මහාද්වීප හතම සම්පූර්ණයි යොහාන් පීරිස්, ඇලස්කාවේ සිට...


කඳු නැගීම ජීවිතයේ අභියෝගයකට එහා ගිය විනෝදාංශයක් කරගත් ඔහු ඒ විනෝදාංශය සීමා කළේ අපේ රටේ ඇති උසම කඳු තරණය කිරීම වෙනුවෙන් පමණක් නොවේ. රටින්-රටට, මහාද්වීපයෙන් මහාද්වීපයට සංචාරය කරමින්, සප්ත මහාද්වීපයන්හි ඇති උසම කඳු තරණය කිරීම ඔහුගේ අභිප්‍රාය වීය. ඒ අනුව ඔහු ඒ දුෂ්කර අභියෝගය පටන්ගත්තේ අප්‍රිකානූ කලාපයේ උසම කන්ඳ වන කිලිමන්ජාරෝ තරණය කරමින්ය. ඉනික්බිතිව, මිහිපිට ඇති උසම ස්ථානය වන එවරස්ට් මුදුනත සිපගත් ඔහු ඔස්ට්‍රේලියානු මහාද්වීපයේ ඇති උසම කන්ද වන කොසිඔස්කෝ (Kosciuszko) තරණය කළේය. එයින්ද නොනැවතී Elbrus( එල්බ්‍රස්-රුසියාව ), Vinson Massif( වින්සන් මාසිෆ්- ඇන්ටාක්ටිකාව ), Aconcagua( ඇකොන්කාගුවා- දකුණු ඇමරිකාව ),  යන කඳු තරණය කළේය. 

මහාද්වීප හතේ ඇති උසම කඳු නැඟ ලෝකයට තමා අභිමානවත් මිනිසකු යැයි සඵත කිරීමට තවත් ඉතිරිව තිබුණේ ඇලස්කාවේ ඇති ​ඩෙනාලි කන්ද තරණය කිරීමට පමණෙකි.   පසුගියදා  ඔහු ඒ අසීරු අභියෝගයද ජය ගත්තේ සප්ත මහාද්වීපයන්හි ලාංකීය සිංහධජය ඔසවා තැබූ අභිමානවත් මිනිසා තමා යැයි වාර්තා පොත් අතරට ස්වකීය නාමය සනිටුහන් කරවමිනි. 

මෙවන් අභියෝගයක් ජයගත් මිනිසුන් ලෝකයේම සිටින්නේ හාරසීයයකට ආසන්න ප්‍රමාණයකි. යොහාන් පීරිස් නමැති මේ මිනිසා  අද ලාංකීය අපට මෙන්ම ලොකයේ බොහෝ දෙනාහට අමුත්තකු නොවේ.  ඇලස්කාවේ ඇති උසම කන්ඳ වන ඩිනාලි කඳු ශිඛරය තරණය කිරීමත් සමග සප්ත මහාද්වීපයන්හි ඇති උසම කඳු තරණය කළ මේ මිනිසා ගැන ලෝකයේ බොහෝ දෙනා කතා වෙන මොහොතක, ඇලස්කාවේ ඩෙනාලි කඳු පාමුල සිට යොහාන් පීරිස් අදහස් මුදා හළේ මෙලෙසිනි. 

Q යොහාන්, මෙවර ඔබ මේ ගමනට එක් වූ විදිහ ගැන විස්තර කළොත්? කොහොම ද මේ ගමන පටන් ගත්තෙ සහ තරණය කිරීම ආරම්භ කළේ?

අනෙක් මහාද්වීපවල ඇති කඳු තරණයට එක් වු විදිහටම මේ ගමනට සුදානම් වුණා. ඒත් මෙවර අනෙක් සංචාරවලට වඩා වෙනස්. ලංකාවෙන් දෝහා වලට ගිහින් එතැනින් සියැටල් වලට ගියා, ඉන්පසුව, ඇලස්කා වලට ආවා. ගමන ආරම්භ කරන්න තිබුණෙ ඇලස්කාවෙන්. මුලින්ම යන්න තිබුණෙ පුංචි නගරයකට. මෙම සංචාරය සංවිධානය කරන සමාගමේ ශාඛාව තිබෙන්නෙ එම නගරයේ.  එතැන දින දෙකක් පමණ  රැඳී සිටිමින් කඳු තරණයට අවශ්‍ය සියලු දේ වෙනුවෙන් ලැහැස්තිවීම කළ යුතුව තිබුණා. කණ්ඩායම හඳුනා ගත්තෙ එතැනදී. එතැනින් පොඩි ගුවන් යානයකින් අපි හය දෙනා ඩිනාලි කඳු පාමුල ඇති ආරම්භක ස්ථානයට ගියා. ඒ පරිසරයේ මිනිස් පුළුටක් නැහැ. කිසිදු සත්වයෙක් නැහැ. තනිකරම අයිස් විතරයි. ආක්ටික් කලාපයේ(උත්තර ද්‍රැව) ස්වභාවයේ හැටි එහෙමයි. අපේ කණ්ඩායමට ඇමෙරිකානු ජාතිකයින් දෙදෙනෙක් ඇතුළත් වුණා. එක් අයෙක් ඇමෙරිකාවේ ජීවත්වෙන ටිබෙටි ජාතිකයෙක්, අනෙක් දෙදෙනා  බ්‍රසිල ජාතිකයෙක් සහ ඔස්ට්‍රේලියානු ජාතිකයෙක්. කන්ඳ නගින්න පටන්ගෙන දින හතරක් විතර ගියාම, එක් අයෙකුට ගමන අත් හරින්න සිද්ධ වුනේ, එයා අසනීප වෙච්ච නිසයි. 

Q එයාව ආපහු කඳු පාමුලට රැගෙන ආවේ කවුද?

ගයිඩ්ලා තුන්දෙනාගෙන් දෙදෙනෙක්, අසනීප වූ කෙනා අරගෙන ආපහු කඳු පාමුලට ගියා. අනෙක් ගයිඩ් අපි එක්ක උඩට යන්න හිටියා. ආපහු අපි සිටින තැනට එන්න ගයිඩ්ලා දෙදෙනාට දවස් තුනක් ගතවුණා. එයාලා එනකල් අපි හිටියෙ කෑම්ප් එකේ. අපි කළේ පුහුණුවීම්වල නිරත වීමයි. අපට උඩට යන සීමාව අනුව ඊට ගැලපෙන ඇඳුම් අඳින්න තිබුණා. අපි ඒවා සැලසුම් කරගත්තා. හැබැයි එවරස්ට් පවා තරණය කර තිබුණත්, මේක තමයි මම තරණය කළ අමාරුම කන්ඳ.

Q ඇයි අමාරැ වුණේ?

අපට උදවු කරන්න කවුරුවත් හිටියෙ නැහැ. ගයිඩ්ලා තුන්දෙනෙක් හිටියා. එයාලටත් අපට වගේම අපි එක්ක කන්ඳ නගින්න වුණා. ඒ නිසා දුෂ්කරම කාර්යය කළේ එයාලා. සති තුනකට අවශ්‍ය කෑම බීම සියල්ල අරගෙන තමයි එයාලට මග පෙන්වීම කරන්න තිබුණෙ. අපට කෑමට තිබුණෙ ඕට්ස් සහ නූඩ්ලස් වගේ සැහැල්ලු ආහාර වර්ග. දවස් 21 ට අවශ්‍ය කෑම වර්ග මග පෙන්වන්නන් සූදානම් කරගන්නවා.   අවශ්‍ය දේ නොතිබුණොත් අපි කණ්ඩායමම අමාරුවෙ. ඒ වගේම කන්ඳ තනිකරම හිමෙන් සහ ඝන අයිස් තට්ටු මෙන්ම අයිස් වලින් පිරිලා තිබුණෙ. සමහර දිනවලදී අඩි හතරක් විතර අයිස් යට අපි ගිලුණ අවස්ථා තිබුණා. එතකොට දැණුන බය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. අයිස් තට්ටුවල ගිලෙන නිසා අපි එකිනෙකා, දිගු  ආධාරක රැහැන් ගට ගසා ගෙන උඩට ගියේ. එක්කෙනෙක් ගිලුණොත් අනෙක් කෙනාට උපකාර කරන්න පුළුවන් විදිහට ඒ ක්‍රමය අනුගමනය කළා. 

Q මේ කාලයේ පවතින්නෙ ගිම්හානය නිසා ඒ වෙනස දුටුවෙ කොහොම ද? මොන වගේ විශේෂ දේවල් ද දුටුවේ?

ගිම්හානය වුනාට, බැලූ බැලූ අත අයිස්. හිමෙන් වැසී ගිය පරිසරයක්. ඒ වුනත්, අයිස් කඳු කඩා වැටෙන හැටි දැක්කා. යෝධ අයිස් කුට්ටි ගිලා බසින හැටි දැක්කා. මේ ඩෙනාලි කන්ඳ නගිමින් සිටි තවත් කණ්ඩායම් දෙක තුනක් දැකගන්න ලැබුණා. සමහර අය කන්ඳ නගින්න බැරිව ආපහු යන හැටි දැකගන්නත් ලැබුණා.

Q ඒ කියන්නෙ මරණය පෙනී පෙනී ගිය ගමනක් ද මේ? හිම යායක තනිවෙලා සිටියදී දැනුණ හැඟීම් මොන වගේද? බියක් ඇතිවුණේ නැද්ද? කොහොමද හිතට හයිය ගත්තේ?

ඔව්, ඒත් කලින් ලැබූ අත්දැකීම් එක්ක මානසිකව ශක්තියක් හදාගෙන ඉන්නෙ. ඒ නිසා අපි කැමැත්තෙන් බාර ගත්ත දේට කැමැත්තෙන්ම මුහුණ දෙන්නම වෙනවා. මේ වගේ සංචාර වලදී ආරම්භයට පෙර සිටම  අපට ඒ මානසිකත්වය හදාගැනීම කළ යුතු වෙනවා. දැන ගෙන යන ගමනක් නිසා ඊට මුහුණ දෙන්නම වෙනවා. සති තුනක කාලයකදී කිසිම මානව සම්බන්ධයක් නැති බව දැනගෙන තමයි ගමන ආරම්භ කළේ. රේඩියෝ මැසේජ් වලින් ප්‍රධාන මග පෙන්වන්නා ප්‍රධාන කඳවුර එක්ක සබඳතා පවත්වාගෙන ගියා ඒ අනුව අපි කොහේද සිටින්නේ කියන දේ ගැන එයාලා නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ පළ කිරීම නිසා අපි සිටින තැන ගැන ලෝකයේ අනෙක් අයට දැන ගැනීමට ඉඩ සැලැසුවා. කඳු නැඟලම දැන් මගේ හිත හොඳට හයියයි. 

Q මේ ගමන ඔබගේ වියදමින්ද ගියේ?

දැන් මට අනුග්‍රාහකයින් සිටිනවා. එයාලාගෙ අනුග්‍රහය ඇතිව ගියේ. 

Q මේ වගේ සංචාරයක් යාමට දළ වශයෙන් කොපමණ මුදලක් වැය කරන්න වෙනව ද?

ඩොලර් පහළොස්දාහක (15000) විතර මුදලක් වැය වුණා.

Q යොහාන්, මේ මොහොතේ ඔබට දැනෙන-හැඟෙන අදහස් වචන වලට හැරවූවොත්? 

අවසාන ඉලක්කය වී තිබුණු මේ කන්ඳ තරණය කිරීමට අපට තිබුණෙ ලොකු දුෂ්කරතාවක්.  මුල් දින කීපයේදි කාලගුණය ඉතා යහපත් වුණා. අවට පරිසරයත් ඉතා හොඳින් දර්ශනය වුණා. හරිම ලස්සන දසුන් දැක ගන්නත් ලැබුණා. දවස් දාහතරකින් විතර ඉහළම කඳවුර (High Camp) වෙත ළඟා වුණා. එතැන් සිට මුදුනතට තිබුණෙ තවත් මීටර 900 වගේ දුරක්. හැබැයි කාලගුණය වෙනස් වූ නිසා ඒ ගමන අතිශය දුෂ්කර වුණා. අන්තිමට අපි හය දෙනාගෙන් ඉහළට යද්දී ඉතිරි වුණේ, හතර දෙනෙක් විතරයි.  අන්තිම මීටර 900 යන්න දවස් හයක් විතර ගත වුණා. හැමදාම හිම වැටීම සහ දිගටම අයිස් කඳු කඩා වැටීම මෙන්ම සමහර තැන් ගිලා බැසීම නිසා අපට ඒ කාලගුණික තත්ත්වයන් සමනය වෙනකල් ඉන්න සිද්ධ වුණා.  ඒ නිසා ඒ දුෂ්කර අභියෝගය ජය ගැනීම ගැන දැනෙන්නෙ ලොකු සතුටක්.

Q අද ජීවිතේ ගැන යොහාන්ට දැනෙන්නෙ කොහොම ද?

කඳු බොහොමයක් නැගලා තිබුණට ජීවිතේ මම ගත්ත ලොකුම අභියෝගය තමයි ඩෙනාලි කන්ඳ නැගීම. අපේ සිංහ කොඩිය මහාද්වීප හතේ උසම තැන්වලට  ගෙනයනවාය කියන ඉලක්කය ගැන මට තිබුණෙ ලොකු අරමුණක්. ඒක කරන්න ලැබීම මට ලොකු ආඩම්බරයක්. අපි පොඩි රටක්, දුපතක් වෙන්න පුළුවන්, ඒත් අපි ශක්තිමත් ජාතියක්, අපටත් කළ හැකියි, අනෙක් රටවල් මෙන් අභියෝග ජය ගන්න පුළුවන්  යන්න ලෝකයට සඵත කරවන්න මට පුළුවන් වීම පෞද්ගලිකව මම ලබන සතුටකට වඩා රට පෙරට තබා මා ලබන සතුටක්. ලාංකිකයකු ලෙස මට දැනෙන්නෙ ලොකු ආඩම්බරයක්. 

Q මහාද්වීප හතම තරණය කර හමාරයි, දැන් ඒ ගමනට සමු දෙනව ද?

නැහැ, ඊළඟ මාසයේදී කණ්ඩායමක් අරගෙන අප්‍රිකාවේ කිලිමන්ජාරෝ නගින්න යනවා. පරිසරය එක්ක ජීවත් වෙද්දී ජීවිතයට  ඒක හරි අපූරු ආශ්වාදයක් ගෙන දෙන්නෙ. 

Q කවදද ලංකාවට එන්නෙ?

ඩෙනාලි නැගලා තවම මගේ අතේ ඇඟිලි එහෙම ගල් වෙලාවගේ තියෙන්නෙ. ඉතින්, සියැටල්වලට ගිහින් මගේ මිත්‍ර වෛද්‍යවරයා හමුවී අවශ්‍ය ප්‍රතිකාර සහ උපදෙස් ලබාගෙන නැවත ලංකාවට එනවා. 

සඳුන් ගමගේ