකෝ කුමරියගේ පියා ඔටුන්න හිමි ෆුමිහිතෝ කුමාරයාය.
විවාහය ලියාපදිංචි කිරීමෙන් අනතුරුව කුමරියගේ මංගල උත්සවය ඉතාමත් චාමෙට පැවැත්විණි. මකෝ කුමරිය ඉතාමත් චාම් නිල් ගවුමකින් සැරැසී සිටියාය. පසුගිය 26 වැනිදා ජපානයේ වේලාවෙන් උදේ 10.00ට කුමරිය, පියා ෆුමිහිතෝ කුමරුන්ට සහ මව කිකෝ කුමරියට කිහිප වරක් හිස නමා ආචාර දක්වා සමුගත්තාය. මකෝ කුමරියගේ නැගණිය 26 හැවිරිදි කාකෝ ඇය වැළඳ ගනිමින් සමු දුන්නාය. “අකසාකා” වතුයායේ පිහිටි නිල නිවෙසේ සිට රෙජිස්ට්‍රාර් කාර්යාලයට කුමරිය ගියේ රියැදුරු සමඟය. කෙයි කොමුරෝ ඇය පැමිණෙන තුරු බලා සිටියේය.

ආරම්භයේ පටන්ම මකෝ කුමරිය සහ කොමුරෝ ගේ ආදර සම්බන්ධය පිළිබඳව ජපාන වැසියන්ගේ පැසැසුමක් තිබුණේ නැත. කොමුරෝ ගේ පෙනුම ද ඊට ප්‍රධානතම හේතුවක් විය. මකෝ කුමරියගේ පෙම්වතා යැයි හඳුන්වා දෙන අවස්ථාවේදී කොමුරෝ කොණ්ඩය බැඳි සෙල්ලක්කාර තරුණයෙකි. රජ පවුලට කිසිදු ගරුසරුවක් නැති හාදයකු යැයි ජපාන වැසියන්ගේ අප්‍රසාදයට කොමුරෝ ලක් විය. ජපන් අධිරාජ්‍යයාට මෙන්ම රජ පවුලේ සාමාජිකයන්ට අසීමිත ලෙස ආදරය කරන සහ ගෞරවය දක්වන ජපන් වැසියන්, කෙයි කොමුරෝ සලකන්නේ ඔවුන්ගේ ආදරණීය කුමරිය ඔවුන්ගෙන් උදුරා ගැනීමට ආ තැනැත්තා ලෙසය.
කෙයි කොමුරෝ ගේ මව විවාහ වී නැත. ඇයට පෙම්වතකු සිටි අතර, දෙදෙනා විවාහ වීමට සූදානම් වුවත් විවාහය සිදු වී නැත. කෙයි කොමුරෝ ගේ පියා මෙම තැනැත්තාය. මව තනිවම කෙයි කොමුරෝ ලොකු මහත් කළ අතර, ඔහුගේ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් යෙදවීම් කර ඇත්තේ ඔහුය. කොමුරෝ ගේ මව සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධව රැකියාවක් කළ තැනැත්තියකි. 2017 වසරේ දී මකෝ කුමරිය සහ කොමුරෝ විවාහ ගිවිස ගැනීම සහ මංගල උත්සවය වෙනුවෙන් කටයුතු සූදානම් කෙරුණි.
එම අවස්ථාවේදී ජපානයේ ඕපාදූප පුවත්පත් කොමුරෝ ගේ තනිකඩ මව සහ ඇගේ පෙම්වතා ගැනත්, කොමුරෝ සහ මවගේ වත්කම් ගැනත් අනාවරණ රැසක් කළ අතර, මොවුන් දෙදෙනා ඇමෙරිකන් ඩොලර් 35,000ක ණයක් ගෙවීම මඟහැර ඇතැයි ද එම පුවත්පත් අනාවරණය කළේය. එම මුදල ණයක් නොව, ලැබුණු තෑගි මුදලක් යැයි කොමුරෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කිරීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක වූයේ නැත.
ඒ අනුව, 2018 වසරේ දී මකෝ කුමරියටත්, ජපානයටත් සමු දී වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට කොමුරෝ ඇමෙරිකාවේ නිව්යෝර්ක් ෆෝඩම් විශ්වවිද්‍යාලය බලා ගියේය. නීති උපාධිය සම්පූර්ණ කළේය. කොමුරෝ යළි ජපානයට පැමිණියේ පසුගිය 2021 සැප්තැම්බර් මාසයේය. කොමුරෝ ආපසු පැමිණියේ සෙල්ලක්කාර තරුණයකු මෙන් නොව, දැනුමින් ද අත්දැකීම්වලින් ද පරිණත තැනැත්තකු ලෙසය. ඔහු නිව්යෝර්ක් නුවර නීතිඥ සමාගමකට සම්බන්ධ නීතිඥවරයකු ලෙස රැකියාව කරයි. යළි ජපානයට පැමිණි පසු කොමුරෝ මාධ්‍ය වෙත පිටු 24කින් යුත් ලියැවිල්ලක් ඉදිරිපත් කළේ, ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් සියලු විස්තර සහිතවය. එහි සඳහන් වී ඇත්තේ, ආන්දෝලනයක් ඇති කළ ඩොලර් 35,000 අදාළ තැනැත්තාට යළි ගෙවා අවසන් කළ බවය.
විවාහ වීමෙන් අනතුරුව, පසුගිය 26 වැනිදා සවස මකෝ කුමරිය, කුමරියක ලෙස නොව සාමාන්‍ය ජපන් තරුණියක ලෙස සැමියා කෙයි කොමුරෝ සමඟ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වූවාය. මාධ්‍ය හමුව පැවැත්වීම සිදු වූයේ ඔවුන් විසින්ම මුදල් ගෙවා වෙන් කළ කුඩා ශාලාවකය. විශ්වවිද්‍යාලයේදී හමු වූ කෙයි කොමුරෝ තමාගේ ආදරවන්තයා සහ සැමියා ලෙස තෝරා ගැනීම සම්බන්ධයෙන් ජපාන වැසියන්ගේ සිත් තැවුලට පත්වීම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දී මකෝ එහිදී සමාව ඉල්ලීමක් ද කළාය. ඊට අමතරව තමන්ට සහාය දැක්වූ සියලු ජපාන වැසියන්ට සහ රජ පවුලේ සාමාජිකයන්ට ස්තුති කිරීමට ද මකෝ අමතක නොකළාය. කෙසේ නමුත් මංගල උත්සවය පැවැත්වෙද්දී පවා ඊට විරෝධය දක්වමින් ටෝකියෝ නුවර ස්ථාන කිහිපයක විරෝධතා පැවැත්විණි. නව යුවළ ඇමෙරිකාවේ පදිංචියට යෑමට නියමිතය.
ඩේලිමේල් ඇසුරිනි.
ලුසිත ජයමාන්න

