“පඤ්ඤාවන්තස්සායං ධම්මෝ දුප්පඤ්ඤස්ස” ලොව පහළ වූ ආගම් හා දර්ශනයන් අභිබවා බුදු දහම එදා මෙදා තුර දීප්තිමත්ව බැබළීමට හේතු වූයේ බුදු දහම ප්‍රඥාගෝචර දහමක් වූ බැවිනි. බුද්ධ දේශනාවට අනුව “මහණෙනි, මාගේ දහම නැණවතුන්ට මිස අඥානයන්ට නොවේ” යන අදහස හේතුවෙනි. “නිවන” අරමුණු කළ පුද්ගලයා ප්‍රඥාවෙන් කෙළවර දකින තුරු නිවනක් ද නොවේ. නිවන අරමුණු කරන යමෙක් වේ නම් ඔහු හෝ ඇය ප්‍රඥාව ආලෝකයක් කරගත යුතු වේ. ප්‍රඥාව මිනිසාට රුවනකි. පඤ්ඤා නරානං රතනං යනුවෙන් අදහස් කරන්නේ ද එයයි. පුද්ගලයා ගේ බුද්ධිය වර්ධනය හේතුවෙන් ප්‍රඥාව පහළ වෙයි. ප්‍රඥාව පහළ වූ පුද්ගලයාට මානසික සුවය ලැබීම අපහසු නොවේ. මානසික සුවය ඇති පුද්ගලයාට ධර්මය දැකීමට ද අපහසු නොවේ. එයට හොඳම සාධකය වන්නේ “කාලාම සූත්‍රය” යි. කාලාම සිටු පුත්‍රයාට බුදුන් දෙසූ දහම් කරුණු අතරේ ඇත්තේ නිදහස්ව සිතීමට ඇති අයිතියයි. සිතීමටත් ඒ අනුව හැසිරීමටත් ප්‍රඥාවන්තයාට බුදු දහමේ බාධාවක් නැති බව ප්‍රකට වේ.
දිනක් බුදුන් හමුවට පැමිණි කාලාම සිටු පුත්‍රයා භාග්‍යවත් ගෞතමයන් වහන්ස මම සිතීමේ නිදහස පිළිබඳ ශාස්තෘවරුන් ගණනාවකගෙන් විමසීම් කළා. එහෙත් ඔවුන්ගේ පිළිතුරු මගේ සිත සෑහීමකට පත් නොවේ. ඒ මොහොතේ කාලාම ගේ අරමුණ තෙරුම්ගත් බුදුරජාණන් වහන්සේ නිදහස, නිදහසේ සිතීම, ස්වාධීනත්වය, ස්වෛරීත්වය පිළිබඳව මෙසේ කාලාමට ප්‍රකාශ කළේය. කාලාම ඔබ මා කියන දේ වත්, පොතේ පතේ තියෙන දේ වත්, පරම්පරාවෙන් පවතින දේ වත්, ත්‍රිපිටකයේ කියන දේ වත්, ගුරුවරුන් කියන නිසාවත් නොපිළිගන්න. තමන්ගේ ප්‍රඥාවට ගෝචර වේ නම් කාලාම ඔබ එය පිළිගන්න. මෙය ඇසූ කාලාම බුදු වදන පිළිගෙන බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත්විය. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ට ප්‍රඥාවෙන් දැක සිතා බලා නිදහස්ව කටයුතු කරන්නට මං පෙත් සකස් කළේ ය. බෝසත් සිදුහත් කුමරු ප්‍රඥාව හේතුවෙන් පිය රජුගේ උපදෙස් හා අවවාද නොතකා ගිහි සැප හැරදමා, බවුන් වඩන්නට තරම් නිදහස් චින්තනයක් ගොඩනගාගෙන තිබිණි.
තවද සිදුහත් බෝසතුන් ආලාර කළාම, උද්දක රාමපුත්ත වැනි කේවල ඥානයන් දක්වා ප්‍රගුණ කළ ධ්‍යානවලට සමවැදුණු ශාස්තෘවරුන් හැර දමා බුද්ධිය මුල් කරගෙන විමර්ශනාත්මකව “කිං සච්ච ගවේසී” යනුවෙන් සත්‍ය කුමක් ද සොයා අත්තකිලමතානු යෝගය, කාම සුඛල්ලිකානු යෝගී අරමුණු මගින් නිවන පසක් නොවේය යන්න අවබෝධ කරගත් හෙයින් මධ්‍යම ප්‍රතිපදාවට ප්‍රවිෂ්ටව එය අනුගමනය කිරීම තුළින් බුදු බව ලැබූ හැටි ධම්මචක්ක සූත්‍රයෙන් මෙසේ විස්තර කරයි.
“ද්වේ මේ භික්ඛවේ, අන්තා පබ්බජිතේන න සේවිතබ්බා. යෝචා’යං කාමෙසු කාමසුඛල්ලිකානුයෝගෝ හීනෝ ගම්මෝ පෝථුජ්ජනිකෝ අනරියෝ අනත්ථසංහිතෝ. යෝචා’යං අත්තකිලමථානුයෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ථසංහිතෝ. කතමා ච සා භික්ඛවේ, මජ්ඣිමා පටිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණි ඤාණකරණි උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති”
බුදු දහම පිළිබඳව විශේෂ අවධානයක් ඇත්තෙකුට ඉතා පැහැදිලිව තේරුම් ගත හැක්කේ බුදු දහම භක්ති විෂය දහමක් නොව, බුද්ධි විෂය දහමක් බවයි. භක්තිවන්තයා නිරතුරුවම දෙවියන්, ගස් ගල්, පර්වත, ඉර හඳ, ග්‍රහ තාරකා, යක්‍ෂ භූතයින් පිළිබඳ බියෙන් කටයුතු කරයි.
එම අණට යටත්ව ජීවත් වේ. බිය නිසාම භක්තිය උපදියි. “බහුංචේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ඛ චේතියානි මනුස්සා භය තජ්ජිතා” මේ බුදු දහමේ පෙන්වා දීමකි. ඒ භක්තිවන්තයා ගේ ස්වභාවය යි. එහෙත් බුද්ධිවන්තයා ප්‍රඥාව ප්‍රධාන කොට ශ්‍රද්ධාව ඇති කර ගනියි. ශ්‍රද්ධාව නිසා පවට බය වේ. රැස් නොකරයි. එහෙයින් ශ්‍රද්ධාවන්තයා නිවන අරමුණු කොට පවතියි. ඒ ප්‍රඥාවෙන් පිරුණු ශ්‍රද්ධාවේ ස්වභාවය යි.
එමෙන්ම සිතීමේ හා විමසීමේ නිදහස පිළිබඳව පුද්ගලයෙකුට මනා අවබෝධයක් තිබිය යුතු වේ. වඳුරා දැළි පිහිය අතට ගෙන කරන ක්‍රියාව මෙන් අඥාණයා සිතීමේ හා විමසීමේ නිදහස අයුතු ලෙස ප්‍රයෝජනයට ගෙන තමන්ගේත් අනුනගේත් විනාශය පිණිස කටයුතු කරයි. එහි ප්‍රතිඵලය අනිෂ්ට වේ. එහෙයින් මානව නිදහස උදෙසා දහම් දෙසූ බුදු රජාණන් වහන්සේ බුද්ධිමතෙකු අමතා දේශනා කළ මානව නිදහසක් බව තේරුම් ගත යුතු ය. අලගද්දූපම සූත්‍රය පිළිබඳ අවධානයෙන් බලන කල “කුලුලූපං භික්ඛවේ ධමමං දේසිස්සාමි, නිත්තරණත්ථාය, නොගහනත්ථාය” මගේ ධර්මය සසරින් එතෙරවීම පිණිසමයි. ගංගාවකින් හෝ ජල ධාරාවකින් එතෙර වන්නට පහුරක් (පාරුවක්) අවශ්‍ය වේ. ගඟෙන් එතෙර වූ පසු පාරුව කර තබාගෙන නොයයි. එහෙයින් මගේ ධර්මය සසරින් මිදීමට බව මනාවට පෙන්වා දී තිබේ. බුදු දහමේ මානව නිදහස හා ධර්මය ඇසුරු කිරීමේ නිදහස මොනවට පැහැදිලි වේ.
තව ද වෙනත් ආගම් හා දර්ශනයන් පිළිබඳ විමසීමේ දී ඇසුරු කිරීමේ දී, ශාස්තෘවරයා ගැළවුම්කාරයෙකු හෝ කළ පවු භාරගන්නෙකු ලෙස පෙනී යයි. එහෙත් දාර්ශනික විමසීමේ දී බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ගැළවුම්කාරයා නොව ඒ බව මෙසේ උන්වහන්සේ පෙන්වා දී ඇත. “තුන්මේහි කිච්චං ආතප්පං දුක්ඛාතාරෝ තථාගතා” මහණෙනි මම මග පෙන්වමි, තොප ඒ මඟ ගොස් නිවනට පිවිසෙව්. ඒ බුදු රජාණන් වහන්සේ ගේ වචනය යි. ශාස්තෘවරයා නිසා වූ නිසාවත් නිවන අවබෝධ කළ නිසාවත් තවකෙකු අතින් අල්ලා ගෙන නිවන කරා රැගෙන යා නොහැකි බව පෙන්වා දෙයි. බුද්ධිය දියුණු කර ප්‍රඥාවෙන් ආලෝකය ලබාගන්නා තුරු එය තමාට කළ නොහැකි බව පෙන්වා දී තිබේ. බුදු බව ලැබූ දා සිට පිරිනිවන් මංචකය දක්වා ම මානව නිදහස උදෙසා ධර්මය තුළ ඇති ඉඩ කඩ නොඅඩුව විවර කළ බුදු රජාණන්වහන්සේ කාලයාගේ ඇවෑමෙන් මහණෙනි නිදහසට බාධාවක් එල්ලවේ නම්, විකෘතියක් ඇති තැන, ප්‍රකෘතියක් කරන්නට අවශ්‍ය වේ නම් මා විසින් ඛුද්ධානු ඛුද්ධක ශික්‍ෂාපද පනවා ගන්නා ලෙස වදාරමි. එය සංඝ සමාජයේ සම්මුතීන්ට කළ යුතු වේ. මෙසේ දේශනා කළ බුදුරජාණනන් වහන්සේ ගේ ප්‍රධාන අරමුණ වූයේ නිදහස් නිවහල් මානසිකත්වයට බුදු දහමේ ආලෝකය ලබාදීමයි. එය ගිහි පැවිදි සැමට මහත් වූ දායාදයකි.